
ලෝක කම්කරු දිනය, මැයි දින උත්සවය සෑම වසරක ම මැයි පළමුවෙනිදා පැවැත්වේ. ලොව පුරා සම්මතව ඇති මෙම දිනය කම්කරු අයිතිවාසිකම් සුරැකීම සඳහා යොදා ගනු ලැබූ දිනයකි. ඇමරිකාවේ චිකාගෝ නුවර සිදු වූ මේ කම්කරුවන්ගේ අවදි වීම අද ලොව පුරා කම්කරුවන් අවදි කර වීමට සමත්ව ඇත.
චිකාගෝ අරගලය
ලොව පුරා කම්කරුවන්ගේ වැඩ දිනය පැය ගණන පැය 10 සිට පැය 16 දක්වා විය. අමානුෂික ලෙස කම්කරුවන්ට සැලකීමත්, වැඩිම කාලයක් සේවයෙහි යොදවා තැබීමත්, අඩු පඩියක් දීමටත් එරෙහිව සංවිධානය වන්නට පටන් ගත්තේ පාලකයන්ගේ ගැහැට ඉවසනු නොහැකිවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. කෙටිකලක් තුළ චිකාගෝ 'නයිට්ස් ඔෆ් ලෙබර්' නැමැති ඇමැරිකානු කම්කරු සංවිධානයේ කම්කරු සාමාජිකත්වය ලක්ෂ හතරක් ඉක්ම විය. එහි සාමාජිකත්වයේ ඉල්ලීම පරිදි 1878 දී පැය අටක වැඩ දිනයක්, සංවිධානය විසින් ව්‍යවස්ථාවේ සම්මත කෙරුණි. එහෙත් පාලකයන් පැය අටක වැඩ දිනය පිළිබඳ කිසිදු උනන්දුවක් දැක් වූයේ නැත. 'නය්ට්ස් ඔෆ් ලේබර්' සංවිධානයේ නිලධාරීන් උත්සාහ කලේ කෙසේ හෝ සාකච්ඡා මගින් පැය 8ක වැඩ දිනයක් ලබා ගැනීමට වන අතර ප්‍රශ්නය වසර ගණනක් එක තැන නතර වී තිබිණි. ඔවුන්ගේ සටන්කාමී නොවන ක්‍රියා මාර්ග කෙරේ විශ්වාසය නොතැබූ ඇමරිකානු කම්කරු ව්‍යාපාරය පැය 8 වැඩ දිනය ලබා දෙන ලෙස ඉල්ලමින් 1886 මැයි මස පළමුවන දින පුළුල් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලේ ය. මැයි පළමුවන දා අරගලය ඇරඹෙන්නට පෙර බියට පත් වූ ඇතැම් කම්හල් හිමියෝ පැය 8 දිනය දෙන්නට එකඟ වූහ. ඒ අනුව කම්කරුවන් 30,000කට පමණ පැය අටේ වැඩ දිනය අප්‍රේල් මාසය වන විට ලැබී තිබිණි.මැයි පළමු වන දා කම්කරු අරගලය සඳහා අති විශාල කම්කරු පිරිසක් රැස්ව තිබිණ. සහයෝගයෙන් සහ උද්දාමයෙන් කම්කරුවෝ අරගලය දියත් කළහ. පෙළපාලි සඳහා 300,000කට වැඩි පිරිසක් සහභාගී වූ ඇමරිකාවේ කර්මාන්තශාල 13,000 ක සේවකයින් එයට එක්ව තිබුණි. මැයි තුන් වනදා වන විට අරගලය තවත් උග්‍ර විය. සංවිධානය කරමින් සිටියදි එහි කඩා වැදුණු පොලිසිය කම්කරුවන්ට පහර දුන්හ. වෙඩි ප්‍රහාර එල්ල විනි. කම්කරුවන් සිය ගණනක් තුවාල ලද අතර හය දෙනෙකු මිය ගියේ ය. පොලිස් මිනී මැරුම්වලට විරෝධය දැක්වීම සඳහා මැයි 4 වන දින හේලි මාකට් චතුරස්‍රයේ රැස්වීමක් පැවැත්විණි. පොලිස් පහරදීම් දැඩි විය. පොලිස් කපිතාන්, ජෝන් වොන් ෆීල්ඩ්’ ගේ මෙහෙය වීමෙන් පොලිස් කණ්ඩායමක් රැස්වීම් භූමියට කඩා වැදුණු අතර පොලිස් පිරිස මැදට වැටුණු බෝම්බයක් පුපුරා ගියේ ය. එක් භටයකු මිය ගිය අතර කම්කරුවෝ දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ. කම්කරුවෝ හිස ලූලූ අත දිව ගියහ. පොලිසිය කම්කරු නායකයන් බුරුතු පිටින් සිර ගත කළ අතර පොලිසියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ වරදට කම්කරු නායකයන් අට දෙනෙකුට විරුද්ධව නඩු පැවරිණි. මේ වන විට ඉතා ප්‍රසිද්ධ රහසක් වූයේ මෙම බෝම්බ ප්‍රහාරය පොලිසියට එල්ල කරන ලද්දේ පොලිස් ඔත්තුකරුවකු විසින් ම වන බව ය. එහෙත් කම්කරු නායකයන්ට එය කෙසේ වත් ඔප්පු කර පෙන්වන්නට නොහැකි විය. තෝරා ගත් විනිසුරුවෙකු හා තෝරාගත් ජූරියක් යොදවා සාක්ෂි නොවිමසාම කම්කරු නායකයන් පස් දෙනෙකු එල්ලා මරා දැමීමේ දඬුවම ද දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ද එක් අයෙකුට වසර 15ක සිර දඬුවම් ද නියම විණි. 1886 ජූනි 21 ආරම්භ වූ නඩු විභාගය අගෝස්තු 19 වන දා නිමවිණි. ඕගස්ට් ස්පයිස්, ඇල්බට් පාර්සනස්, ඇඩොල්ෆ් පිෂර්, ජෝර්ජ් ඒන්ජල්, ලුයිස් ලීෆ්ග්, එල්ලා මැරීමේ දඬුවම ලද අතර සැමුවෙල්, ෆීල්ඩන්, මයිකල් ස්ච්ටැබ් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි වූවන විය. එල්ලා මරා දැමීමට පෙර ලිෆ්ග් මුව තුළ බෝම්බයක් පුපුරුවා ගෙන සිය දිවි නසා ගත් අතර ඉතිරි කම්කරු නායකයන් 1887 නොවැම්බර් 11 වන දා එල්ලා මරා දමන ලදී. පැය 8ක දිනය වෙනුවෙන් සටන් කොට ලෙයින් කඳුළින් මෙන්ම ජීවිතයෙන් ද වන්දි ගෙවූ ඔවුනගේ අප්‍රතිහත උත්සාහය නිසාම වර්තමාන වැඩ දිනය පැය 8ක් බවට පත්ව ඇත. එදා චිකාගෝවේ සිදු වූ කම්කරු අවදිවීම සමරන්නට 1890 දී යුරෝපයේ සහ ඇමරිකාවේ කම්කරුවන් විසින් මැයි රැළි සංවිධානය කරන ලදී. 1920 වන විට චීනය දක්වා ද 1927 වන විට ඉන්දියාවට ද එය ව්‍යාප්ත විය. 1886 මැයි පළමු වන දා ඇමරිකාවේ චිකාගෝ නුවර ඇති වූ එම කම්කරු අවදිවීම සමරා අද ලෝකය පුරා කම්කරුවෝ සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටිති.
කම්කරුවන්ගේ ශක්තිය පෙන්වීමත් ඔවුනගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමත් සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කොට 1886 මැයි පළමු වන දින දිවි පිදු සොයුරන් ස්මරණය කිරීමෙන් ඔවුනට ගෞරව දක්වා හෙට දවසේ දී කම්කරුවන්ගේ ආරක්ෂව වෙනුවෙන් කටයුතු කිරීමත් වැනි උදාර අරමුණු රැසක් මැයි දින කම්කරු උත්සවය හා බැඳී පවති. ලංකාවේ මැයි දිනය උත්සව දිනයක් වූයේ ඒ. ඊ. ගුණසිංහ, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, එම්. ජී. මෙන්ඩිස් වැනි කම්කරු නායකයන්ගේ මැදිහත්වීමෙනි. එසේම ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක එන්. එම්. පෙරේරා සහ පීටර් කේනමන් වැනි නායකයෝ ද වරාය කම්කරුවෝ ද ලංකාවේ මැයි දින උත්සවය සඳහා දැඩි කැපවීමකින් ක්‍රියා කළහ.ලෝකයේ රටවල් අතර බොහෝ රටවල් මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන අතර එදින ජාතික නිවාඩු දිනයකි.
මේ තත්වය වැඩි වශයෙන් ම දැකිය හැක්කේ යුරෝපයේ සහ ආසියාකරයේ ය. මැද පෙරදිග රටවල මෙය සැමරීමට එතරම් වැදගත් ස්ථානයක් නොවෙයි. එයට හේතුව එම රටවල සිටින ශ්‍රමිකයින් වැඩි දෙනෙකු පිටරැටියන් වන අතර ඔවුන් එම සේවකයින්ගෙන් උපරිම සේවයක් ලබා ගැනීමත්, උපරිම වැටුපක් ගෙවීමත් හේතුවෙනි. උතුරු ඇමරිකානු රටවල් ද එතරම් ගැඹුරින් මෙම දිනය සමරනු වර්තමානය කිය නොහැකි ය. අප්‍රිකානු මහාද්වීපයේ රටවල් හතරක් හැර අනික් සියලුම රටවල් පාහේ මැයි දිනය සමරයි. ලෝකයේ සමාජවාදී කඳවුරට අයත් ව තිබූ සහ තවමත් අයත් රටවල් මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය මහ ඉහළින් සමරති. චීනයේ මැයි දිනය සඳහා දින තුනක් වෙන්කර තිබූ නමුත් පසුගිය කාලයේ එය වෙනස් කර එක දිනයක් බවට පත් කරන ලදී. එයින් ම ඔවුන් කෙතරම් ගැඹුරින් මැයි දිනය සැමරුවේ දැයි අපට අවබෝධ කරගත හැකි ය.
Comments
Post a Comment