gossiplanka image 1
 

රාමසාන් උත්සවය (රාමසාන් සහ රාමතාන්) ඉස්ලාම් බැතිමතුන් විසින් වසරේ ජූලි මාසයේ දී පවත්වන්නට යෙදේ. මුස්ලිම් ආගමික නීතිය අනුව සෑම ඉස්ලාම් භක්තිකයෙකු විසින් ම අනිවාර්යෙන් ම රැකිය යුතු 'නෝම්බි’ හෙවත් රාමලාන් උපවාස සීලය මාසයක් පුරා පවත්වා අවසන් කරන දිනය රාමසාන් උත්සව දිනය ලෙස හැඳින් වේ. මෙම උපවාස සීලය ආරම්භ කිරීමට හේතු වී ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල්කුරානය ලොව පහළ වීම සිදු වූ කාලය සිහිපත් කිරීමේ චාරිත්‍රයක් වශයෙනි.


ඉස්ලාම් ශුද්ධ ග්‍රන්ථ


ඉස්ලාම් ශුද්ධ ග්‍රන්ථ දෙකකි. එයින් ප්‍රධාන ග්‍රන්ථය වන්නේ අල්කුරාණයයි. මෙහි සඳහන් වන්නේ අල්ලාහ් දෙවියන් විසින් මුහම්මද් නබි තුමන්ට ප්‍රකාශ කරන ල ද දේව වාක්‍ය බව සඳහන්වේ. අවුරුදු 23 කාලයක් මුළුල්ලේ ගේබ්‍රියෙල් නම් දේව දූතයා විසින් නබි තුමාට  දෙන ලද අල්ලාහ් තුමන්ගේ පණිවිඩය මෙම ග්‍රන්ථය ලෙස සඳහන් වේ. මෙහි ගැඹුරු අධ්‍යාත්මික ඉගැන්වීම් ඉතාමත් ම සරල බසින් ලියා තිබේ. මුහම්මද් නබි තුමාගේ ජීවිතාදර්ශය ලෙස හැඳින්වෙන දෙවන ග්‍රන්ථය හැඳින්වෙන්නේ අල් හදිත් හෙවත් අස්සුන්තා යනුවෙනි. කුරානයේ සඳහන් වන ආගමික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී මුහුණ පාන ගැටළුවලට විසඳුම් ලබා ගන්නා ආකාරය මුහම්මද් නබි තුමාගේ ජීවිතය ඇසුරෙන් විස්තර කර ඇති මෙම ග්‍රන්ථය සැබවින් ම ශුද්ධ වූ ග්‍රන්ථය වන අල්කුරානයට සැපයූ අටුවාවක් ලෙස සැලකිය හැකි ය. (විශේෂයෙන් ම මෙම හදිත් නමැති මාර්ගෝපදේශකය භාවිතා කරන්නේ සුන්නි මුස්ලිම් වරුන් ය)


පංචස්ථම්භ


අල්කුර් ආනයේ සඳහන් වී ඇති පංචස්ථම්භ නම් නීති පහක් වෙයි.  මෙම නීති පහ සෑම මුස්ලිම් ආගමිකයකු විසින් ම අනිවාර්යෙන් ම පිළිපැදිය යුතු ය. ශුද්ධ වූ අල්ලාහ් විසින් මුහම්මද් නබි තුමන් වෙත ප්‍රකාශ කරන ලද දේව වාක්‍යවල ඒ බව සඳහන් ව ඇති බව කියැවේ.  මෙම පංචස්ථම්භ ප්‍රතිපත්තිය නම්,

1. ලොව එකම දෙවියන් වූ අල්ලාහ් දෙවියන් පිළිගත යුතු ය.

2. දිනකට පස් වතාවක් එම දෙවියන් නැමදිය යුතු ය.

 3. නැති බැරි අයට දන් දිය යුතුය.

4. උපවාසයෙහි යෙදිය යුතු ය.

5. හජ්- පැවැත්විය යුතු ය.


මෙහි සඳහන් වන සතර වන කරුණ හෙවත් උපවාසයෙහි යෙදීම රාමසාන් මාසයේ දී ඉටු කෙරෙන චාරිත්‍රයයි.

රාමසාන් (also known as Ramadhan, Ramathan or Ramzan)


වසරේ හත්වන මාසයේ දී රාමසාන් උත්සවය යෙදේ. උපවාසයෙහි යෙදීමෙන් යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන අතර දීර්ඝායුශ විඳීමට හැකිවන බව ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයයි. එමෙන් ම ශාරිරික සුවය මෙන්ම මෙම උපවාසය මගින් මානසික සුවය ළඟා කර ගත හැකි බව ද තමන්ගේ සිදු වන පව් සියල්ල කථා කර ගැනීමට උපවාසය හේතු වන බවද ඔවූහු විශ්වාස කරති. සෑම ඉස්ලාම් භක්තිකයකු විසින් ම අනිවාර්යෙන්ම ඉටු කළ යුතු මේ උපවාසය නොකර ඉඳීම සඳහා අවසර ලැබෙන්නේ අවුරුදු හතකට අඩු වයස්වල දරුවන්ට, ශරීර ශක්තියෙන් දුර්වල රෝගීන්ට   සහ වයස්ගත වූවන් යන පිරිසට පමණි. අනෙක් සෑම දෙනාම ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව රාමසාන් උපවාසයෙහි යෙදිය යුතු බව ඉස්ලාම් ආගමික නීතියයි.


උපවාසය ආරම්භ කෙරෙන්නේ හිරු උදාවීමත් සමග ම ඇරඹෙන යාඤා වාරයේ සිට හිරු බැස යන තෙක් ගත වන කාලය තුළ දී ය. පුරා මාසයක් පැවැත්වෙන මෙම උපවාස සඳහා උදෑසනින් ම අවදිවන මුස්ලිම් බැතිමත්තු මුහුණ කට දොවා පිරිසිදු වී හිරු  උදාවට පෙර යාඥා කොට උපවාසය ආරම්භ කරති. හිරු බැස යන තුරු ඔවුහු කිසිදු ආහාරයක් අනුභව නොකරති. සාමාන්‍යයෙන් මේ කාලය පැය 13ක් පමණ වේ. දහවල් කාලය තුළ ආහාර පාන ගැනීමෙන් ද, කාය සංතර්පණයෙන් ද වැළකී සිටිය යුතු වන අතර අවට පරිසරයේ කළු පැහැ උදා වුණේ යැයි දැනගත් කල්හි ම එම අවදියෙහි අනුභව කරන්න. කුරානයේ උපදේශය එයයි.


උපවාසයෙහි යෙදෙන්නවුන් වෙනුවෙන් උපදෙස් මාලාවක් ද ශුද්ධ වූ ග්‍රන්ථවල විස්තර වේ. ඒ අනුව අනුභව උපවාස කාලය තුළ කායික මානසික පීඩනවලට ලක්වීමෙන් වැළකී කායික වශයෙන් ද මානසික වශයෙන් ද විප්තුව සිටිය යුතු බව කියැවේ. එමෙන් ම එම කාලය තුළ මත් පැනින් ද පෝෂ්‍යදායක ද්‍රව්‍ය අනුභව කිරීමෙන් ද වැළකී සිටිය යුතු ය. සුදුසු පමණට වඩා පාන වර්ග නොගත යුතු ය. එසේ ආවේග පාලනය කර ගැනීම, යාච්ඤා හෝ ගාථා කීමෙන් සිත සංවර කර ගැනීම කළ යුතු ය. ක්ලාන්ත ගති හෝ ශාරිරික පීඩාවක් දැනේ නම් උපවාස නොකළ යුතුය යන උපදෙස් ද ඒ අතර වේ.


උපවාසයේ යෙදෙන ආකාරය


උදෑසන හිරු උදාවත් සමග ම ප්‍රථම යාඤාවෙන් ආරම්භ කරන උපවාසය හිරු බැස ගිය පසු නිමා කොට ආහාර පිළියෙළ කොට ගෙන දවසේ එකම ආහාර වේල අනුභව කිරීම ඉස්ලාම් බැතිමතුන්ගේ සිරිතයි. උපවාස කාලය ආගමික කටයුතු සඳහා වෙන් වූ කාලයක් බැවින් මේ මාසයේ දී ආගමික කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන්නට ඉස්ලාම් ආගමිකයෝ යොමු වෙති. අල්ලාහ් දෙවියන්ගේ අනුශාසනා පරිදි මේ කාලයේ දී දුප්පතුන්ට ධන ධාන්‍යා දී වස්තුව දීමෙන්, බොරු කීම, මත් පැන් ගැනීම වැනි දුශ්චරිතයන්ගෙන් මිදී ම වැනි කටයුතු කිරීමෙන් ද උපවාස ශීලය රකිති. සියලු පාපයන්ගෙන් මිදී ගත කරන මේ සුවිශේෂ කාලය නිම වන්නේ රාමසාන් උත්සව දිනයේ දී උපවාස ශීලය නිමා කිරිමෙනි.


රාමසාන් අරමුණ


රාමසාන් දිනය වෙන් වන්නේ පරිත්‍යාගය වෙනුවෙනි. වත් පොහොසත්කමින් අඩු අසල් වැසියනට හිතවතුනට ආහාර, ඇඳුම්, පැලඳුම්, ඖෂධ වැනි ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම මෙහිදී සිදු කරන ප්‍රධාන ම කරුණක් වේ.   එළුවන්, ගවයින්, අඩංගු 'කුර්බාන් නම් ආහාරය මෙහිදී විශේෂයෙන් දුප්පතුන් අතර බෙදා දීමට ඉස්ලාම් භක්තිකයෝ උනන්දුවක් දක්වති. ධනවත් මුස්ලිම් බැතිමතුන් තමන් වසර පුරා ඉපැයූ මුදලින් (සකාට්-Zakat) 2.5% කොටසක් ඉස්ලාම් බදු වශයෙන් වෙන් කරති. මෙම සකාට් බදු එකතුවෙන් කරනු ලබන්නේ දුප්පත් මුස්ලිම් ජනතාවට උපකාර කිරීම, මුස්ලිම් පූජකවරුන්ට යම් ගෙවීමක් කිරිමට, මුස්ලිම් ආගමට අළුතෙන් එක්වන්නන්ට උපකාර කිරීමට වැනි වැඩ කටයුතු සඳහා ය.


මානසික සංවර බව ද කායික සංවර බව ද ඇති කොට ගෙන යහපත් ජීවිතයක් ගත කිරිම සඳහා වසරකට වරක් යොමු වන මේ මාසික උපවාස කාලය ඔවුන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර යළි සිහිපත් කිරීමටත් බෙහෙවින් ඉවහල් වේ. ඉස්ලාම් බැතිමතුන් අතර සමගිය වර්ධනය වීමත් ආගමික වශයෙන් සහ ජාතික වශයෙන් එක් වී සමගි වී දියුණු වීම සඳහා රාමසාන් උත්සවය අල්ලාහ් දෙවියන්ගේ ඔවුනට ලැබුණු සැබෑ ආශිර්වාදයකි. ආදරය, සාමය, ධර්මික චින්තනය, සත්ව ප්‍රජාව තුළ ඇති කළ යුතු ය යන අල්ලාහ් දෙවියන්ගේ දිව්‍යමය අනුශාසනාව අකුරට ම ක්‍රියාත්මක කෙරෙන සමයකි.