gossiplanka image 1
 

සිංහල බෞද්ධාගමික ජනතාවත් හින්දු ජනතාවත් පොදුවේ පවත්වනු ලබන සුවිශේෂ සංස්කෘතික උළෙලකි සිංහල-හින්දු අලුත් අවුරුදු දිනය. අපේ පැරැන්නෝ මෙය හැඳින් වූයේ දොළොස් මසක් ගෙවී යන දිනය යනුවෙනි. ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව මෙය අප්‍රේල් මාසයේ 13-14 දිනවල යෙදෙන අතර චන්ද්‍ර මාස ක්‍රමය අනුව 'බක්' මාසයේ යෙදෙයි. බක් යන්නෙහි තේරුම 'භාග්‍යවත්' යන්නයි. කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගත කරන අපේ රටේ සිංහල බෞද්ධ සහ හින්දු ජනතාවට මෙම කාලය සැබැවින් ම භාග්‍යවත් වන්නේ කලට වැසි වැටී අස්වනු සරු වී, අස්වනු පැසී, කපා පාගා ගෙට ගත් පසු උදාවන කාලය වීම නිසාවෙනි. එමෙන් ම සොබාදහමෙන් වසන්ත සමය උදාවෙන බැවින් අවට පරිසරය ද මල් ඵලවලින් පිරි, ගහ කොළ තුරුලිය ප්‍රමාණ බත් වක මේ යුගය සශ්‍රීකවත් ස්වභාවයකින් ද මේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල සිංහල ඉතිහාසයේ ඈත කාලයේ සිට පැවති සිරිතක් නොවන බව අතීත වංශ කතා පිළිබඳව සොයා බැලීමේ දී දැකගත හැකි ය. මේ පිළිබඳව අක්මුල්  සොයා යාමේ දී පෙනෙන්නේ සිංහල - හින්දු අලුත් අවුරුදු උළෙල පිළිබඳව තොරතුරු ලැබෙන්නට පටන් ගන්නේ 16 වැනි සියවසේ මහනුවර යුගයේ ආරම්භයත් සමග බව ය.


මෙහි දී පෙනී යන්නේ මහනුවර යුගය ආරම්භයේ සිට ම පාහේ රාජ්‍යයත්වයට පත්වන්නේ  දකුණු ඉන්දීය සම්භවයක් සහිත රජවරුන් බවයි. ඔවුන් වර්ෂයේ  ප්‍රධාන උත්සව හතරක් පවත්වා තිබේ. ජනවාරි මාසයේ අලුත් සහල් මංගල්ලය (මෙය හින්දු තෛපොංගල් උත්සවයට සමාන කම් දක්වයි) අප්‍රේල් මාසයේ අවුරුදු මංගල්ලය(මෙය කාලදේවල් මංගල්ලය හෙවත් සූර්ය මංගල්ලයට සමානය), ඇසල මාසයේ පෙරහර මංගල්ලය(මෙය දකුණු ඉන්දියාවේ දෙවියන් උදෙසා පවත්වන ඇසල මංගල්ලයට  සමානය), සහ ඉල් මාසයේ කාර්කේය මංගල්ලය (කාර්තික දෙවියන්  උදෙසා පවත්වන පහන් මංගල්ලය) යන උත්සව සතරයි.


මේ වරහනින් සඳහන් කළ මංගල්ලයන් දකුණු ඉන්දියාවේ එකළ සාරවත් අන්දමින් පැවැත් වූ මංගල්ලයන් හතර වෙයි. මේවා මහනුවර රජ සමයේ රජවාසල විසින් වැළඳගත් සහ භාවිතයේ යෙදුන හිංදු සංස්කෘතික සිරිත්විරිත් බව පැහැදිලි වෙයි. ඒවා එවක පටන් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වශයෙන් ජනසමාජයේ පිළිගැනීමට පාත්‍රව පැවැතගෙන එන බව පෙනේ. එකළ රජවාසලේ පැවැති අවුරුදු සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර සහ නැකත් අද දක්වා ම එලෙස ම භාවිතා වෙන බව ද දැකිය හැකි ය. මෙයින් පැහැදිලිවන කරුණ වන්නේ හින්දු ජනයා පවත්වන අවුරුදු සිරිත්විරිත් සහ චාරිත්‍රවාරිත්‍ර අප (සමහරවිට වෙනත් නම් යොදාගෙන) ද භාවිතා කරන බව ය. හින්දු ආගමිකයින් විසින් සිදුකරන හිරුමංගල්ලයෙන් (හිරු මංගල්ලය යනු අපගේ මෙන් ම හිරු කුමරා වසරක් ගෙවී නව වසරක් රැගෙන එන සමයයි) පසු ඔවුන් ද අලුත් අවුරුද්ද සඳහා වැඩපල කිරිම සඳහා පිටත්ව යන්නේ ද නැකතට ය.


අලුත් අවුරුදු සමයේ පාරම්පරික කෙළි සෙල්ලම්, ක්‍රීඩාවන් කිරීම වෙනුවෙන් ද ඔවුන් විශාල උනන්දුවක් සහ එකමුතුවක් දක්වයි. එම ක්‍රීඩා සහ විනෝදාස්වාදයන් සඳහා මුළු ගමම එකට එකතු වෙන්නේ අපේ අලුත් අවුරුදු උත්සවයක් සිහිපත් කරමිනි. මේ සියලු කරුණු අනුව පෙනෙන්නේ අප ද අනුගමනය කරන්නේ දකුණු ඉන්දීය උත්සව සහ චාරිත්‍රවාරිත්‍ර බව නොවේ ද?  ඉන්දියාවේ අලුත් අවුරුදු දිනය හිරු මුල් කොට ගත් සංස්කෘතික උළෙලකි. ඈත අතීතයේ සිට ම කෘෂිකාර්මික දිවි  පෙවෙතක් ගත කරන ජනතාව අතර සශ්‍රීකත්වය පතා හිරු ඇදහීමේ චාරිත්‍ර පැතිර තිබිණි. තම අස්වැන්න සශ්‍රිකවත් කර දෙනු ලබන්නේ හිරු දෙවියන් විසින් බව ඔවුන්ගේ ඇදහීම විය. හිරු දෙවියන් තමන්ට ලබා දුන් ඒ සේයට කෘතගුණ දැක්වීම පිණිසත් උදාවන නව වසරේදීත් හිරු දෙවියන්ගේ අනුග්‍රහය, කරුණාව හිමි කොට ගෙන තම ජීවනෝපායන් සාර්ථක කර ගැනීම පිණිසත් පුද පූජා පවත්වා හිරු  දෙවියන් සතුටු කිරීම මෙම හිරු ප්‍රණාම උළෙලවල මූලික අරමුණ විය. සිංහල අවුරුදු උළෙල ද පෙර පැවති ඒ හිරු ප්‍රණාම උළෙලේ ම වෙනත් ස්වරූපයක් බව ඉටු කෙරෙන චාරිත වාරිත්‍ර අනුව දැන් ඔබට  හොඳින් ම පැහැදිළි වෙනවා ඇති.



අලුත් අවුරුදු උත්සවය එක් අතකින් සංස්කෘතික උළෙලක් වන අතර ම තවත් අතකින් නැකැත් උළෙලකි. අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවල දී විවිධ ඇදහීම්, ජ්‍යොතිෂ විද්‍යාව, හා ආයුර්වේදය යන අංශවලට සුවිශේෂ ප්‍රධානත්වයක් හිමිව ඇත. පෙර පැවති හිරු ඇදහීමේ චාරිත්‍ර හැරුණු කොට විවිධ සම්ප්‍රධායික ඇදහීම් ද නැකැත් ක්‍රම ඖෂධ ක්‍රම ද යොදා ගනිමින් ඉටු කෙරෙන අවුරුදු චාරිත්‍රවල මූලික අරමුණ වන්නේ සශ්‍රිකත්වයයි. ඒ හැරුණු කොට කෘෂිකාර්මික ජනතාවට නිබඳ වැදගත් වන සාමය, සමගිය වර්ධනය වන ආකාරයේ චාරිත්‍ර වාරිත්‍ර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට ඇතුළත් ව තිබේ.


අලුත් අවුරුදු සිරිත් විරිත්


පුන්‍යකාලය සඳහා පන්සල් හෝ කෝවිලට යාම. මෙය 16වැනි සියවසේ පටන් පැවතී ගෙන එන සිරිතක්  ලෙස පෙනේ.


අලුත් අවුරුද්ද යෙදෙන හැටි


ජ්‍යොතිෂට අනුව රාශි චක්‍රයේ ඇති රාශි දොළහ පුරා හිරු වසර පුරා ගමනේ යෙදෙයි. මේ රාශියෙන් ඇරඹෙන මෙම ගමන දින 365 1/4 ක දී මීන රාශියට පැමිණ එක් ගමන් වාරයක් නිම කොට තවත් ගමන් වාරයක් මේ රාශියෙන් ආරම්භ කිරීම සිදුකරයි. අප අළුත් අවුරුද්ද වශයෙන් සලකනු ලබන්නේ හිරු තම දවස් 365 1/4 අවසන් කර අලුත් දවසකට එළැඹෙන දිනයට යි.


නොනගතය


නොනගතය' යන්නෙහි තේරුම 'නැකැත් නැති කාලය ලෙස බොහෝ දෙනෙකු හඳුන්වන නමුත් ජ්‍යොතිෂයට අනුව නැකැත් නැති කාලයක් පිහිටන්නේ නැත. සෑම මොහොතකම කිසියම් නැකතක් උදාවෙමින් පවතින බැවින් නොනගතය නැකැත් නැති මොහොතක් ලෙස සැලකිය නොහැකි ය. 'නොනගත' යන්නෙහි තේරුම වන්නේ පැමිණි- නොපැමිණි' යන්න බව භාෂා විශාරදයින්ගේ මතය යි. එනම් ආවෙත් නැති - නාවෙත් නැති කාලය යන්නයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමේ දී පැය 12කුත් මිනිත්තු 42ක කාලයක් තුළ මීන රාශීයේ සහ මේෂ රාශිය යන රාශි දෙකේ ම අතර මැද පවතියි. එනම් ඒ කාලයේ දී හිරුගෙන් එක් කොටසක් මීන රාශියේ ද අනෙක් කොටස රාශියේ ද ඇති බැවින් ඒ මොහොතේ හිරු මේ රාශියට ආවෙත් නැති-එහෙත් නාවෙත් නැති තත්වයක පවතියි. ඒ කාලය  නොනගතය වන්නේ එබැවිනි. මෙම නොනගත කාලයේ මුල් කොටස අශුභ ලෙස සැලකෙන අතර සූර්යයාගෙන් අඩකට වඩා මේෂ රාශියට පැමිණි පසු ගත වන නොනගතයේ අපර භාගය ලෙස හඳුන්වන කාලය ශුභ ලෙස සැලකේ.


අලුත් අවුරුදු චාරිත්‍ර


අළුත් අවුරුදු නැකැත් සහ චාරිත්‍රවාරිත්‍ර එක ම මොහොතක මුළු රට පුරා ම සිදුකිරි ම මෙහි ඇති වැදගත් කමයි. නැකැත් හෙවත් ශුභ මුහුර්ථ අනුගමනය කරමින් කෙරෙන පරසික චාරිත්‍ර රැසක් දක්නට ලැබේ.පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම සහ පරණ අවුරුද්ද සඳහා ස්නානය යනුවෙන් චාරිත්‍ර දෙකක් අවුරුදු චාරිත්‍ර අතර වේ. ජ්‍යොතිෂයේ දී සඳගෙන් මව සංකේතවත් වෙයි. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම ලෙස සැලකෙන්නේ ගෙවුණු වසරේ මවගෙන් ඉටු වූ යුතුකම් වෙනුවෙන් කලගුණ සැලකීමයි. ස්නානය තුළින් සංකේතවත් වන්නේ ගෙවුණු කාලය නිමවීමේ දී පිරිසිදු සිතින් කයින් යුතුව නව වසරේ ආරම්භයට මුහුණ දිය යුතු බවයි.


අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂ කාලය නොනගතය හෙවත් පුණ්‍ය කාලය වේ. පුණ්‍ය කාලය ලෙස මෙය හඳුන්වනු ලබන්නේ ආගමානුකූල කටයුතු වත් පිළිවෙත් ආදියෙහි යෙදී නව වසර ආරම්භයට සැහැල්ලු සිතින් යුතුව මුහුණ දීමයි. මේ චාරිත්‍රය ඉටු කිරිම සඳහා හින්දුවරු හින්දු කෝවිල්වල ඇති දේව පූජා ආදියට යොමු වන අතර බෞද්ධයෝ විහාරස්ථාන කරා ගොස් බණ, පිරිත් ආදියට සවන් දීම, බුදුන් දෙවියන් වැඳීම වැනි කටයුතුවල යෙදෙති. මෙම කාලය තුළ ආහාර පිසීම නොකෙරේ. කෘෂිකාර්මික ජනතාවගේ සුවිශේෂ ස්ථානය ලෙස සැලකෙන නිවසේ මුළුතැන්ගෙය පුණ්‍ය කාලයට පෙර හොඳින් පිරිසිදු කර අලුතින් ගොම මැටි ගා , නිවසට  ගෙන ආ නැවුම් වළං ආදිය නව වසරේ ඉවුම් පිහුම් කටයුතු සඳහා සූදානම් කොට තැබීම සිදු කෙරේ. නිවසේ ලිප ගිනි දැල්වීම සම්පූර්ණයෙන් ම පුණ්‍ය කාලයට පෙර නතර කොට ඒ ස්ථානය හොඳින් පිරිසිදු කර තැබී ම ගෘහණියගේ සිරිත වෙයි. පුණ්‍ය කාලය අවසන් වන විට ලිප ගිනි දැල්වීමේ නැකැත උදා වන අතර එම ශුභ මොහොතින් ලිප ගින් දල්වා කිරි උතුරවනු ලැබේ. මෙය හිරු වෙනුවෙන් ඉටු කරන චාරිත්‍රයක් වන අතර කිරි ඉතිරවීමෙන් ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වන බව ඔවුන්ගේ විශ්වාසය යි.


කිරි ඉතිරවීමෙන් පසු කිරි බත් ද අනෙක් ආහාර පාන ද සකස් කිරීම ද ඇරඹේ. අවුරුදු උදාව ලෙස හඳුන්වන මෙම බත ඉතා පිරිසිදුව සකස් කරන අතර රස කැවිලි පලතුරු ආදියෙන් යුතු අංග සම්පුර්ණ ආහාර වේලක් මෙහිදී චාරිත්‍රානුකූලව සකස් කෙරේ. ආහාර ගැනීමට පෙර වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම නම් චාරිත්‍ර ඉටු කිරීමට පෙර සිට පැවති සිරිතයි. තම තමන්ගේ වෘත්තීයට අනුව වැඩ පල ආරම්භ කිරීම, අධ්‍යාපනයේ යෙදෙන දරුවන් නම් පොත්පත්වල වැඩ කටයුතු කිරීම ආදිය වැඩ ඇල්ලීම ලෙස හැඳින්වේ. ගනුදෙනු කිරීමේ චාරිත්‍රයෙන් සංක්තවත් වන්නේ ශුභ මොහොතින් ආර්ථික කටයුතු ආරම්භ කිරීමයි. ඉන්පසු ආහාර අනුභව කළ යුතු නැකත ළඟා වෙයි. ආහාර තැන්පත් කළ මේසය මත හිරු වෙනුවෙන් පහන් දල්වා අවුරුදු බතින් කොටසක් හිරු වෙනුවෙන් ද තවත් කොටසක් තමන්ගේ මළගිය ඥාතීන් වෙනුවෙන් ද (සමහර පලාත්වල මෙම සිරිත අනුගමනය නොකෙරේ) තැන්පත් කිරීමෙන් පසු ආහාර අනුභව කෙරේ. මෙයින් කළ ගුණ සැලකීමේ මහඟු  අගය ඉස්මතු වේ.


හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ දී ආයුර්වේද ශාස්ත්‍රයට අනුකූල ඖෂධ හිස ගල්වා ස්නානය කිරිම සිදු කෙරෙන අතර නව වසරේ සෞඛ්‍ය ආරක්ෂක්ෂා කර ගැනීම එයින් සංකේතවත් කරයි. රැකී රක්ෂාදිය සඳහා පිටව යාම ශුභ මොහොතින් ඉටු කිරීම ද මානසිකව ද උයෝගිමත් ලෙස නව වසරට මුහුණ දීම සඳහා කටයුතු සූදානම් කිරීමක් වේ. එමෙන් ම සෑම පවුලක ම සාමාජිකයන් අතර ආදරය, ගෞරවය, සමගිය වර්ධනය වන ආකාරයට වැඩිහිටියන්ට බුලත් දී වැඳීම, ගරු කිරීම, තෑගි බෝග දීම යනා දී කටයුතු ඉටු කිරීම ද සිංහල හින්දු අලුත් අවුරුදු උළෙලේ විශේෂ චාරිත්‍රයකි.


නෑ ගමන් යාම ද තවත් මෙවැනි ම වූ චාරිත්‍රයකි. රස මසවුළු ආහාර යනාදිය අසල්වැසි ඥාති මිත්‍රාදීන් සමග බෙදා හදා ගැනීම ද නෑ හිත මිතුරන්ගේ නිවෙස්වලට තෑගි බෝග ගෙන යාම ද තම නිවෙස්වලට පැමිණෙන ලෙසට ආරාධනා කොට බතින් බුලතින් සංග්‍රහ කිරීම ද මෙම චාරිත්‍ර අතර වේ. ගෙවුණු වසරේ යම් යම් ගැටළු මතු වී නම් ඒවා සමථයකට පත් කොට ගෙන සාමය සමගිය සහ හිතවත්කම් යළි වර්ධනය කර ගැනීමට මෙය ඔවුනට මහගු අවස්ථාවක් බවට පත් වේ.



අවුරුදු ක්‍රීඩා


සිංහල අලුත් අවුරුද්දේ තවත් විශේෂ අංගයක් වන්නේ අවුරුදු ක්‍රීඩා ය. පෙර සිට පැවති බොහෝමයක් අවුරුදු ක්‍රීඩා අද වන විට දක්නට නැතත් තවමත් පොදුවේ ක්‍රීඩා උත්සව පැවැත්වීම තුළින් හෝ මේ අවුරුදු ක්‍රීඩා ඉදිරිපත් වීම සැබැවින්ම අගනේය. පංච දැමීම, කැට ගැසීම වැනි ගෘහස්ථව පවත්වන අවුරුදු ක්‍රීඩා මෙන් ම සාමුහිකව පවත්වන ඔන්චිලි පැදීම වැනි ජන ක්‍රීඩා ද අලුත් අවුරුදු ක්‍රීඩා අතර

වේ. මේ සෑම ක්‍රීඩාවක් තුලින්ම සිදු වන්නේ සාමය සමගිය සහජීවනය සඳහා ජනතාව යොමු කිරීමයි. එබැවින් සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය යනු ජනතාව ඒකරාශී කොට ඔවුන් අතර සාමය පැතිරවීම ලෙස දැක්විය හැකි ය. එමෙන්ම එහි ඇති විවිධ ලක්ෂණ සලකා බලන විට වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ද මනෝ විද්‍යාත්මක වශයෙන් ද ආගමික වශයෙන් ද පරිපූර්ණ වූ ද සමාජ චාරිත්‍ර වාරිත්‍ර තුළින් එකිනෙකා සුහදතාවයෙන් බැඳ තබන සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල මානව හිතවාදයේ සැබෑ ප්‍රතිමූර්තියක් බව පෙනේ.