gossiplanka image 1
 


ලංකාවේ ජාතික ස්මාරකය ද නිල වශයෙන් මෙතෙක් නම්කර නැතත් ලංකාවේ බොහෝ ප්‍රමුඛතා සිදුවන්නේ නිදහස් චතුරශ්‍රයේ වන බැවින් ලංකාවේ ජාතික ස්මාරකය ලෙස ලෝකය ම පිළිගනු ලබන්නේ නිදහස් චතුරශ්‍රයයි. ඉංග්‍රීසි නාමය Independence Commemoration Hall  1948 දී බ්‍රිතාන්‍යයෙන් අප රට නිදහස්වීම සනිටුහන් කිරීම සඳහා නිර්මාණය කළ ස්මාරකය නොහොත් අනුස්මරණ ශාලාව නිදහස් චතුරශ්‍රයයි. නිදහස් චතුරශ්‍රය අභියස ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය වරයා වූ ඩී.එස්. සේනානායක මැතිඳුන්ගේ පිළිරුවක් ද ඇත.  මෙම ස්මාරකය ගොඩනගා ඇත්තේ නිල වශයෙන් නිදහස පිළිගැන්වීම සඳහා 1948 පෙබරවාරි 4 වැනිදා ග්ලවුසෙස්ටර්හි ආදිපාදවරයා වූ හෙන්රි කුමරා විසින් ඒ සඳහා සැකසූ වේදිකාවක් මත නැග පළවෙනි නිදහස් පාර්ලිමේන්තුව නිල වශයෙන් විවෘත කළ ස්ථානයේ ය. ස්මාරකයක් මෙන් ම එය ලංකා සෙනට් සභාවේ උත්සව පවත්වන ස්ථානය ලෙසත් කලක් පැවතුණි. එමෙන් ම රාජ්‍ය නිදහස් උත්සවය ඇතුළු බොහෝ රාජ්‍ය උත්සව පවත්වනු ලැබුවේ ද මේ නිදහස් චතුරශ්‍ර ශාලාවේ දී ය.


නිර්මාණය


මෙම නිදහස් චතුරශ්‍රය සෑදීම නිර්මාණය කරනු ලැබුවේ ටොම් නෙවිල් වයින් ජෝන්ස් නැමැත ගෘහනිර්මාණ ශිල්පියෙකු විසිනි. (Tom Neville Wynne-Jones) ඔහු සමග ෂර්ලි ද අල්විස් නමැති ගෘහනිර්මාණ ශිල්පියෙකු ද එක්ව සිටියේ ය. මෙම නිදහස් චතුරශ්‍ර ශාලාව නිර්මාණය කරනු ලැබුවේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන්ගේ යුගය අවසන් කරමින් උඩරට රදළයන් සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා උඩරට ගිවිසුම අත්සන් කරනු ලැබූ මඟුල් මඩුවේ ආකෘතියක හැඩයට ය. 1949 පෙබරවාරි මස 4 වැනිදා මෙය ගොඩ  නැගීම ආරම්භ කළ අතර 1953 දී නිමවා අවසන් කරනු ලැබුවේ ය.


නිදහස් දිනය


ලංකාවේ ජාතික උත්සව අතර ප්‍රධානත ම උත්සවයන්ගෙන් එකක් වන නිදහස් දිනය සැමරීම සෑම වසරක ම පෙබරවාරි 4වන දාට යෙදෙයි. මෙම දිනය ලාංකීය ජනතාවට සුවිශේෂි දිනයක් වන්නේ වසර 133ක් පුරා සම්පුර්ණයෙන් ම බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ බලපෑම්වලට යටත්ව තිබුණු ශ්‍රී ලංකාව නිදහස් රටක් බවට පත් වූ දිනය සැමරීම මේ දිනයට යෙදීම හේතුවෙනි. (ක්‍රි.ව.1505 සිට රටේ විවිධ පලාත් පෘථිගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලනයන්ට නතුව තිබූ නමුත් මුළු රට ම යටත් කර ගැනීමට ඔවුන්ට ලැබුනේ නැත. නමුත් 1815 දී උඩරට රදළයන් සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා අතර අත්සන් කෙරුණ උඩරට ගිවිසුමත් සමග ම ලංකාව මුළුමනින් ම ඉංග්‍රීසි පාලනයට යටත් විය.


අතීතයේ දී සිව් හෙළය ලෙසින් බලි තරු රාවණ වැනි රජවරුන් විසින් පාලනය කළ ලංකාව පසුකලෙක විජයගේ පැමිණීමෙන් පසු ලාංකීය සිංහල පරපුරේ රජෙකු යටතේ හෝ ප්‍රාදේශීය රජවරුන් යටතේ පාලනය වුණ නිදහස් දේශයක් විය. මහා වංශයේ ලිඛිත ඉතිහාසය විජය රජුගෙන් ඇරඹෙන අතර ඉනික්බිති විවිධ රජවරුන් යටතේ ලංකාව පාලනය විය. විටින් විට ඉන්දීය සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට ද දකුණු ඉන්දීය රජවරුන් යටතේ පාලනය වීමට සිදු වූව ද ලාංකීය ජනතාවගේ අනන්‍යතාව බිඳ වැටුණේ නැත. ඉන්දියාවෙන් පැමිණි රජ බවට පත් වූ රජවරුන් පවා බොහෝ විට ලාංකීය ජනතාවගේ නිදහස උදුරා ගත්තේ නැත. කාලිංග මාග වැනි  දරුණු පාලකයින් හැර අනෙක් ආක්‍රමණික රජවරුන් රට පාලනය කළේ රටේ පැවැති පාලන ක්‍රමයන්ට අනුව ජනතා සිත් දිනාගෙන ය.


එළාර රජු තමා හමුවීමට රට වැසියන්ට ඉඩ ලබා දීම සඳහා තමා කැඳවීමට වෙනම ඝන්ටාරයක් සවිකර තිබුණේ ලු. එළාර රජුගේ පුතු විසින් පැදවූ අශ්ව රථයට යට වී තම පැටියා මිය ගිය පුවත රජුට සැලකිරීමට එළදෙනක එම ගණ්ඨාරයේ ලණුවෙන් ඇද්දේ ලු. රජතුමා ඒ පිළිබඳව සොයා බලා තම පුතුට දඬුවම් කළ බව ජනකතා වල සඳහන් වෙයි. එයින් ම ආක්‍රමණික රජවරපද එකී සාධාරණව රජකම් කළ හැටි මොනවට පැහැදිලි කරයි.  සෑම වසරක ම පෙබරවාරි 04 වැනිදා නිදහස් උත්සවය පැවැත්වෙයි. එය පැවැත්වෙන්නේ රටේ සේනාධිනායකයා වූ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ආචාර වෙඩි මුර 21ක් පවත්වා පවත්වනු ලබන මෙම උත්සවයේ දී ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය මගින් උත්තමාචාර පෙළපාලියක් පවත්වනු ලබයි.


මෙම උත්තමාචාර උළෙලේද්දී යුධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ නැටුම් කණ්ඩායම් විසින් විශේෂ නැටුම් දර්ශනද ඉදිරිපත් කරනු ලබන අතර ගොඩබිම යුධ රථ, නාවික හමුදා නැව් සහ බෝට්ටු ද, ගුවන් හමුදා යානා සහ හෙලිකොප්ටද සංදර්ශන එකතු කරමින් උත්සවය තව තවත් අලංකාරවත් කරනු ලබයි.  මෙම උත්සවය සඳහා ලංකාවේ සිටින සියලුම විදේශ තානාපතිවරු ද, මන්ත්‍රී සහ ඇමතිවරු ද ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවෙන අතර ජනාධිපතිවරයා සජීවී ව රූපවාහිනිය මගින් ජාතිය ඇමතීම සිදුකරන උගමාචාර පෙළපාලිය අවසානයේ ජනාධිපතිවරයාගේ සමගම නිදහස් දින උත්සවය අවසන් වෙයි.