gossiplanka image 1
 


මහජනතාවට  නොමිලේ සේවා සපයන තම ආයතනයට පරිත්‍යාගයක් ලබා ගැනීමට ගොස් අමාරුවේ වැටුණු නිලධාරියකුට සිදු වූ ඇබැද්දීයකි. සිද්ධිය මෙසේය. එය පළාතේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයකි. ආයතනයේ අත්‍යවශ්‍යම ස්ථාන කීපයක විදුලි පහන් පිළිස්සී තිබෙනු  දුටු ආයතනයේ නිලධාරියකු එහි සේවා ලබා ගැනීම සඳහා පැමිණි යමක් කමක් ඇති අයෙකුගෙන් “හැකිනම් එම ස්ථාන සඳහා විදුලි පහන් කීපයක් මිලදී ගෙන දෙන්නැයි " ඉල්ලීමක් කළේ ආයතනයේ සෙසු පිරිසගෙන් ලකුණක් දෙකක්ද දමා ගැනීමේ අරමුණ සිත තුළ රඳවා ගනිමිනි.


“ඕක ලොකු දෙයක් දැයි" ඉල්ලීම එක හිතින්ම භාරගත් සේවාලාභියා ද ඉල්ලීම කළ නිලධාරියාම නම් කළ නගරයේ වෙළෙඳසලකට ගොස් රුපියල් තුන් දහසක් පමණ වටිනා විදුලි බල්බ කීපයක් ගෙනවිත් ආයතනයට පරිත්‍යාග කළේ ආයතනයේ සේවය ගැන වර්ණනාවක් ද කරමිනි.නිලධාරියා ඇතුළු ආයතනයේ පිරිස් ද ඔහුට මුව නොසෑහෙන සේ ස්තූති කොට ඔහුට සමු දුන්නේ කිසියම් අවශ්‍යතාවක් වුවහොත් යළි පැමිණෙන ලෙස ඉල්ලීමක් ද කරමිනි. පෙර කී ආයතනයේ නිලධාරියා සවස් යාමයේ නගරයේ සුපුරුදු වෙළෙඳසලට ගොඩවූයේ නිවසට ඇවැසි කළමනා කීපයක් මිල දී ගැනීමටය.


අවශ්‍ය කළමනා මිලදී ගැනීමෙන් අනතුරුව බිල සකස් කළ එහි හිමිකරු “සර් උදේ ගෙනිච්ච බඩුවල රුපියල් 3000.00ත් මේකට එකතු කරන්න දැයි ඇසුවේ කොළ කෑල්ලක ලියා තිබු බිලක් ඔහු වෙත දිගු කරමිනි. මොන බිලදැයි නිලධාරියා විමසද්දී “ඇයි මහත්තයා උදේ එක්කෙනෙක් එවල තිබුණේ බල්බ පහක් ගෙනියන්න කියලා" යැයි වෙළෙදසල් හිමිකරු ඇඟට පතට නොදැනී කියා සිටියේ සුපුරුදු ලෙන්ගතු හිනාවත් ඊට එක්කරමිනි.  සිදුවූවේ කුමක්දැයි තේරුම්ගත් නිලධාරියා “මුදලාලි දැන්නම් එච්චර සල්ලි නැහැ. ගාන මගේ එකවුන්ට් එකේ ලියල තියන්න කියමින් වෙළෙඳසලෙන් පිටව ගියේ “මුන් තමයි මිනිස්සු” යැයි තමුන්ටම කියා ගනිමිනි.