
ඈත අතීතයේ සිට සිරිපා සිරස වන්දනාමාන කළ ද කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් වසර සිය ගණනක් ගත වූ පසු නිශ්ශංකමල්ල රජ සමයේ යළි සොයා ගැනුන බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. සිරිපාදය නැවත සොයා ගැනීම පිළිබඳව ජනශ්‍රැති දෙකක් තිබේ. ඉන් පළමුවැන්න පහත සඳහන්ව ඇති කතා පුවතයි. මහණ දම් පිරූ එක්තරා තරුණයකු සිවුරු හැර, තම වැඩිමහල් සොහොයුරාගේ නිවසේ ජීවත්ව සිටියේ ය. වැඩිමහල් සහෝදරයාගේ බිරිඳ ඔහුට බෙහෙවින් ප්‍රිය කළා ය. නමුත් තම සොයුරාගේ බිරිඳ සමග හාද කමක් ඇති කර ගැනීමට ඔහු කිසිසේත් ම කැමති වූයේ නැත. එයින් දැඩි ලෙස කිපෙන නෑනා තම සැමියාට පවසන්නේ ඔහුගේ සොයුරා ඔහු නැති අතර ඇයට බලහත්කාරකම් කරන්නට උත්සාහ කරන බවකි. තම බිරිඳගේ කතාව විශ්වාස කරන අයියා තම මල්ලිව කැලයට කැඳවාගෙන ගොස් අත් පා කපා දැම්මලු. ඔහු කැලයේ අසාධ්‍යව සිටින අතර දරට ගිය වෙද මහත්මයෙකුගේ බිරිඳක ඇතුළු පිරිසකට ඔහුව හමුවෙයි. ඔහුව තම නිවසට රැගෙන යන ඔවුන් ඔහුට වෙදකම් කර සුවපත් කර නිශ්ශංකමල්ල රජතුමාට අයත් කඳුකර මල්වත්තක නවත්වා ඇත්තේ එය බලාගැනීම පිණිස ය.
අත්පා නොමැති මෙම කොටා නිරතුරුව ම සතිපට්ඨාන භාවනාවේ යෙදුන අතර රාත්‍රියට හඬ නගා සජ්ජායනා කිරීමෙහි යෙදුනාලු. ඔහු එය ඉතා මිහිරි හඬින් ගායනා කෙරූබව කියවේ. නිතර නිතර රජතුමාගේ මල්වත්තේ මල් අඩුවෙන බව දුටු මේ මිනිසා මල් කඩන්නේ කවුදැයි විමසිල්ලෙන් සිටියා. දිනක් රාත්‍රියේ කාන්තා සිනාහඬක් ඇසී තමාගේ මුරකුටියෙන් මෑත් වී හඬ ආ දෙසට බඩගාගෙන ගියවිට රජුගේ මල්වත්තේ මල් කඩන්නේ සුරංගනාවියන් බව දැක තිබේ. එක සුරංගනාවියක් තම සළුව පසෙකින් තබා මල් කඩමින් සිටිනු දුටු ඔහු ඇයට හොරෙන් සලුවත් රැගෙන නැවතත් තම කුටියට බඩගාගෙන ගොස් තිබේ. මල්කඩ අවසන් කළ සුරගනන් නැවත පිට වී යාමට සැරසෙන විට එක සුරඟනකගේ සළුව නැති බව දැක බෙහෙවින් කලබලයට පත්ව තිබේ. එම සළුව නැති විට නැවත සුරඟන ලොවට යාමට නොහැකි ය.
ඒ අතර ඔවුන්ට අත්පා නැති කොටාගේ පැල දෙසින් සතිපට්ඨාන සූත්‍රය ගායනා කරනු ඇසී ඒ දෙසට පැමිණ තිබේ. එවිට කොටා ඔවුන්ට තම අත ඇති දිව සලුව පෙන්වා රජුගේ මල්වත්තෙන් හොරෙන් මල් කඩන්නේ ඇයි දැයි විමසා තිබේ. සමන්ත කූට පර්වතය මුදුනේ තුන්ලෝකාග්‍ර වූ බුදුපියාණන්ගේ සිරිපා පිය සටහනට පූජා කිරීමට මල් කඩාගෙන යන බව කී විට අපටත් පාර පෙන්වන්න පුළුවන් දැයි සුරංගනාවියගෙන් ඇසුවාලු. තම දිව්‍ය සළුව ආපසු දෙනවා නම් පාර පෙන්වීමට හැකි බවත් අහසට නැගී නියමිත පාරට වැටෙන සේ මල් හෙලනා බවත් ඇය පැවසුවාලු. නමුත් තමාට ඇවිදීමට නොහැකි බව ඔහු පැවසූ විට දිවසලුවේ ආනුභාවයෙන් අතපය නැවත ලබා දුන්නාලු. ඉන්පසු ඔහු මේ මල් වැටුණ පාර දිගේ ගමන් කොට සිරිපා පියසටහන සොයාගත් බව ජනප්‍රවාද කතාවල දැක්වේ. සිරිපාදය සොයාගත් බවට ඇති දෙවැනි කතාව වලගම්බා රජු පිළිබඳවයි.
දුටුගැමුණු රජුගේ අභාවයෙන් රාජ්‍යත්වයට පත් සද්ධාතිස්ස රජතුමාගේ පුත් වලගම්බා කුමරුයි. සද්දාතිස්ස රජුගේ ඇවෑමෙන් වලගම්බා කුමරු රජවෙන අතර (ක්‍රි.පූ. 104-ක්‍රි.පූ.76) පසුව චෝල ආක්‍රමණිකයන්ගේ තර්ජන හමුවේ පලායාමට සිදුවනවා. ඔහු කඳුකරයට පලාගොස් සැගවී සිටින අතර තුර දී කැලයේ ඇවිදින ඔහුට අලංකාර අං සහිත විශාල මුවෙකු දකින්නට ලැබ, මුවා පසුපසින් යයි. අවසානයේදී සිරිපා කඳු මුදුනට පැමිණෙන ඔහුට සිරිපතුල දැක ගැනීමට ලැබෙනවා. මේ අලංකාර මුවා ලෙස වෙස්වළාගෙන සිටියේ දෙවිකෙනෙකු යැයි ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. (සමහරු මේ මුවා ලෙස සිටියේ සමන් දෙවියන් ලෙස ද අර්ථකතනය කරනු ලබනවා)
කෙසේ වෙතත් පුරා විද්‍යාත්මක සාධකවලට අනුව ශ්‍රී පාදය ගැන ප්‍රථම සටහන ලැබෙන්නේ ක්‍රි.ව.1065-1119 දක්වා රජකළ මහා විජයබාහු රජ සමයේ දී ය. ඔහුගේ සෙල්ලිපියක සිරිපතුල වන්දනා කරන්නට යන ජනතාවට පහසුකම් ඉතා අවම බැවින් ගිලීමලේ දී පහසුකම් සැලසීමට කටයුතු කර ඇති බව සඳහන් වෙනවා. මේ කරුණු තහවුරු කරමින් ගිලීමලේ ද සෙල්ලිපියක් පිහිටුවා තිබෙනවා. මාර්කෝ පෝලෝ (ක්‍රි.ව.1254-1324) දේශගවේෂකයා 14වැනි සියවසේ දී සිදු කළ සිය චාරිකාවේ විස්තර සඳහන් කරමින් ලියා ඇත් සිරිපාදය නැගීම අතිශය දුෂ්කර බවත්, තැනින් තැන ගල්පඩි තිබුණ ද කන්ද මුදුනට යනවිට ඒවා නොමැති බැවින් තරණය ඉතාම අපහසු තත්වයේ ඇති බවත් ය. නිශ්ශංකමල්ල රජු තම ආරක්ෂකයින් ද සමග සමන්තකූටය නැග සිරිපතුලට මහත් හරසර දැක්වූ බවත් ඔහු විසින් සිරිපතුල ආරක්ෂාවීම සඳහා ආරක්‍ෂක බදාමයෙන් එය වසා දැමූ බවත් සඳහන් සෙල්ලිපියක් බගවා ලෙනෙහි පිහිටුවා තිබෙනවා.
මහවිජයබාහු, පළවෙනි පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල, දෙවැනි පරාක්‍රමබාහු යන රජවරුන් වරින් වර මෙම සිරිපා නගින මග ප්‍රතිසංස්කරණය කරවන ලදැයි පුරා විද්‍යා සාක්‍ෂි ඇත. කෙසේ වෙතත් සිරිපාද කන්ද තරණය කිරිම වසර 1000 කට වඩා වැඩි කාලයක් පුරා සිදුවී ඇති බව සාධක සහිතව තහවුරු වෙයි. දෙවන පරාක්‍රමබාහු රජුද සිරිපා කරුණාවට සහභාගී වූ රජෙකුවන අතර ඔවුන්ගේ අමාත්‍යවරයෙකු වූ දේවප්‍රතිරාජ නැමැත්තා විසින් නැගීමට අපහසු ස්ථානවල පඩිපෙල් ඉදිකරවා, යකඩ දම්වැල් සවිකරවා නැගීමට පහසු කරවනු ලැබූ බව සඳහන් වේ. ඊට අමතරව සිරිපා කරුණාකල රජුන් අතර දෙවනි විජයබාහු, වික්‍රමබාහු, විමලධර්මසූරිය, සීතාවක රාජසිංහ, ශ්‍රී විජය රාජසිංහ, නරේන්ද්‍රසිංහ කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරු ද සිටිති.
මහ ඇලෙක්සැන්ඩර් රජුගේ සිරිපා වන්දනාව
ක්‍රි.පූ. 325-324 අතර කාලයේදී මහා ඇලෙක්සැන්ඩර් රජු වයඹදිග ඉන්දියාව හරහා පහළට පැමිණි ඇති බව දක්වා තිබේ. නමුත් ඒ ගමනේදී ලංකාවට පැමිණියේ දැයි විස්තර කර නොමැත. කෙසේ වෙතත් ආරාෆ් නම් කවියා මහා ඇලෙක්සැන්ඩර් රජු සිරිපා වැඳීමට පැමිණි ආකාරය විස්තර කර තිබේ. තම පිරිසත් සමග මෙරටට ගොඩබට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ප්‍රීති ඝෝෂා කරමින්, රටේ සුන්දර ස්ථාන නරඹමින් සිරිපා තරණය සඳහා ගමන් කළ බව ඔහු සඳහන් කර තිබේ. ඇලෙක්සැන්ඩර් රජු බොලනිස් නමැති ග්‍රීක දාර්ශනිකයා ද සමග එක්ව සිරිපා මුදුන තරණය කළ බව පැවසේ. 14 වැනි සියවසේදී (ක්‍රි.ව.1347 දී) ලංකාවේ සංචාරයක යෙදුන මොරොක්කෝ ජාතික ඉබන් බතුතා තම දේශාටන වාර්තාවල සඳහන් කර ඇත්තේ සමනල ගිර පහළ තිබූ ගුහාවක ඇලෙක්සැන්ඩර් රජුගේ නම කොටා තිබූ බවයි.
මහා ඇලෙක්සැන්ඩර් රජු තමන් යන ස්ථානයන්හි එසේ නම කොටා යාම සිදුකරන බව ය. අරාබියේ ජනශ්‍රැත සහ කවිවල ඇලෙක්සැන්ඩර් රජතුමා එසේ පැමිණි බව සඳහන් වූව ද ලංකාවේ මහාවංසයේ හෝ වෙනත් තැනක ඒ බව සඳහන් නොවී ම පුදුමයකි. ඔවුන් පැමිණි බව නොදැන සිටීම හෝ සිතාමතා ම එය සඳහන් කිරීමෙන් වැළකී සිටීම යන කරුණු දෙක ම සිදුවිය හැකි ය. කෙසේ වෙතත් අරාබිය පුරා පැතිර පවතින පැරණි කියමනක් තිබේ. ඒ "ජීවිතයේ එක වරක් හෝ ආදම්ගේ පාදය (සිරිපාදය) සහිත කන්ද නගින්න" යන්නයි.
සිත ගැන අවබෝධ කර ගන්න සිරිපා වන්දනා කරන්න
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සිත මූලික කරගත් දහමකි. බුදු දහමෙන් උගන්වන්නේ තමාගේ සිත දමනය කර ගන්න ආකාරය යි. දමනය කරනවා කියන්නේ පාලනය කර ගන්නවාට ය. සිරිපා තරණය කරමින් වන්දනා කිරීම සිත පාලනය කර ගැනීමට උචිත ශාරීරික හා මානසික අභ්‍යාසයක් ලෙස සැලකිය හැකි ය. ගෙදර දොරේ දී තරම් ආහාර පාන සිරිපා වන්දනාවේ දී ලැබෙන්නේ නැත. කන්ද තරණය නිසා සිරුරටත් දැඩි වෙහෙසක් දැනෙන නමුත් පරිසරයේ ඇති සුන්දරත්වයත් සිසිලසත් නිසා ඒ වෙහෙස අමතක වී යයි. සිත සැහැල්ලු වෙයි. පිරිසිදු වෙයි. එම නිසා දරදඬු, පවිටු සිතුවිලි මතුවී ම ද අඩු වෙයි. සිත පාලනයත් පහසු වෙයි. "කරුණාවයි, කරුණාවයි, වඳින්න යන මේ නඩේට බුද්ධං සරණේ සරණයි", "වැඳල බහින මේ නඩේ ධම්මං සරණේ සරණයි", "වඳින්න යන මේ නංගිට බුද්ධං සරණේ සරණයි", "වැඳලා බහින මේ අයියට ධම්මං සරණේ සරණයි", "එහෙම කීව මේ නඩේට සංඝං සරණේ සරණයි'' මේ සිරුපාද කන්ද නගිදී, බසිද්දී ඇසෙන ගායනා ස්වරූප සුබාශිංෂනයන් ය. මේ අනුව අන්‍යන්ට කරුණාව දයාව අනුකම්පාව ආදී සිතුවිලි මනස තුළ ගබඩා වු විට මතුවන්නේ යහපත් සිතුවිලියි.
සිත් හේනේ (එකල සමනල කන්දට නගින කුරුවිට පාර ඇරඹුනේ හික්ගස් හේන හංදියෙන් බෝපත් ඇල්ල පාරේ තිබෙන පුරාණ රජමහා විහාරය අසලිනි) සිට සිරිපා පියසටහන් දක්වා වූ මනෝමය ගමන වැදගත් වන්නේ සිතුවිලි නිරෝධ කර සැනසුම ලබන බුදු මග බැවිනි.
සිරිපා පියසටහන වන්දනාවේ ආගමික අදහස
සිරිපා වන්දනාව යනු බුදුන් වහන්සේන්ගේ පියසටහනට වන්දනා කිරීමකි. නැතහොත් බුදුරජානන් වහන්සේ අනුගමනය කිරීමකි. එදා මිහිඳු මාහිමියන් දෙවනපෑතිස් රජතුමා ඇතුළු රාජකීය පිරිසට දේශනා කරන ලද්දේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි ජනතාවට ත්‍රිවිධ රත්නය හඳුන්වාදීමට තෝරා ගත්තේ මෙම සූත්‍රයයි. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය පා සටහන අනුව යන විමුක්ති ගමනක් සංකේතවත් කරයි. මිහිඳු හිමියන් වදාළ පා සටහන් අනුව විමුක්තිය කරා යන ගමන පිළිබඳ ධර්මාවබෝධයක් ලද එදා ලක්වැසි ජනතාවගේ චිත්ත සන්තානයේ එම ධර්මය මැනවින් ධාරණය වූ වග පැහැදිලි වන්නේ බුද්ධ පියසටහන පසුබිම් කොට විමුක්තියකට අදාළ ධර්මතාවයන්ගෙන් සැදුම් ලත් හැබෑ ගමනක් සකස් කිරීම තුළිනි. බුදුරජානන් වහන්සේ මෙකල නැති නිසා උන්වහන්සේගේ සිරිපතුල වන්දනා මාන කරන්න සැදැහවතුන් මහත් බැතියෙන් සමනලගිර තරණය කරන්නේ එබැවිනි.
සමන් සිරිත - සමන් දේවාලයේ සිට ආභාරණ ගෙන යාම
පෙර කාලයේ දී වර්තමානයේ මෙන් සිරිපා නැගීම සඳහා කාලයක් වෙන්කර තිබී නැත. එමෙන් ම සමන්දේවාලයේ ආභාරණ ආදිය රැගෙන වර්තමානයේ මෙන් පෙරහරින් වැඩම කරවීමක් ද සිදුවී නැත. මෙම උත්සව ශ්‍රීයෙන් සමන් දේවාලයේ සිට ආභරණ වැඩැම්මවීම ආරම්භ වී ඇත්තේ දඹදෙණි යුගයේ අවසාන සමයත් කෝට්ටේ යුගයේ ආරම්භයත් අතර කාලයේදී බව සැලකේ. මෙම කාලය 13වැනි ශතවර්ෂයත්, 15වැනි ශතවර්ෂයත් අතර කාලය තුළ සිදුවන්නට ඇතැයි සැලකේ. සමන් දෙවිඳුන්ගේ ආභරණ පැලැන්දු දේව රූපය සිරිපා මලුවේ සිට කිනිදම, දික්ලෙන, සීතගඟුල, මරගල්පොත, දියබෙද්ම, නීලියහෙල, දොඩම්බෙවිල, පලාබද්දල, බටපොල, ගිලීමලේ, මල්වල, රත්මල ඇල්ල, ගොඩිගමුව, රත්නපුර, ගල්කඩුව, සපරගමුව ඔස්සේ මහ සමන් දේවාලය වෙත රැගෙන විත් ඇත. (එකල රත්නපුරය සහ සපරගමුව යනු කුඩා ගම්මානයන් ය. වර්තමානයේ රත්නපුරය යනු දිස්ත්‍රික්කයක් සහ සපරගමුව යනු පලාතකි)
තුන් සරණ ගායනය
ශ්‍රී ලංකාවේ පැරණි ජනතාව වන්දනා ගමන් යාමේ දී තුන් සරණ ගායනා කිරීම කරන ලද්දේ ඉමහත් ශ්‍රද්ධාවකින් යුතුවය. මෙකල මෙන් මගදී ඇසීමට හෙඩ්පෝන් සහිත ජංගම දුරකතනවත්, වාහනවල ඇතිවාක් මෙන් ස්ටීරියෝ සෙටප් තිබුණේ ද නැත. ආරක්ෂාව පතා තුන් සරණය ගායනා කිරීම අනිවාර්යයෙන් ම සිදු වූවකි. තිසරණ පිහිට කරගනිමින් අධ්‍යාත්මික ගුණ වගාව සඳහා මනසට පුහුණුවක් දීමට මෙය කදිම අවස්ථාවක් වූවා ට ද සැක නැත. නිරතුරුව විසිරි පැතිරී දුවන සිත ඒකායන මාර්ගයකට ගැනීම සඳහා තමා බලාපොරොත්තු වන බුදු පිය සටහන් අනුව යන මාවතට වෙනත් බාධා සිතුවිලිවලින් අපිරිසිදු නොවීම සඳහා තුන් සරණය ගායනය අනිවාර්ය කරගන්නට ද ඇතිවාට සැක නැත.
වාහන පහලවීමත් සමඟ මේ ගමන විනෝදය ගෙනදෙන එකක් කරගත් නමුත් ශ්‍රී පාද වන්දනා ගමනේ දී තුන් සරණය ගායනා කිරීම කලාතුරකින් අදත් සමහර බැතිමතුන්ගෙන් කෙරෙන බව අසන්නට දකින්නට ලැබේ. "තුන් සරණය වඳින්නට යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි" යන ප්‍රියජනක වදන් තුළත් අද දක්වාම පවත්වාගෙන ඒම ඒ අනුව පෙන්වා දිය හැකි ය.
සූදාගල (කුරුවිට පාර)
කුරුවිට පාරෙන් සිරිපාද කන්ද නගින විට හික්ගස් හේන පන්සල අසලින් නැගීම ආරම්භ වෙයි. ඉන්පසු හමු වූ ප්‍රථම ගම්මානය වූයේ සූදාගලයි. එකල එය ගම්මානයක් නොව, ගල්පර්වතයක් පමණක් තිබූ කැලෑ බිමකි. නමුත් 1800 යෙන් පසු කාලයේ මෙහි මිනිසුන් පදිංචි වීම සිදුකර ඇත. අපි පන්සිල් සමාදන්වීමට පෙර නමස්කාරය කියන්නෙමු. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියා පළමුවෙන්ම බුද්ධ චින්තනයට නමස්කාර කළේ ජානුසෝනි බ්‍රහ්මයා විසිනි. (චුල්ලහත්ථිපදෝපම සූත්‍රය)
සොබාදහමේ යථා තත්ත්වය අවබෝධ කොට සදා සැනසුම උදා කරගැනීමේ බලාපොරොත්තු වන තැනැත්තා පළමුවෙන්ම කළ යුත්තේ මෙයයි. මේ ස්ථිර අධිෂ්ඨානය ඇති කරගැනීම සංකේතවත් කිරිම සඳහා සූදාගල යන නාමය යොදා තිබේ. මෙය ගලකට උපමා කොට තබා ඇත්තේ ස්ථිර බව අචල බව දැක්වීමටයි. සත්‍ය සොයනවා සැනසීම ලබනවා බුදු පියසටහන් අනුව ජීවිතය පවත්වනවා යන ස්ථිර අධිෂ්ඨානය යටි සිත තුළට කිඳා බැස්සීම සූදාගලින් සංකේතවත් කෙරෙනවා. (සූදාගල පිහිටා තිබෙන්නේ කුරුවිට හරහා සිරිපා වන්දනාවේ යන එරත්න පාරේය)
බටතොට
දුෂ්කර ගිරිදුර්ග තරණයේ දී ඊළගට ඔබට හමුවන්නේ බට තොටයි. නමස්කාරය කීමෙන් පසු මනස ආර්ය මාර්ගය වෙතට නැඹුරු වේ. පැමිණ තිබෙන මාර්ගයේ වෙනස දැනේ. අවබෝධය ලබා ගැනීමේ ස්ථිර අධිෂ්ඨානය අනුව තම චිත්ත සන්තාන බාබා ලෝකයෙන් මුදවා ගැනීමට පැමිණියා කියන අදහස ඔබටර්න් නට පටන් ගනී. නිරතුරුවම මනස සංකේතවත් කරන්නේ ගඟකට ය. එයට හේතුව ගග රැ දවල් දෙකේ වෙනසක් නොමැතිව ගලන බැවිනි. අපේ මනස ද එසේ ය. නිදා ගත්තත් වැඩවල යෙදුනත් සිතුවිලි ගමන නවතින්නේ නැත. ගලාගෙන යන ගගක් සේ මනස ක්‍රියාත්මකව පවතී. මනස නවතා බසින තැන බව අවබෝධ කරවීමට මෙතැනට බටතොට කියා හැඳින්වෙනවා. තිලෝගුරු බුදුපියානන්ගේ පා සටහන සොයා යමින් පැමිණි තැනැත්තා පටිශ්‍රොත මාර්ගයට පැමිණියා යන අදහසින් බටතොට යන නාමය යොදා තිබෙනවා ද විය හැකි ය.
තෙරන්න (එරත්න)
"බුද්ධං සරණං ගච්චාමි” බුදුන් සරණ යමි. “ධම්මං සරණං ගච්චාමි” දහම් සරණ යමි. ධර්මය අනුව ක්‍රියාකාරකම්වල යෙදෙමි. "සංඝ සරණං ගච්චාමි.” සඟුන් සරණ යමි. ශික්ෂණයට පත් වෙමි. මෙය තෙවරක්ම කියා ස්ථිරසාරව අධිෂ්ඨාන පූර්වකව තමාගේ හද පතුලටම කිඳා බැස්සීම තෙරන්නේ දී සිදු කෙරේ. (කුරුවිට පාරේ සමනොල කන්ද පාමුල පිහිටි සුන්දර ගම්මානය එරත්න ගම්මානයයි. ආදි කාලයේ මෙය හඳුන්වා ඇත්තේ තෙරත්ත යන නමිනි.) සිරිපා කන්ද නැගීම සැබැවින් ම ආරම්භ වන්නේ එරන්දෙනි. එරන්නට එනතුරු කඳුකර පාර වෙන අතර සිරිපා කඳුවැටියේ බෑවුම ඇරඹෙන්නේ එරත්තෙනි.
සීත ගඟුල
ඊළඟට ඔබට හමුවන්නේ සීත ගගුලයි. වන්දනාවේ යන අයගේ ගත සිත දෙක ම සනසන ස්ථානය මෙය යි. ගලා බසිනා අධික සීතල ජල දහරාවට පහලින් තිබෙන ගැඹුරු නිශ්චල ජල කඳ මිනිසුන්ගේ සිත් නිවා ගැනීමට සොබාදහම මැවූ අපූරු චිත්‍රයක් වැනි ය. වන්දනාවේ යන පිරිස සීත ගගුලෙන් නාගෙන සුදු පිරුවට ඇඳ බෑයක් හිසේ ගා හිස වඩාත් හොඳින් පිරිසිදු කර ගැනීමට කැමැත්තක් දක්වති. එහි යටි අදහස නම් වඩාත් මනස පිරිසිදු කරගෙන සිරිපා කරුණා කිරීම විය යුතුය.
මැදහින්න
මැදහින්නට පිවිසෙන විට නඩේගුරා අනෙක් අයට උපදෙස් දෙන්නේ කටවරද්දා ගන්න එපා කියලයි. කට පරිස්සම් කිරිම ක්‍රම දෙකකින් කළ යුතුයි. අපත්‍ය ආහාර නොගැනීම, මත්පැන්, දුම්වැටි නොගැනීම, අවේලාවේ ආහාර නොගැනීම පළමුවැනි ප්‍රවේසමයි. බොරු නොකීම, පරුෂ වචන නොකීම, කේලාම් නොකීම, හිස් වචන නොකීම අනෙක් රැක ගැනීමයි. කට වරද්දා ගැනීමෙන් සිදුවන විපාක ඔබ හොඳින් දන්නවා ඇති.
ගෙත්තම්පාන
මැදහින්න පසු වූ විට ආසන්නව හමුවන්නේ ගෙත්තම්පනයි. වන්දනාවේ යන පිරිස නැවතී නූල් බෝලයක් ගෙන ඉඳිකටුවක අමුණා ඒ මේ අතට ඇද කැලේට දමන්නේ මෙතන දී ය. විශේෂයෙන් ම කෝඩුකාරයන් ලවා මේ වැඩය කරවන ගමන් මේ කවිය කියනවා.
ගෙත්තම් පානට මුණි රජ වැඩලා
ගෙත්තම් කෙරුවේ ඉඳ පිටිපාලා
මෙම කවිය පැරණි තුන් සරණය පොතේ තිබෙන නිසා කියනවා. නමුත් මෙතැනින් ගතයුතු අවබෝධය නිසි ලෙස නොමැති කම නිසා මෙලෙස කියන බව අපට සිතා ගැනීමට සිදුවේ. අපේ පැරැන්නන් ඉඳිකටුව නූලක ගැට ගසා විසිකිරීමේ ක්‍රියාව සිදු කරන්නේ කුමක් නිසාදැයි නියම දැනුමක් ඇතිව කළ බව විශ්වාස කළ හැකියි. නමුත් වර්තමාන වන්දනා කරුවන් මේ පිළිබඳව කිසිවක් දන්නවා දැයි සැක සහිත ය. කරන්නන් වාලේ කිරිමක් සිදුවන දෙයක් ලෙසත්, දැන් මෙය ව්‍යාපාරයක් බවටත් පත්ව ඇති බවත් දැකි ය හැකි ය. පංචකාම වස්තූන් නිසා (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ) මිනිස් සිත අවුල් වෙනවා. එම නිසා සිත තුළ සමාධියක් ගොඩනගා ගන්න බැහැ. සිත සන්සුන් කර ගැනීමට නම් බාහිර ලෝකයෙන් ගන්නා අරමුණු අතහරින්න වෙනවා. සිත අවුල් වන්නේ බාහිර ලෝකයෙන්.
පංචකාම වස්තු නිසා මනසේ පහළවන්නේ කාම සංකල්පනා බව නොදන්නා මිනිසා මනස නූල් බෝලයක් මෙන් අවුල් කරගෙන අවුලෙන් අවුලට පත්කර ගන්නවා. ඒ සඳහා සියලුම පස්කම් නැමති ඉඳිකටු හා සිතුවිලි නැමති නූල් බෝලය විසි කළ යුතුම ය. මේ අනුව දැනට ශ්‍රී පාද ගමනේ යෙදෙන ප්‍රඥාවන්ත බැතිමත්හු ශීලයේ පිහිටා මද දුරක් ගොස් ඉදිකට්ට ඇමුනු නූල් බෝලය ඉඳිකටුපානේදී කැලේ විසි කරති. මෙයින් සංකේතවත් කරන්නේ පවිටු සිතුවිලිවලින් සිත මුදවා ගත් බවයි.
හැරමිටිපාන
බුදු පිය සටහන් අනුව ගමනේ යෙදෙන තැනැත්තාගේ මමත්ව සංකල්පය දුරුව යයි. මමත්ව සංකල්පය ඉවත දමයි. මෙම සංකල්පය සංකේතවත් කරමින් හැරමිටිය ඉවතලයි. මම මට වගේ කියන පුද්ගලයා තුළ පැවති මමත්ව සංකල්පය ඉවත දැමීම හැරමිටිය ඉවත දැමුවායයි සංකේතවත් කරයි. හැරමිටිය අවශ්‍ය වන්නේ තැතිතලා බිමට නොවේ. කෙනෙකුගේ සමබරතාවය ආරක්ෂා කර ගැනීමට කඳුකර බිමේදී ය. ඉදිරියෙන් ඇති දුර්ගයට හැරමිටිය අත්‍යවශ්‍ය වේ. එහෙත් දැන් හැරමිටිය යන මමත්වය අතහැර ඉතාමත් සැහැල්ලු මනෝමය ගමනේ යෙදේ. පැරැන්නන් හැරමිටියක් ගෙන ගොස් හැරමිටි පානේදී විසිකර දැමුවේ එය සංක්තවත් කිරීමට ය. වර්තමානයේ බොහෝ දුරට එම ක්‍රියාව සිදු නොවේ.
සියල්ල අත්හළ යුතු තැන නොහොත් ආඬියාමලතැන්න
ඇස කණ නාසය දිව සම යන පංචස්කන්දයෙන් කරන්නේ බාහිර ලෝකයෙන් ඒ ඒ දේ එකතු කර ගැනීම ය. උපන්දා සිට මේ මොහොත දක්වා අප කරන්නේ ලෝකයේ තිබෙන ඒ ඒ දේවල් නාම රූප වශයෙන් ගොනු කරගැනීමයි. අප ඒවා ගොනු කරන්නේ මහත් වූ බැඳීමෙනි, ආශාවෙනි. ඔබ ඔබේ ජීවිතයේදී එකතු කරගෙන තිබෙන වස්තුව, දැනුම, වැනි දෑ ලබා ගත්තේ බාහිර ලෝකයෙන් නොවේද? පසිඳුරන්ගෙන් රැස් කර ගත්තා නොවේද? ඔබ රැක ගත් මමත්ව සංකල්පය දුරු කළා යයි කියන්නේ එකතු කරපු ආඬියා මැරුණ බවය. මමත්ව සංකල්පය දුරු වී ලෝහෝත්තර තත්වයට පත් වූ වගයි. ආඬියාමලතැන්නේ දී ඔබ කරගත යුත්තේ එයයි.
මල් විසි කිරීම (සියල්ල අත්හැරීම)
ලෝකෝත්තර මනසේ සුන්දර බව නිදහස් බව ආශාවන්ගෙන් මිදී ඇත. භව බෝග සැප සම්පත් අවශ්‍ය නොමැති බව දැක්වීමට රන් මල් රිදී මල් යනුවෙන් හඳුන්වා සරුව පිත්තල මල් ගෙන සුළගේ ගසා යාමට දස අතට විසි කරති. ලෝකෝත්තර චින්තයට පැමිණි පුද්ගලයා ලෞකික සැප සම්පත් අතහැර දමන හැටි මෙයින් පෙන්වා ඇත. ආදී බුද්ධිමත් ජනතාව බුදු පිය සටහන් අනුව යන ගමනේදී මල් ගෙන ගියේ නැත. එබැවින් බව බෝග සම්පත් අත්හැරීම සංකේතවත් කිරීම සඳහාම රන් රිදී මල් රැගෙන ගොස් විසුරුවා හැරි බව පිළිගත යුතුය.
ඇහැළ කණුව
සිරිපා මළුවට තරමක් පහළින් ඇහැළ කණුව නමින් ස්ථානයක් වෙයි. නමුත් එය ඇහැළ ගසකින් කපාගත් කණුවක් නොවේ. එයට හේතුව මේ අධික ශීතල සහිත කඳු මුදුනේ ඇහැළ ගස් වැවෙන්නේ නැති බැවිනි. මේ කණුව ගලින් නිමවා නොසැලෙන සේ සිටුවා ඇත. මෙම සංකේතය හඳුනා ගැනීමට මහත් රුකුලක් වන්නේ දොළොස් මහේ පහනයි. බුදු පියසටහන් අනුව මනෝමය කුසලතාවන් දියුණු කර ගත් පුද්ගලයාගේ මනස බාහිර ලොවට විසිරී පැතිරී නොයයි. අරමුණුවලින් හෝ ගැටුම්වලින් කම්පනයට පත් නොවේ. ශීල සමාධි ප්‍රඥාමය ගුණයන් උසස් තත්වයට පත්ව සෝවාන් සකෘදාගාමී, අනාගාමී තත්වයට පත්වෙයි. ඇසල කණුවේ සිට තවත් යන්ට ඇත්තේ ටික දුරකි. මනෝමය වශයෙන් පියවර කිහිපයකි. මේ වටිනාකම දැක්වීමට ශීල සමාධි ප්‍රඥා වැඩු පුද්ගලයාගේ මනෝභාවය එලි දැක්වීමට ඉන්ද්‍රඛීලය සිටුවා තිබෙනවා. එයට අද ඇහැල කනුව කියා භාවිතා වෙනවා. ගල් කණුවට ඇහැල කණුව කියන්නේ ඇයි? නොසෙල්වෙන නිසයි. කෙතරම් චන්ඩ සුළග හැමුවත් චංචල වීමක් නැත. චිත්ත සමාධියට පත් වූ පුද්ගලයාගේ මනස බාහිර අරමුණුවලින් නොසෙල් වේ. මුල් යුගයේදී මෙය අචල කණුව ලෙස පවතින්නට ඇත, පසුව ක්‍රමයෙන් අසල කණුව, ඇසල කණුව වූවා විය හැකිය.
බුදු පිය සටහන
බුදුපිය සටහන් ඔස්සේ පැමිණි ඔබ දැන් බලාපොරොත්තුව මල් ඵල ගන්වන අවස්ථාවට පැමිණ තිබේ. මෙතන දී දිස්වනුයේ සිරිපතුල නොවේ. පිය සටහනකි. උන් වහන්සේ ආපසු යනවිට සිරිපතුළ මෙහි තබා ගියේ නැත. සිරිපා වන්දනාව මගින් ඔබ අවබෝධ කරගත යුතු ධර්මය වන්නේ එයයි. නමුත් වර්තමානයේ සිටින්නේ වන්දනාවේ ගොස් මෙය අවබෝධ කරගන්නා පිරිසක් නොවේ. ඔවුන් යන්නේ ට්‍රිප්” එකක් නොහොත් විනෝද සංචාරයක ය. මත්පැන්, මත්කුඩු, රැප් සංගීතය වැනි දෑ සහ උපකරණ වැනි දේවල් රැගෙන යන්නේ එබැවිනි. ඔවුන් අවබෝධ කරගත යුත්තේ මේ යන්නේ සසර ගමනක අවසානය අවබෝධ කරගත යුතු ගමනක් බව ය.. ඔබ මෙතෙක් දුක් කරදර විඳ පැමිණියේ මෙය දැකීමට ය. හිමිදිරි පාන්දරම ආශාවකින් තොර වූ අති පිරිසිදු මනසක් ඇති වන්දනාකරුට දස අතින් ගලායන සිහිල් සුළඟේ ශාන්ත වූ මනස නිසංසල පරිසරය දකින වන්දනාකරුගේ මනස කුමුදු මලක් මෙන් විකසිත වේ. මෙය තමාගේ ම මනසින් දැකගත් වන්දෑකරුවා මහත් වූ භක්තියකින් යුක්තව ශ්‍රී පාද පියසටහනට හදවතින් නමස්කාර කරයි.
සිරිපාද කන්දේ ස්වාභාවික පිහිටීම
සමනලකන්ද, සිරිපාද කන්ද යන සිංහල නාමයන්ගෙන් ද ඇඩම්ස්පීක්නම් ඉංග්‍රීසි නාමයෙන් ද, සිවනෝලිපාත මලෙයි යන ද්‍රවිඩ නාමයෙන් ද හැඳින්වෙන සිරිපාද කන්ද පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ-සබරගමු පලාතේ ය. ලංකාවේ පස්වෙනි ස්ථානයට උස මේ කන්ද අඩි 7359 ක් උස කෝණාකාර කඳු මුදුනකි.
බැතිමතුන්ගේ විශ්වාසයන්
බෞද්ධයින් මෙහි පිහිටා තිබෙන්නේ බුදුරජානන් වහන්සේගේ වම් පා සටහන යැයි විශ්වාස කරන අතර හින්දුන් එය ශිව දෙවියන්ගේ පා සටහන යයි විශ්වාස කරති. අරාබින් සහ ක්‍රිස්තියානි ආගමිකයින් එය ආදගේ පා සටහනයයි විශ්වාස කරති. එසේ නැතහොත් සාන්ත තෝමස් මුණිවරයාගේ පා සටහන විය හැකි යයි සිතති.
රත්නදීපය
සමනල කඳුවැටිය ඉතාමත් ම දුර්ලභ මෙන්ම වටිනා මැණික් ඉල්ලම්වලින් ගහණය. ඉතා ඈත අතීතයේ සිට අපේ රට රත්නදීප වශයෙන් හැඳින් වූයේ. මෙම මැණික්වල ඇති ආකර්ෂණය නිසා ය. ලොව පුරාම සමකවි ටිල්ලෙන් හමුවෙන මේ දුර්ලභ මැණික්වලට විශාල ඉල්ලුමක් තිබේ.
ජෛව විවිධත්වය සහ වන සංරක්‍ෂණය
මෙම කඳුමුදුන සහ කන්දට යන මාර්ග හැරුණු විට සමනල කඳුවැටියම වනසත්ව හා වනසංරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම්කර ඇත. ජෛව විවිධත්වය වැඩි වශයෙන් ම ඇති, ලංකාවේ ආවේණික සත්වයින්ගෙන් වැඩි ප්‍රමාණයක් සිටින එක ස්ථානයක් වශයෙන් ද සමනල කඳුවැටිය හැඳින්විය හැකි ය. ලංකාවේ වර්ෂාපතනය වැඩි වශයෙන් ම ලැබෙන ස්ථානයක් ලෙස ද සමනල කඳුවැටිය පෙන්වා දිය හැකි ය. කඳු මුදුනට නැගීමට ඇති මාර්ග සිරිපාද කඳු මුදුනට නැගීම සඳහා ඇති පාරවල් ගණන 6 කි. රත්නපුර-පලාබද්දල පාර, හැටන්-නල්ලතන්නි මාර්ගය, කුරුවිට එරත්න හරහා මාර්ගය, මුරේවත්ත හරහා යන මාර්ගය, මූකටුව හරහා යන මාර්ගය සහ මාලිබොඩ හරහා යන මාර්ගය වශයෙනි. නමුත් වැඩි වශයෙන් ම ජනප්‍රියව ඇත්තේ නල්ලතන්නි මාර්ගය සහ රත්නපුර පලාබද්දල මාර්ගයයි.
ඉහළට නැගීමට පහසු මාර්ග දෙක එම මාර්ග වීම එයට හේතුවයි. එරත්න මාර්ග භාවිතා කරන්නේ පරිසරය ප්‍රිය කරන, දුෂ්කරතාවයන්ට එඩිතරව මුහුණ දීමට සූදානම් පිරිස් ය. මුරේවත්ත, මූකටුව සහ මාලිම්බොඩ හරහා යන මාර්ගවල ගමන් කරන්නේ කලාතුරකිනි. නැතහොත් ඒ ප්‍රදේශවල ජීවත්වන පිරිස් පමණි. කෙටිම මාර්ගය හැටන් මාර්ගයයි. නමුත් නැග්ම වැඩිම මාර්ගයද මෙම මාර්ගයයි. කෙසේ වෙතත් ඉක්මනින් නැගීමට හැකි නිසා බොහෝ දෙනෙකු තෝරා ගන්නේ ද හැටන් මාර්ගයයි. සිරිපාද සමය ඇරඹෙන්නේ දෙසැම්බර් මස පසළොස්වක පෝයදා සිදුකරන සමන්-සිරිතට පසුවයි. වෙසක් පුර පසලොස්වක පෝයෙන් සිරිපා සමය අවසන් වෙයි. වසරේ අනෙකුත් කාලයන්හිදී අධික වැස්සත්, දැඩි සීතලත්, තද සුළඟත් සහ ඝණ මීදුමත් නිසා සිරිපා තරණය අපහසු වෙයි.
Comments
Post a Comment