gossiplanka image 1

 


සතුන් අතුරින් නාගයා ද මිනිසුන්ගේ අධිවිවාසවලට භාජනය වූ තවත් සතෙකු ලෙස ගැනේ. ඊට හේතුව නාගයාගේ ඇති විශ්මිත ලක්ෂණ නිසා නොව නාගයින් සම්බන්ධ පුරාවෘත බෙහෙවින් ප්‍රචාරයට පත්ව තිබීමයි. අතීත පුරාවෘතවල නාගයින්ගේ ලෝකයක් ගැන සඳහන් වෙයි. එය පැරැන්නන්ගේ විශ්වාසය අනුව පොළොව යට පිහිටි එකකි. නාග ලෝකය මනුෂ්‍ය ලෝකයටත් වඩා සෞභාග්‍යවත් ය. බෞද්ධ සාහිත්‍යයට අනුව එහි වසන  නාගයෝ බෞද්ධයෝ ය.  පැරණි කතා අනුව නාගයින් හා නාග මානවිකාවන්ට මිනිස් වෙස් ගෙන මනුෂ්‍ය ලෝකයට පැමිණිය හැකි ය.


කලක් මෙම දිවයින ද නාගයින් යටතේ තිබී ඇත. ඔවුහු මැණික් පුටුවක් නිසා දෙපිලකට වී සටන් කළහ.  භාරතයේ හින්දු ආගමේ බලපෑම ලක්දිව හැම කල්හිම පැවති බව පැහැදිලි ය. හින්දු ඇදහිලි අතර නාග වන්දනාව ප්‍රධාන තැනක් ගෙන තිබුණු බව පෙනේ. පූජාර්ග සත්වයකු වශයෙන් නාගයා දෙවැනි වූයේ ගව දෙනට පමණකැයි කිව හැකි ය. පුරාවෘතවල සඳහන් වන ශේෂ හා වාසුකී වැනි නාග රාජයන් නිසා නාගයින් සැලකිල්ලට භාජනය වුවත් මරණය හා සශ්‍රිකත්වය යන දෙක්ම සලකුණ වශයෙන් විෂ ඝෝර සර්පයන් ලොව සෑම තැනම පාහේ ශිෂ්ටාචාර නො වූ මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වූ හෙයින් ආදි වනචාරී යුගයට අයත් මිනිසුන්ගෙන් නාග ඇදහීම පැවත එන්නක් බව සිතිය හැකි ය. වැසි කාලය ආරම්භයේ දී නාගයින් පිදීම හින්දුන්ගේ ගෘහාශ්‍රිත වතාවත්වල අංගයක් විය.'' බෂාම් මහතා නාග වන්දනාව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ එම ආකාරයෙනි. මෙම සියලුම මාර්ගවලින් ආභාසය ලත් ලක්වැස්සන් නාගයින්ට සලකන්නට වූයේ මහත් භක්තියෙනි. ඒ අනුව ප්‍රචලිතව ඇති විශ්වාස කීපයක් මෙසේය.


1. ගෙට එන නයා මියගිය නෑයෙකි.


වස්තු තණ්හාව සිතේ තබාගෙන මිය යන අය ද මරණයට පත්වන අවස්ථාවේ කෝප සිතුවිල්ලකින් සිටි අය ද නාගයින් වී උපදින බව කියති. ගෙට පැමිණි නයාට හිරිහැර කිරීම සුදුසු නැතැයි සලකන්නේ එබැවිනි. එබඳු අවස්ථාවලදී නයාට කතා කර නයිහාමි උඹ මේ නර පණුවන්ට කරදර නොකර පලයන් යයි කියා ඌ පිටත් කිරීමට මහන්සි ගන්නේ එම විශ්වාසය නිසා ය.


2. නයාට හිරිහැර කළොත් ඌ වෛර බදී.  


නාගයාට හිරිහැර කළොත් ඌ එය සිතේ තබාගෙන සිට හිරිහැර කළ තැනැත්තාට දෂ්ට කරන බව මින් කියැවේ. කෙනෙකු රාත්‍රි කාලයේ ගමන් යන විට සැඟවී සිට පහර දෙන්නේ එබඳු නාගයින් යයි කියති. 3. නයාට ගසා පොල්ල වැරදුනොත් පෙනේ සත් වරක් පොළොවේ ගසා සාප කරන අතර ගැසු තැනැත්තාත් ඔහුගේ නෑයෝ සත්දෙනෙකුත් එම සාපයෙන් මැරෙතී.


නයා මැරීමට කෙනෙකුට අවශ්‍ය නම් එක පහරින් ඌ මැරී යන ලෙස ගැසිය යුතු බව ඉන් කියැවේ. කෙසේ වුවත් නයින් මැරීම නම් සුදුසු දෙයක් ලෙස ගැමියෝ නොසලකති. ඊට හේතුව නයා  මියගිය නැයෙකු හෝ නාගලෝකයේ බල සම්පන්න නා රජෙකුට සම්බන්ධ එකෙකු ලෙස සැලකීම ය. කෙසේ වුවත් සෑම නාගයකුට ම කාලයක් ගත ව මහලු වී නාග රාජයකුව පසුව පුරුක් හැලී කොබෝ නයෙකු බවට පත් ව තටු මැවී හිමාල වනයට ඉගිල යන්නේ ය, යන විශ්වාසයක් ද මිනිසුන් අතර පවතී.


4. සමහර නාගයන් ළග සිතූ පැතූ සම්පත් දෙන මැණිකක් ඇත.


පැරැන්නන් විශ්වාස කරන අන්දමට නාගයා මැණික තබා ගන්නේ උගේ උගුරේ ය. එය ඌ ආරක්ෂා කරන්නේ පණටත් වඩා ආදරයෙනි. නයා මැණික එළියට ගන්නේ ආහාර ගැනීමට පමණ ය. දිවා කාලයේ ඌ ආහාර නොගනියි. ආහාර ගන්නේ ඉර බැස ගියාට පසුව ය. ඉර බැස ගියාට පසු ආහාරයක් ලත් විට බොහෝ පරිස්සමින් මැණික වමාරා එළියට ගෙන ගොදුර ගිලීමට පටන් ගනී. කෙනෙකුට එම මැණික පැහැර ගත හැක්කේ එම මොහොතේ දී ය. ඒ සඳහා ඇ ත්තේ එකම උපක්‍රමයකි. එනම් නයා ගොදුර ගන්නා ස්ථානයේ සැඟවී රැක සිට අමු ගොම පිඩක් ගෙන බිම තබා ඇති මැණික මතට වහා දැමීම ය. ගොමවලින් වැසී ගිය මැණික නයාට නොපෙනේ. එසේම ගොමවල ඇති අපිරිසිදු භාවය නිසා ම නයා ගොම ගොඩ ළඟට කිට්ටු නොවෙයි. කෙසේ වුවත් මැණික නැතිවීමේ සොවින් නාගයා පෙණය බිම ගසාගෙන මරණයට පත්වන බව කියනු ලැබේ.


5. සමහර නාගයෝ නිදන් රකිති.


නිධානවල අයිතිකාරයන් මිය පරලොව ගොස් මෙසේ නාගයින් වී එම නිධාන රකින බව කියති. අනුරපුර යුගයේ මුල් භාගයේ ගොඩනැගිලි දෙපස මුරගල් වශයෙන් යොදා තිබුණේ නාග කැටයම් ය. පසුව පෙන පහේ හා හතේ නාග රූප යොදා තිබිණි. පසු කාලයේදී ඒ සඳහා දේවතා රූප යොදා ගැනිණ. මේ කොයි එකෙනුත් ගොඩනැගිල්ලට ආරක්ෂවක් බලාපොරොත්තු වී ඇත.