මා ඔයේ පාලම හසු කර වයඹ පළාතට අවතීර්ණ වීමෙන් පසු පාර අයිනේ පොලිස් නිලධාරීන් සිටිනු ඔහු දුටුවේය. ඒ නිසා වරින් වර රියේ වේගය අඩාල කර ගත්තේ දඩයක් කැමටත් වඩා පවුලේ අය ඉදිරියේ සමච්චලයට ලක්වීම වළකා ගන්නටය. තමන් දුටුවේ පොලිස් නිලධාරින් නොවන බවත් මඟ අයිනේ තබා ඇත්තේ වේගය මනින උපකරණ අතැතිව ඉන්නා සේ පෙනෙන පොලිස් අනුරූ බව දැන ගන්න විට වයඹ පළාතේ සැතපුම් ගණනක් ගොස් අවසන්ය. රැවටීමකට ලක්වීම නිසා තරුණයාට කේන්ති ගියේය. පොලිස් අනුරුවක් යළිත් ඉදිරියෙන් දර්ශනය විය. ඒ දුටු වහාම රියේ වේගය තව තවත් වැඩි කළේ ගණනකටවත් නොගෙනය. අනේ පුතේ ඉස්සරහ පොලිසියෙන් නේදැයි පියා කියද්දි ඒ බව ගණනකටවත් නොගත්තේය.
විසිල් හඬක් සමග රිය නැවතිණි. රිය නවතා බලද්දි පොලිස් යතුරු පැදියක් පාර අයිනේ නවතා තිබෙනු මෙ තරුණයා දුටුවේය. වේග මාපකයේ අසූවේ ඉලක්කම දර්ශනය විය. 'ඇයි පුතා මේ තරම් වේගයෙන් පොලිස් නිලධාරියා ඇසුවේ සාවදානවය. තමන්ගේ ඇත්ත පොලිසියට කියන්නට බැරිය. 'මම දැක්නේ නැහැ' යි කීවේ ඒ නිසාය. ‛හොඳ රියැදුරෙක් නම් පාර බලාගෙන යන්න ඕනෑ. ඒ බව මතක් වෙන්නත් එක්ක රියැදුරු බලපත්‍රය ගේන්නැයි ' කී පොලිස් නිලධාරියා නඩුවක් පැවරුවේ පාඩමක් උගන්වන අදහසිනි.
තාවකාලික රිය බලපත්‍රය අතැතිව යළි රියට ගොඩවූ මේ තරුණයා පියාගෙන් හොඳ හැටි අසා ගත්තේය. එතැන් සිට ගමනේ යෙදුණේ නීති ගරුකවය.
Comments
Post a Comment