
ලොව පුරා බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවය වන්නේ වෙසක් උත්සවයයි. වෙසක් උත්සවය පවත්වනු ලබන්නේ බෞද්ධයන්ගේ අසමසම ගෞරවයට ප්‍රාත වූ ශාස්තෘවරයාණන් වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන තෙමගුල නිමිති කොට ගෙන ය. මෙය සෑම වසරක ම වෙසක් මාසයේ පුර පසළොස්වක පොහෝ දිනයට යෙදේ. ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව මැයි මාසයේ යෙදෙන මෙම සුවිශේෂ උත්සවය සෑම වසරක ම එක ම දිනයක නොයෙදෙන්නේ බෞද්ධයන් චන්ද්‍ර මාස ක්‍රමය අනුව දින තීරණය කරන බැවිනි. කෙසේ වුව ද ඈත අතීතයේ සිට ම මෙම උත්සවය පුර පසළොස්වක පොහොය පැවැත්වෙන මැයි මාසයේ පසළොස්වක පෝය දිනය ලෝකයේ ම නිවාඩු දිනයක් බවට ද පත්කර ඇත.
වෙසක් උත්සවයට පසුබිම් වූ සම්බුද්ධ තෙමගුල
ශක රජුගේ උත්පත්තිය සමග ශක වර්ෂය ද වන අතර බුද්ධ වර්ෂ ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිති කොට ගෙන ය. ඒ අනුව සලකා බලන විට මීට වසර 2560කට පෙරාතුව බුද්ධෝත්පත්තිය සිදු වී ඇති බව පුරා විද්‍යාඥයින් තහවුරු කර තිබේ. බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරු ලෙස උපත ලද අතර එතුමන්ගේ පියාණන් වූයේ කපිල වස්තු පුර රජ කළ සුද්ධෝදන
රජතුමා ය. මහමායා දේවිය මෑණියන් විය. දෙව්දහ නුවර රජ කළ සුප්‍රබුද්ධ රජුගේ දියණිය වන මහාමායා දේවිය පුත් කුමරු බිහි වන්නට ආසන්න වෙත් ම දඹදිව පැවති චාරිත්‍රානුකූලව සිය දෙමාපියන් විසු දෙව්දහ නුවර බලා සිය පිරිවර සමග පිටත් වූවා ය. අතර මග තිබූ 'ලුම්බිනි සල් උයන්නේ'මඳක් ගිමන් හැරීමට ඇයට සිත් විය. සල් තුරු සෙවනක පරිවාරිකාවන් සමග රැඳුණු මහමායා දේවියට එහි වූ නිල්වන් ජලයෙන් පිරි පොකුණක් දක්නට ලැබුණි. මහා මායා දේවියට එම පොකුණින් ස්නානය කිරීමට ආශාවක් ඇති වූ අතර එහි බැස සිත් සේ ස්නානය කළ ඇයට ඇගේ කුස තුළ සිටි දරුවා බිහි වීමට ආසන්න බව අවබෝධ විය. ඇය සමග සිටි පරිවාර කාන්තාවන් වහා වටේට තිර ඇද මහා මායා දේවියට දරුවා ලැබීමට සුදුසු පරිදි එම ස්ථානය සකස් කළහ.
පසු කලෙක සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අසම සම ගෞරවාදරයට පාත්‍ර වූ ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය වූ සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදු වන්නේ එදා ලුම්බිනි සල් උයනේ දී ය. එය වෙසක් මාසයේ පසළොස්වක පොහොය දිනයයි. ක්‍රමයෙන් වැඩෙමින් ශිල්පයෙහි කෙළ පැමිණි කුමරුට නිසි කළ පැමිණි විට සුද්ධෝදන රජු විසින් මෞලි මංගල්ල්‍යයක් පවත්වා ආවාහයක් සිදුකර දෙයි. ඒ යසෝදරා දේවියයි. ඇයට පුතෙකු ලැබෙන දිනයේ ගිහි ගෙය පිළිබඳව කලකිරුණු සිදුහත් කුමරු රජකම ද හැර දමා චන්න ඇමති සහ කන්ථක අසු සමග අනෝමා ගංතෙරට ගොස් චන්න සහ කන්ථක ආපසු යවා තවුස් දම් පුරමින් සත්‍ය ගවේෂණයේ යෙදෙන්නට විය.
ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර වැනි ශාස්ථෘන් වෙත ගිය සිදුහත් තවුසා සිරුරට දැඩි දුක් දෙමින් සත්‍යය සොයන්නට උත්සාහ කලේය. එය සත්‍යයේ මාර්ගය නොවන බව අවබෝධ කොට ගත් සිදුහත් තවුසාණන් අනතුරුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් භාවනා කොට මාර්ග ඵළ ලබන්නට සමත් විය. පියවරෙන් පියවර දැඩි අදිටනින් ද වීර්යයෙන් ද යුතුව සත්‍ය ගවේෂණයේ නියුතු වූ සිදුහත් තවුසාණෝ බුදුවී මිස නොනවතිමියැ'යි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වීර්යය වැඩී ය. වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනයේ අලුයම් කාලයෙහි සියලු කෙලෙසුන් නසා ලොව්තුරා බුද්ධත්වයට පත් වුණේ ය. බුද්ධත්වයට පත් වී සියලු සත්වයන් වෙත පතල මහා කරුණාවෙන් දහම් දෙසමින් අසම සම සේවාවක් ඉටු කළ බුදු රජාණන් වහන්සේ අසූ වැනි වියට පත් විය. පරිනිර්වාණයට මෙය සුදුසු කල් බව තීරණය කළ උන්වහන්සේ දඹ දිව කුසිනාරා නුවර මල්ල රජදරුවන්ට අයත් උපවත්තන සල් උයනට පැමිණ පිරිනිවන් මංචකයෙහි සැතපී රැස් වූ දෙව්, බඹු, සුර, නර සියලු පිරිසට දහම් දෙසා පිරිනිවන් පා වදාළහ. උන්වහන්සේ පිරිනිවන් පෑවේ ලෝහිත පක්ඛන්දිකා රෝගය වැළඳීමෙනි.
වෙසක් වත් පිළිවෙත්වල අර්ථය
වෙසක් දිනයේ දී බෞද්ධ ආගමිකයින් විසින් ඉටු කෙරෙන පූජා දෙකක් වේ. ඒ ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාවයි. ආමිස පූජාව යනු පොදු වශයෙන් ඉටුකළ යුතු පින්කම් ය. මව්පියන්ට සැලකීම, මල්පහන් පූජා, දානමානාදී කටයුතුවල යෙදීම, රෝගීන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, අසරණයින්ට උදව් උපකාර කිරීම, තොරන් සැරසිලි, වෙසක් පහන් දැල්වීම, භක්ති ගී ගායනා ආදී කටයුතුවල යෙදීම ආමිස පූජාවයි. ප්‍රතිපත්ති පූජාව ලෙස හැඳින්වෙන්නේ ශීලය සහ භාවනාවයි. බෞද්ධ දර්ශනයේ පදනම වන ශීලයත්, භාවනාවත් බුදු රජාණන් වහන්සේ හඳුන්වා දී ඇත්තේ තමන් වහන්සේ වෙනුවෙන් කළ හැකි හොඳම පූජාවනට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ය. එනම් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බව ය.
වෙසක් උත්සව සමයේ දී සියලුම බෞද්ධයෝ ආමිස පූජාවන් මෙන් ම ප්‍රතිපත්ති පූජාවන් ද තම තමනට හැකි පමණින් ඉටු කරති. ආගමක් නොව, දර්ශනයක් වන බුදු දහමේ මේ අයුරින් කටයුතු කළ යුතු යැයි නීති රීති පනවා නැත. උන්වහන්සේ දේශනා කොට ඇත්තේ මේ අයුරින් කටයුතු කළ හොත් සුගතියට ද මේ අයුරින් කටයුතු කළහොත් දුගතියට ද පැමිණෙන බව ය. එබැවින් බුදුරජාණන් වහන්සේන්ගේ තෙමගුල සිහි කර මෙම උත්සවයේ දී බෞද්ධයන් තමන්ට හැකි අයුරින් ආමිස සහ ප්‍රතිපත්ති පුද පූජා ඉටු කොට තම ජීවිත සාර්ථක කර ගැනීමටත් අර්ථවත් කර ගැනීමටත් උත්සාහ කරති. කෙසේ වෙතත් වර්තමානය වනවිට වෙසක් උත්සවයේ ආගමික හරය ඉවත් වෙමින් සංගීත සංදර්ශන සහ විනෝද උත්සව බවට පත් කරගනිමින් තිබීම නිසා මෙයාවයන් අපේක්ෂා කරන අලෞකික සුවය අත්කර ගැනීමට ද සි යමක් ලැබේවි දැයි යන්න සැක සහිතය.
ලාංකීය වෙසක් උළෙලේ ඉතිහාසය
සුවිශේෂ දිනයක් ලෙස වෙසක් පුන් පොහෝ දිනය වැදගත් වන බව මහාවංශයේ සඳහන් කර ඇත. එයට හේතු වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සිදු වූ දිනයත් ලංකා රාජාවලියේ ආරම්භය ලෙස සැලකෙන විජය කුමරු තම්මැන්නාවට ගොඩ බැසීමත් එකම දිනයෙක සිදු වූ බව ද මහාවංශය ගෙන හැර දක්වන බැවිනි. ඒ අනුව සලකන විට වෙසක් පුන් පොහෝ දිනය ලක්බිම තුළ නව සංස්කෘතියක්, නව සභ්‍යත්වයක් ආරම්භ වූ සුවිශේෂ දිනයකි. (කෙසේ වෙතත් අශෝක ස්ථම්භයේ ඇති බුදු පිරිනිවන්නේ දිනයත්, මහාවංශයේ විජය කුමාරයා ලංකාවට ගොඩ බට දිනයත් අතර යම් වෙනස් කමක් පවතින බව පුරා විද්‍යාඥයින් පෙන්වා දෙනු ලැබ ඇත) එසේම බුදු සසුනට අපිරිමිත සේවයක් ඉටු කළ දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයේ වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුයේ ද වෙසක් පුන් පොහෝ දිනක බව වංශ කතාවල සඳහන්වේ.
වසභ රජු වෙසක් උත්සව හතළිස් හතරක් සංවිධානය කළ බව ද මහාවංශය සඳහන් කරයි. එසේ ම ලක්දිව රජ කළ බොහෝ රජවරුන් වෙසක් උත්සවයට අනුග්‍රහය දක්වමින් දාන සීල භාවනා ආදියට සම්බන්ධව ඇති අතර දුගී මගී යාචකයන් සඳහා දන්සල් දීම ඇතුළු කටයුතු රාශියක් සිදුකර තිබේ. පළමු වන පරාක්‍රම බාහු රජුගේ යුගයේ ද වෙසක් පොහොය ආගමික උත්සව දිනයක් බවට පත් කොට තිබිණ. වෙසක් දිනයේ ගරුත්වය ආරක්ෂා කිරීම පිණිස නීති පැන වූ හෙළ රජ දරුවන් ද සිටි බව ඓතිහාසික තොරතුරුවලින් පෙනී යයි. තුන්වන උදය රජු වෙසක් පෝ දින වෙළඳාම් කළ වැසියනට දඬුවම් පමුණුවා ඇති අතර මෙම දඬුවම ලෙස පනවා ඇත්තේ මහියංගන විහාරයේ පහන් පූජාවට තෙල් සැපයීම, මල් සැපයීම වැනි කටයුතු වීම තවත් සුවිශේෂත්වයකි.
වෙසක් දින නිවාඩුව
වෙසක් දිනය නිවාඩු දිනයක් ලෙස නම් කරනු ලැබූයේ ක්‍රිස්තු වර්ෂ 942 වංශ කතාවල සඳහන්ව තිබේ. වසර සිය ගණනක් පුරා පැවති එම නිවාඩුයි මේ ආණ්ඩුකාරවරයෙකු වූ ඉමාන් විලියෙම් ෆ්ලැක් (ක්‍රි.ව1765-1785) විසින් අවලංගු කර දමන්නට යෙදී ඇත. බෞද්ධයන්ගේ උද්ඝෝෂණ නිසා 1770 නොවැම්බර් පළමු වන දින නැවතත් එම නිවාඩුව ලබා දෙන ලදී. එහෙත් 1796 මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍යයට නතුවීමත් සමග ම වෙසක් නිවාඩුව යළිත් අවලංගු විය. 1815 දී බ්‍රිතාන්‍යයින් උඩරට ගිවිසුම අනුව බෞද්ධයින්ගේ අයිතිවාසිකම් සුරකින බවට පොරොන්දු වුව ද ඔවුන් එය ඉටුකළේ නැත. වෙසක් දිනය නිවාඩු දිනයක් කරන ලෙස දිගින් දිගට ම ආගමික නායකයින්, වියතුන් උද්ඝෝෂණ ගෙන ගිය ද ඉංග්‍රීසිහු ඒවාට ඇහුම්කන් නොදුන්හ.
1880 මැයි 17 වන දින ඔල්කට්ක්තුමා ලංකාවට පැමිණීම නව බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරන්නක් විය. බෞද්ධයින්ගේ නැති වූ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා බෞද්ධාරක්ෂක සභාව' නම් සංගමයක් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගුණු අතර වෙසක් පෝ දිනය නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලා යටත් විජිත භාර මහ ලේඛට සන්දේශයක් යැවීමටත් එය ගෙන යාමට ලාංකික බෞද්ධ නියෝජිතයා ලෙස ඕල්කට්තුමා පත් කර ගැනීමටත් තීරණය විය. එම උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 1885 මාර්තු 27 වන දින එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන ගෝඩන් විසින් 1886 අංක 4 දරණ පනත මඟින් වෙසක් පුර පසළොස්වක පොහොය නිවාඩු දිනයක් බවට පත් කරන ලදී.
වෙසක් පෝය දිනය මුළු ලොවට ම නිවාඩු දිනයක්
1999 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා වූ ලක්‍ෂමන් කදිරගාමර් ඇමතිතුමාගේ යෝජනාවක් අනුව ලෝකයේ රටවල් 193ක් සාමාජිකත්වය දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් දිනය මුළු ලෝකයට ම නිවාඩු දිනයක් ලෙස නම් කරනු ලැබීය. එයට හේතුව පසළොස්වක පෝය දිනය එක ම දිනක නොයෙදීමයි. ඒ අනුව ඒ ඒ වසරවල වෙසක් මාසයේ පසළොස්වක පෝය දිනය ලෝකයට ම නිවාඩු දිනයක් වෙයි.
Comments
Post a Comment