දෙදෙනාම රාජ්‍ය සේවාවේ නියැලී සිටිති. පෙම් සබඳතාවක් මත අලුත විවාහ වූ යුවළගේ කැදැල්ලට දරු සුරතල් බැලීමේ භාග්‍යය උදා වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.
ඇය ගැබිනියක් නිසා පාසලේ දරුවන්ගේ මව්පියන් සේම ගමේ අවට අයගෙන් ද කෑමට අවැසි දේවල්වලින් අඩුවක් නොමැත.
දිනක් ඇය පෑන් කේක් කෑමට ආසයි යනුවෙන් පාසලේ දී පැවසීම නිසා සිසුවෙකු ඒ බව තම අම්මාට පවසා තිබුණි. ඒ අනුව එම අම්මා ගුරු මාතාවට උණු උණුවේම පෑන් කේක් කෑමේ ආශාව ඉටු කරන්නට කටයුතු කළාය.
ඒවා රැගෙන ඇය නිවාඩු දිනෙක එම නිවසට පැමිණියාය. ඒවා බාරදුන් කත ඉන් නික්ම ගියාය.
‘‘මේසෙ ඇර තිබෙන පෑන් කේක් උණු උණුවේ ම ඔයත් කන්න’’. යනුවෙන් සැමියා අමතා පැවසු ඇය පිටතට ගියේ දිය නෑම සඳහාය.
ඉන් අනතුරුව නාගෙන නිවසට පැමිණි ඇය මේසය මත තැබු පෑන් කේක් බඳුන ඇර රස්නේ පිටින්ම එකක් කෑමට සූදානම් වූවාය.
එහෙත් බඳුන පමණක් ඇත. ඒවා එකක්වත් බඳුන මත නැත.
“කොයි අනේ පෑන් කේක් ” ඇය සැමියාගෙන් ඇසුවාය.
“ඔයාට අයින් කර ගත්තේ නැද්ද? ඔයාට තියාගෙන මගේ කොටස මට දුන්නා කියලා නේ මං හිතුවේ. මං ඒවා ඔක්කෝම කෑවා. තවත් තිබුණා නම් තවත් කනවා.” ඔහු කීය.
“කමක් නෑ. මටත් වඩා දොළ දුක තියෙන්නේ ඔයාට නේ. ඒකට කමක් නෑ. දැන්වත් දොළ දුක සිඳුණා දැයි” ඇය සිනාසෙමින් ඇසුවාය .
ඉමහත් ලැජ්ජාවට පත් සැමියා ඒවා මුදලට හෝ මිල දී ගෙන බිරියගේ ආශාව සන්සිදුවීම සඳහා පෑන් කේක් හදන ස්ථානයක් සොයා ගියාලු.
Comments
Post a Comment