gossiplanka image 1
 විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහයක් ලියාපදිංචි කිරීමට අදාළ මූලික අවශ්‍යතා වනුයේ විවාහයට එළැඹෙන දෙපාර්ශ්වයම විවාහ වීමේ වයස් පරතරය සපුරන ලද වලංගු විවාහයකට යටත් අය නොවීමයි. මෑතක් වන තුරුම විවාහ වීමේ අවම වයස ලෙස පිරිමින්ට අවුරුදු 16ද ගැහැනුන්ට අවුරුදු 12ක් ද ලෙස මෑත කාලයක් වන තුරුම නීති ගත කර තිබුණි. 1995 අංක 18 දරන පනතේ 2වැනි වගන්තිය ප්‍රකාරව විවාහ වීමේ අවම වයස අවුරුදු දහඅටක් දක්වා ඉහළ නංවනු ලැබීය.  මෙයාකාරයෙන් විවාහවීමේ වයස ඉහළ නැවීමෙන් ව්‍යවස්ථාදායකය බලාපොරොත්තු වූයේ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමය. එනමුත් දුරදිග නොබලා සිදු කළ ඒ සංශෝධනය හේතුවෙන් නොවැළැක්විය හැකි ගැටලු රාශියක්ම ඇති විය. මේ අනුව වයස අවුරුදු 18කට අඩු තරුණියක් දරුවකු බිහි කළහොත් එහි අනිවාර්ය ප්‍රතිඵලය වනුයේ එම දරුවා අවජාතකයකු බවට පත්වීමයි. කෙසේ වෙතත් එම දරුවාගේ දෙමාපියන් පසුකාලීනව හෝ විවාහ වුවහොත් දරුවාගේ අවජාතකභාවය එයින්ම අවසන්  වෙයි. එමෙන්ම බොහෝ ගැහැනු දරුවන් ජීව විද්‍යානුකූලව වැඩිවියට පැමිණෙනුයේ වයස අවුරුදු 11ත් 16ත් අතර කාලසීමාවේදීය. මෙලෙස ජීව විද්‍යාත්මක ලෙස වැඩිවියට පැමිණි පසු නීත්‍යානුකූල නොවන සබඳතාවන් හේතුවෙන් කාන්තාවක් ගැබ් ගැනීමේ ප්‍රවණතාව බොහෝ සෙයින් වැඩිවෙයි. විවාහ වීමේ  වයස අවුරුදු 18ක් බවට පත් කිරීම තුළින් කාන්තා අයිතිවාසිකම්  තහවුරු කිරීම වෙනුවට කාන්තාවන් තව තවත් විපතේ හෙළීම  සිදුවී ඇති බව පෙන්වා දී ඇත.


මේ නිසා විවාහ වීමේ අවම වයස අවුරුදු ගණනකින් පහළ දැමීමේ අවශ්‍යතාව දැන් දැන් යළි කතාබහට ලක්වෙයි.  සාමාන්‍ය නීතිය යටතේ විවාහ වන දෙදෙනකු තහනම් ඥාති සබඳතාවලට අයත් නම් ඔවුන් දෙදෙනා අතර විවාහය ලියාපදිංචි කිරීම නීත්‍යානුකූල නොවේ. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ 16 වැනි වගන්තියෙහි තහනම් ඥාති සබඳතා පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර ඇත. ඒ අනුව පහත දැක්වෙන ඥාති සබඳතා ඇති අය අතර විවාහය සම්පූර්ණයෙන්ම නීති විරෝධී වෙයි.


• තමන්ගෙන් පැවැත එන්නන් සමග විවාහය (16(ඒ)

පිරිමියකු නම්


• තම පූර්ණ හෝ අර්ධ සහෝදරියන් සමග විවාහය තම පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරියන්ගෙන් පැවැත එන්නකු සමඟ විවාහය

• බිරිඳට වෙන විවාහයකින් ලැබුණු දරුවකු සමඟ විවාහය

• පුතාගේ වැන්දඹු බිරිඳ සමඟ විවාහය

• මුනුබුරාගේ වැන්දඹු බිරිඳ සමග විවාහය

• පියාගේ වැන්දඹු බිරිඳ සමඟ විවාහය

• මුත්තාගේ වැන්දඹු බිරිඳ සමඟ විවාහය (16(බී) වගන්තිය)


තවද තමන් කාන්තාවක වී නම්

• පූර්ණ හෝ අර්ධ සහෝදරයන් සමග විවාහය

• පූර්ණ සහෝදරයකුගේ පුතකු සමඟ විවාහය

 • පූර්ණ සහෝදරයකුගෙන් පැවැත එන්නකු සමග විවාහය

• තම ස්වාමිපුරුෂයා වෙන විවාහයකින් ලද පුතකු සමග විවාහය (16(සී) වගන්තිය)


මෙහි සඳහන් කරන ලද තහනම් ඥාති සබඳතා ඇති අය අතර විවාහය ලියාපදිංචි කිරීම නීත්‍යානුකූල නොවන අතරම එම තහනම් ඥාති සබඳතා ඇති අය අතර සිදුවන කායික සංවාසය තුළින් ව්‍යාභිචාරය (Incest) නම් අපරාධමය වරද සංස්ථාපනය කෙරෙයි. පනතේ 17 වැනි වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා  ඇති අය අතර විවාහ ලියාපදිංචිය හෝ ඔවුන් අතර සිදුවන සංවාසය වසරක් දක්වා කාලයකට බරපතළ වැඩ ඇතිව හෝ නැතිව සිරගත කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදකි.ලංකාවේ වලංගු නීතිය අනුව අනාචාරයේ හැසිරෙන දෙදෙනකුට වුවද ඔවුනොවුන් හා විවාහ වීමේ නීතිමය තහනමක් නැති බව ප්‍රවි කවුන්සිලය විසින් තීරණය කර ඇත (රුබොට් එදිරිව ද සිල්වා නඩුව - මෙහි මුල් නඩුව 1923 දීය).</p>