සිද්ධිය මෙසේය.
එය පළාතේ ගම්බද ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. ලොකුකමින් හිස උදුම්මා නොගත් ආයතන ප්‍රධානියා එහි ඉහළම සේවකයාට මෙන්ම පහළම සේවකයාට ද සැලකුවේ තමන්ගේම සහෝදරයන්ට මෙනි. ඒ නිසාම එහි සියල්ලෝද සිය ප්‍රධානියා සමග බෙහෙවින් කුලුපග වූ අතර ඔහුට ඉතා ආදරයෙන් සලකන්නටද වූහ. ඒ නිසාම ඇතැම් අවස්ථාවල ඔවුන් ඔහු සමඟ විහිළු තහළු කරන්නට පවා පුරුදු වී සිටියේ ආයතන ප්‍රධානියාගේ නිලය පවා අමතක කරමිනි.
පසුගිය දිනක ඔහු තමුන් සතුව තිබූ මෝටර් රථය විකුණා දමා අලුත්ම වර්ගයේ මෝටර් රථයක් මිලදී ගත්තේ වැටුපෙන් ඉතිරිකරගත් මුදලක්ද ඊට යොදවමිනි. ආයතනය ඉදිරිපිට නවතා තිබූ සිය ප්‍රධානියාගේ අලුත්ම අලුත් මෝටර් රථය දුටු සේවක පිරිසක් ඔහුට විහිළුවක් කිරීමට සිතා මෝටර් රථයේ බඳ වටා කොළ අතු ආදිය එල්ලා සිය සතුට පළ කළේ ආයතනයේ සෙසු සේවක පිරිසද ඊට එක්කර ගනිමිනි. දෛනික කටයුතු නිම කළ ප්‍රධානියා කිසියම් කටයුත්තක් සඳහා නගරයට යෑම සඳහා මෝටර් රථය අසලට පැමිණෙන විට එය කොළ පැහැති අතුවලින් වසා තිබෙනු දකිද්දී ඔහුට දෙලොව රත්වූයේ අලුත්ම මෝටර් රථයට කිසියම් විනාශයක් සිදුව ඇතැයි සිතුණ නිසාය. එහෙත් එය තම ආයතනයේම සහෝදර සේවක පිරිසගේ කවට කමක් බව ඔහුට වටහා ගැනීම එතරම් අපහසු නොවිණි.
Comments
Post a Comment