උඹ දන්නෙ නැද්ද බං බාස් උන්නැහැ එගොඩහ ගෙදර එකියක් එක්ක ඇයි හොඳයිකම් පානවා. අල්ලපු ගෙදර මිතුරිය බාස්උන්නැහැගේ බිරිඳත් සමග කීවාය.
ඇය නිතරම සැමියා ගැන සැකයෙන් බැලුවත් ගැහැනුන් කියන දේවල් පිළිගැනීමට නොහැකි වූයේ එවැන්නක් ඇය නොදුටු නිසයි.
ඇය කිසිවක් ගණන් නොගෙන සිටියේ සැමියා තමාට ඉතාමත් ආදරයෙන් කරුණාවෙන් ඉහළින්ම සලකන නිසාය.
දිනක් වේදිකාව මත නාට්‍යයක් සූදානම් කරනු ලැබුවේ එහි අධ්‍යක්ෂවරයාගේ උනන්දුව නිසා මෙන්ම දක්ෂ නළුනිළියන් කීප දෙනෙක්ද සිටින නිසාය. පෙර පුහුණුව මැනවින් අවසන් කර නාට්‍යය පෙන්වන දිනයද ළඟා විය. ප්‍රධාන නළුවා බාස්උන්නැහැ. නිළිය ඈත ගමකින් ආ කාන්තාවකි.
ගමේ අය මෙන්ම අහල පහළ ගම්වල අයද රඟමඩල වටේ පිරී සිටිති. මෙය සමාජ නාට්‍යයකි. දැන් කතාව ගලාගෙන යන්නේය. අත්පොලසන් විසිල් පාරවල් නිමක් නැත. ප්‍රධාන නළුවා නිළියට ළංවී ඇගේ දෑත අල්ලාගෙන ‘‘ප්‍රේමිය ඔබ නැතුව මට රෑ නින්ද යන්නෙ නෑ. ඔබවමයි සිහිවෙන්නෙ. ඔබ සොයා එන්නට බාධක බොහොමයි. ගෙදර මායියා ගැන කියලා වැඩක් නෑ.’’ දෙබස අවසන්වීමට පෙර සෙනඟ අතර සිටි බාස් උන්නැහැගෙ බිරිඳ සෙනග අතරින් වේදිකාවට රිංගා ආවේ යක්ෂාවේසයෙනි.
‘‘මම දැනගත්ත වැඩේ. ගමේ එකීල කියන ඒව බොරු නෙවෙයි. මම ඉතින් සද්ද නැතුව හිටිය. ගෙදර මායියගෙ හැටි පෙන්නන්නම්කො උඹට අද මම යමං ගෙදර.
හූ හඬ කෑකෝ ගැසීම් නිමක් නැති විය. එකම කලබලයකි. නළු නිළි දෙපළ බියෙන් සලිත වී පොල් අතු මඩුවට දිව ගිය අතර පිරිස සීසීකඩ විසිර ගියහ. අධ්‍යක්ෂකවරයා ඔළුවෙ අත ගසා ගත්තේ තමන්ගේ වෑයම වතුරේ ගිය බව දුටු නිසයි. ඉන් පසු බාස් උන්නැහැගෙ නාට්‍ය රඟදැක්වීමද එතැනින්ම අවසන් විය.
Comments
Post a Comment