gossiplanka image 1
 


අනෙකාගේ ජයග්‍රහණය, අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීම හෙවත් උහුළාගැනීම තිබෙන නොහැකියාව ඊර්ෂ්‍යා  චෛතසිකය බව අප අවබෝධ කරගත යුතුය. ද්වේෂය, පස්යාසය, තරහව යන ගැටෙන සුළු මානසික තත්වය ඊර්ෂව තුළ සැගවී පවතී. සෝමනස්ස සහගත සිතක් තුළ ඊර්ෂ්‍යාව හට නොගන්නා අතර එය ද්වේෂ මූලික සිතක් තුළ ගොඩනැගෙයි. ඊර්ෂ්‍යාව විසින් අප තුළ අලුත් චෛතසික ධර්මයන් උපදවනු ලබයි. අනෙකාගේ සම්පත්, අනෙකාගේ දියුණුව, නොඉවසන්න පටන්ගනීම තුළ අස්ථානයේ විචිකිච්ඡාව නමැති චෛතසික තත්ත්වයන් ඇති වෙයි.  යම් තැනැත්තකු ඉතා පහසුකම් සහිත සුඛෝපභෝගී යාන වාහන, ගේදොර පාවිච්චි කරනවා දකින විට ඔහුගේ සැපත  උහුළාගැනීමට නොහැකිව වාග් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගනී. අපට පිටතින් නොපෙනුණාට ඔය තරම් දියුණු වීමට නම්, මොනවා හරි ඇතුළතින් ඇති. නැත්නම් ඔය තිබෙන තත්වයෙන් උඩට යන්න බැහැ. යනුවෙන් විචිකිච්ඡාවෙන් යුතුව ප්‍රකාශ කරයි. නැත්නම් අපටත් ඔහොම ලැබෙන්න එපායැ කෝ අපට එහෙම ලැබිල නැහැනෙ. එම ජයග්‍රහණය අපගේ මනසට උහුලාගත නොහැකි වීම එයට හේතුවයි. එම සැකය අප තුළ ගොඩනැගෙන විට, අප ඔහුට අස්ථානයේ  චෝදනා කිරීමට පටන් ගනී. ඒ තුළ ද්වේෂය ගැබ්ව පවතී. ඔහු හෝ ඇය මට වඩා ඉහළ තත්වයකට පත් වූ බවට සිතමින් ද්වේෂ කරයි.


මෙවැනි අවස්ථාවන් තුළ දී මිනිසුන් විසින් තමාගේ මනස තුළ විචිකිච්ඡා සහගත තත්වයන් උදාකරගනු ලබයි.  ගෘහ ජීවිතය තුළ වුවත්, තමා අත්විඳින යම් කිසි සැපත වෙනත් අයෙකු අවා ගිනිවී යැයි, ස්ත්‍රියකට හෝ පුරුෂයකුට  ඊර්ෂ්‍යාවක් ඇති වුවහොත් එය ඇතුළත අනෙකුත් මනෝභාවයන් ක්‍රියාත්මක වෙයි. තමාගේ සැපත ඉක්මවා වෙන කෙනකු එම සැපත අත්විඳිනවා දැකීමට සාමාන්‍ය පෘථග්ජන මනස කැමැත්තක් නොදක්වයි. ඉතාම සම්පූර්ණ වූත්, සාර්ථක වූත් පුද්ගලයකු මේ ලෝකය තුළ නොමැති වුවත් භෞතිකව හෝ යම් සම්පත් ප්‍රමාණයක් ඇති අය තුළ ද, අනෙකා පිළිබඳව ඊර්ෂ්‍යාවක් හට ගනී. එතරම් දේවල් නැති අය තුළ වුවද එය වෙනත් ආකාරයකින් හටගනී. අනෙකාට තිබෙන නිදහස අපට කොයින් ද, ඒ ගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැනෙ. යනුවෙන් ඉතා ම ඉහළ තලයක පහසුකම් භුක්ති විඳින අයවලුන් තුළ වුව ද ඉතා ම පහළ තලයක පහසුකම් භුක්ති විඳින අය පිළිබඳව අසහනයක් පැමිණිය හැකියි. ඇතැම් අවස්ථාවල තිරිසන් සතුන්ට පවා තමා උපමා කර ගනිමින් මම කුරුල්ලෙක් වෙලා ඉපදුනා නම් හොඳයි, යන බවට ප්‍රකාශ කරන අවස්ථා නැතුවා නොවෙයි.


 ඔහු සතෙකුට වඩා ඉහළ පහසුකම් තමා විසින් භුක්ති වින්දත්  එහි වටිනාකමක් පිළිබඳ හැඟීමක් වත් ඔහුට නැත. කුරුල්ලන් තිරිසන් ආත්මයක ඉපදී කුසගින්නට පළතුරු ටිකක් සොයාගැනීමට නොහැකිව දහදුක් වින්දත්, කුරුළු ජෝඩුවක් ඉතා සමීපව අත්තක වසා සිටින විට ඔවුන් අපට වැඩිය සතුටින් ඉන්නා බව සිතමින් මිනිස් ජෝඩු කුරුළු ජෝඩු ළඟ හීනමානයක් ඇති කර ගනී. ඉතා ම ඉහළ මට්ටමක සිටින අයගේ පොඩි පොඩි දේ තමාගේ අසාර්ථකත්වය ලෙසත්, ඔවුන් තමාට වඩා සාර්ථක තත්වයට පත්වූවන් ලෙසත් පෙනෙන්න පටන්ගනී.  ඊර්ෂ්‍යාව යන මානසික මට්ටම තමා තුළ නිර්මාණය වන ප්‍රමාණයට ඔහු හෝ ඇය ඇතුළතින් විශාල වශයෙන් තැවෙන්න, දැවෙන්න, පිච්චෙන්න පටන් ගනී. අඟුරු වළකට අත දමා අගුරු ප්‍රමාණයක් අතට රැගෙන අනෙකාට එම ගිනි අගුරු ගසනවා වැනි ක්‍රියාවක් ඊර්ෂ්‍යාව තුළ පවතී. අත වැඩි ප්‍රමාණයක් පිළිස්සෙනුයේ  අගුරු වළට අත දමා අගුරු ප්‍රමාණයක් අතට ගත් පුද්ගලයාට යි. එම අඟුරු කැබලි විසිකිරීමේදී ශරීරයට පහර වැදීමෙන් අනෙකාට සිදුවන හානිය සාපේක්ෂව අඩු මට්ටමක පවතී. අඟුරු ලබාගන්නා පුද්ගලයාගේ සම්පුර්ණ අතම පිළිස්සී යන බව දැන ගත යුතුයි.


මේ ලෝක වශයෙන් පුද්ගලයාට, ඔහුගේ පුද්ගලික ජීවිතයට, අධ්‍යාත්මයට විශාල ම හානිය ඊර්ෂ්‍යාව තුළින් අනිවාර්යයෙන් ම සිදු වෙයි. ඊර්ෂ්‍යාවට ගොදුරු වන පුද්ගලයාට හානියක් සිදුවන බවට ඊශ්‍ය කරන පුද්ගලයා සිතුවත් ඊර්ෂ්‍යා කරන පුද්ගලයාට විශාල හානියක් ඔහුට වන බව ඔහු නොදනී. ඊර්ෂ්‍යා කරන පුද්ගලයා ඉතාම අතෘප්තිකර ජීවිතයකට පිවිසීමත් සමග ම තමාට ලැබෙන කිසිවක් තුළින් ඔහු සතුටට පත් නොවෙයි.  තමාගේ පෙනුම, තමාගේ හැකියාව, තමාගේ ශක්තිය, තමාගේ බලය, තමන්ට තිබෙන දේ කිසිවක් පිළිබඳව ඔහුට ඔහු පිළිබඳව සතුටක් නැතිව යයි. අනෙකාගේ දියුණුව ජයග්‍රහණය දරාගැනීමට නොහැකි වීම තුළ ඊර්ෂ්‍යාව හටගනී. තමාට තමා සම්බන්ධව තෘප්තිමත් බවක් නොමැති මිනිසුන් තුළ ඔවුන්ගේ දියුණුව සඳහා අවශ්‍ය වන කාර්යක්ෂමතාවය ද ගොඩනැගෙන්නේ නැත. කාර්යක්ෂමභාවය ඇති වීමටත්, වගකීම්සහගත බව ඇති වීමටත්, තෘප්තිමත්භාවය ප්‍රධාන හේතුවක් වෙයි.


තමාට තමා පිළිබඳව සතුටක් නොමැතිව ජීවත්වන පුද්ගලයකු කවදාවත් වගකීම් සහගත වන්නේ නැත. ඔහු හෝ ඇය සැම විටම හිස්බවකින් පීඩා විඳියි. ඔහු හෝ ඇය තමා පිළිබඳව කලකිරීමකින්, වේෂයකින් පසුවෙනු ලබයි.  තමාට තමා සම්බන්ධව තිබෙන ද්වේෂය, අනෙක් පිරිසට ප්‍රක්ෂේප්පණය කිරිම පරිෂ්‍ය කිරීම වෙයි. එවැනි පුද්ගලයකු සිටින්නේ අසතුටෙන් නම්, ඔහු තමා පිළිබඳව සිටින්නේ ද්වේෂයෙන් නම්, ඔහුට කිසිදු ජයග්‍රහණයක් උදාකර ගැනීමට ලැබෙන්නේ නැත.


බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊර්ෂවෙන් තරහවෙන් පෙළ පෙළී සිටිය දේවදත්ත කෙතරම් පහළට ඇද වැටුණා ද?


දේවදත්තට නිවන් දැකීමට නොහැකි වූයේ ද, දේවදත්ත තුළ තිබූ ද්වේෂය මූලික වූ ඊර්ෂ්‍යාව නිස යි.  ඔබ අනෙකා පිළිබඳව නිර්මාණය කරගනු ලබන ඊර්ෂ්‍යාව නම්, ඔබ ඔබ සම්බන්ධව ඇතිකර ගනු ලබන ද්වේෂය යි. ඔබ ඔබ සම්බන්ධව ද්වේෂ සහගත මනෝභාවයකින් ජීවත් වන විට ඔබගේ කාරක්ෂමභාවයත් වගකීම් සහගත බවත් අඩාල වී යයි. ඔබගේ මනසෙහි තෘප්තිමත් බව නැතිව යයි. එය ඔබගේ මානසික නිරෝගී භාවයට විශාල හානියක් වෙයි.


 "සන්තුට්ඨි පරමං ධනං යන්න වර්තමානය වන විට සෞඛ්‍ය සංවිධානය ද පිළිගනු ලබයි. පුද්ගලයකු සතුටින් ජීවත් වීම මානසික සෞඛ්‍යයට ඉතා ම අවශ්‍යයි. සියලු ශාරීරික රෝගා බාධයන්ට මානසික අසතුට හේතු වෙයි. ඒ නිසා ම පුද්ගලයකුගේ ජීවිතයේ අසාර්ථක තත්වයක් උදාකරලීමට ඊර්ෂ්‍යාව යන මනෝභාවය අනිවාර්යයෙන් බලපානු ලබයි. අප තුළ ඊර්ෂ්‍යාව ඇති වූවාට පසුව අප කරනු ලබන දේවල් අපට ම නොතේරෙයි. පුද්ගලයකුගේ සාර්ථකත්වය උහුලා ගැනීමට නොහැකි වූ විට අභූත චෝදනා නැගීමට ද පටන් ගනී. මෙම මනෝභාවය වටහාගනු ලැබුවහොත් එයින් මිදිය හැකි වෙයි.ඔබ රහත් වන තුරු ද්වේෂ සහගත සිත පවතින නිසාම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ජීවත් විය යුතු යි. අනාගාමී තත්ත්වයට පත් වූ විට එම පඨිස සිත දුරුවී යයි. එවැනි තලයකට පැමිණෙන තුරුම ඊර්ෂ්‍යාවත් සමග ගැටගැසී ස්වේෂය පසු පස ගමන් කරයි. ඔබ ඉතා ම අයහපත් හැසිරීම්වලට පෙළඹිය හැකී. ඔබ ඉතාම යහපත් මිනිසුන් විනාශකරන තත්වයකට පත්විය හැකියි. අවසානයේ තමන් විසින් තමා විනාශ වීම වැළැක්විය නොහැකියි. තමා කරනු ලබන සෑම ක්‍රියාවකට ම තමා වගකිව යුතුයි.