
බුදුරජානන් වහන්සේගේ ආදාහනයෙන් පසු දළදා වහන්සේලා හතර නමක් ලබා ගැනීමට සමත්ව ඇත. එක් දකුණු දළදා වහන්සේ නමක් දෙවියන්ගේ පුද පූජා පැවැත්වීම සඳහා සක්‍රදේවේන්ද්‍රයා විසින් ලබාගෙන ඇත. අනික් දකුණු දළදා වහන්සේ ගාන්ධාරයේ රජතුමා විසින් ලබාගනු ලබන අතර තුන්වන වම් දළදා වහන්සේ නාගයින් විසින් රැගෙන ගොස් රනින් නිමකළ කුටියක තබා පුද පූජා පවත්වනු ලබයි. හතරවෙනි වම් දළදා වහන්සේ භික්ෂූන් විසින් ලබාගෙන එය එකළ කාලිංගයේ මහරජු වෙත බාරදී ඇත. ශතවර්ෂ අටකට ආසන්න කාලයක් ඉන්දීය රජවරු අත තිබූ එම දළදා වහන්සේ අවසානයේ අපට ලැබෙන්නේ මහසෙන් රජුගේ පුත් වූ කිත්සිරි මේඝවණ්ණ රජ සමයේ ය.
සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන දළදා වහන්සේ ලක්දිව වැඩම කරවනු ලැබුයේ ක්‍රිස්තු වර්ෂ 304-332 අතර ලක්දිව රජ කළ කිත්සිරිමෙවන් රජ දවස ය. දළදා වහන්සේ ඉන්දියාවේ පැවති සමයේ දී එය විනාශ කිරීමට වෙනත් ආගමික රජවරුන් බොහෝ දෙනෙක් වරින් වර උත්සාහ දැරුව ද ඒ එක උත්සාහයක් හෝ සාර්ථක වූයේ නැත. පරම්පරාවෙන් හිමිවෙමින් පැවති දළදා වහන්සේ කාලිංග දේශයේ ගුහසීව රජුගේ මහත් ගෞරවයට පුද පූජාවනට ද ප්‍රාත වී තිබුණි. දළදා වහන්සේ අයිති කරගැනීමට මාන බැලූ අස්වැලි රජෙක් කාලිංග දේශයේ ගුහසීව රජුට පහරදීමට නගරය වට කළේ ය. මෙම ආක්‍රමණයෙන් තමන් පරාජය වුවහොත් දළදා වහන්සේට යම් විපතක් වේයැයි සැක කළ ගුහසීව රජු තම දුවණිය වූ හේමාමාලා කුමරිය සහ බෑණනුවන් වූ දන්ත කුමරු පරිබ්‍රාජකයන් ලෙස වෙස් ගන්වා දළදා වහන්සේ සහිත කරඬුව හේමමාලාවන්ගේ කෙස් කළඹ තුළ සඟවා ලක්දිවට පිටත් කර එවීය. ඉන්දියාවේ ත්‍රාමලිප්ති නැව් තොටින් නැව් නැගී ඔවුන් දෙදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද ඉලංකෙයිතුරෙයි ලෙස හඳුන්වනු ලබන එදා 'ලංකා පටුන' ලෙස හැඳින් වූ ප්‍රදේශයට ගොඩ බට බව ඓතිහාසික තොරතුරුවලින් පැහැදිළි වේ. ඉනික්බිති හේමමාලාවන් සහ දන්ත කුමරු රට හරහා පා ගමනින් අනුරාධපුරයට පැමිණ මේඝගිරි විහාරයේ තබා එවකට රජ කළ කිත්සිරි මෙවන් රජුට දන්වා යැවූහ. රජු වහා මේඝගිරි විහාරයට පැමිණ මහත් ගෞරවයෙන් දළදා වහන්සේ පිළිගෙන එතැනින් මහමෙවුනා උයනයෙහි පිහිටි ධම්මචක්ක විහාරයට මහ පෙරහරින් වැඩම කොට එහි තැන්පත් කළහ. දළදා වහන්සේ තැන්පත් කිරීමට විශේෂ මන්දිරයක් ද ඔහු විසින් ගොඩ නංවන ලද බව සඳහන්වේ . එතැන් පටන් ලක්දිව රජ බවට පත් වූ සියලු ම රජවරුන්ගේ අති මහත් ආදර ගෞරවයට පාත්‍ර වූ, දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංක්තය බවට පත් විය. විටින් විට ඇති වූ සතුරු ආක්‍රමණවල දී දළදා වහන්සේ සගවා සුරැකිව තබා ගන්නට ද තැන්පත් කොට තිබූ ස්ථාන වෙනස් කිරීම ද විටින් විට සිදු වූ අතර සෑම රජ කෙනෙකු විසින් ම තම ජීවිතය දෙවැනි කොට දළදා වහන්සේ රැක ගැනීමට ක්‍රියා කළ බව දළදා ඉතිහාසයේ මනාව පැහැදිලි කෙරේ. ලංකාවේ අන්තිම සිංහල රජු ලෙස සැලකෙන දෙවන විමලධර්මසූරිය රජුගේ පුත් වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජු විසින් එක් මහලක් පමණක් තිබූ දළදා මාලිගාව දෙමහලකින් යුතු විශාල ප්‍රාසාදයක් බවට පත් කරනු ලැබුවේ ය. ක්‍රිස්තු වර්ෂ 1747 දී රජ බවට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජු (නායක්කාර වංශික) බුදු සමය වෙනුවෙන් ඉමහත් කැපවීමක් කළ නරපතියෙකි. වර්ෂ 1753 දී ලක්දිව නැති වී තිබූ උපසම්පදා ක්‍රමය යළි ස්ථාපනය කිරීමට සියම් දේශයෙන් අති පූජ්‍ය උපාලි මහා ස්වාමීන් වහන්සේන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂූන් වහන්සේ ගෙන්වා උපසම්පදා කර්මය ආරම්භ කරනු ලැබූයේ ද කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රහයෙනි. එමෙන් ම වර්තමානයේ මහ ඉහළින් පවත්වනු ලබන දළදා පෙරහර ආරම්භ කරනු ලැබුවේ ද මෙතුමාගේ කාලයේ දී ය. එකල සිදු වූ ලන්දේසී ආක්‍රමණයක් හේතුවෙන් දළදා මාලිගාව විනාශ වූ අතර රජු හගුරන්කෙතට පැනගියේ දළදා වහන්සේ රහසින් කෙවුල්ගම නම් ප්‍රදේශයට ගෙන ගොස් සගවා තැබීමෙන් පසුව ය.
අනතුර පහ වූ පසු දළදා මැඳුර ප්‍රතිසංස්කරණය කරවූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු, දළදා වහන්සේ යළිත් එහි වැඩම වා පුද පූජා නිසි පරිදි පවත්වන ලෙස පහසුකම්, සැලැස් වූ බව ඓතිහාසික තොරතුරු අනුව පැහැදිළි වේ. එලෙස යළි දළදා වහන්සේ තැන්පත් කොට ඇත්තේ 1770 වසරේ වෙසක් පුන් පොහෝ දිනයේ දී බව ද තොරතුරු අනුව පැහැදිළි වන තවත් එක් සුවිශේෂි කරුණකි.
දළදා පෙරහැර සහ ඇසළ උත්සවය
ඇසළ සමය නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන දේවාලවල පූජෝපහාර පිණිස උත්සව පැවැත්වෙන සමයකි. විශේෂයෙන් මේ සතර මහා දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන දේවාල මංගල්‍යයන් සහ පෙරහැර දැක්වීම ඇසළ කාලයක් තිස්සේ පැවතුන චාරිත්‍රයකි. කතරගම ඇසළ උත්සවය, මේ අතුරින් ප්‍රධානම උත්සවයකි. ඇසළ උත්සවයේ ආරම්භය ගජබා රජු සමයේ බව කියවෙතත් ඊට පෙරාතුව සිට ඇසල මාසයේ 'නැකැත් කෙළි' නමින් උත්සව විශේෂයක් පැවැත්වුණු බව ඓතිහාසික තොරතුරුවලින් පැහැදිළි වේ. සශ්‍රීකත්වය අරභයා පැවැත්වුණු මෙම නැකැත් කෙළි සහ ඇසළ උත්සව විවිධ දේව ඇදහීම් සහ නැකැත් ක්‍රම ආශ්‍රිතව ගොඩනැගී තිබුණි. කෙසේ වුවද ඇසළ සමය වියළි කාලගුණයක් පවතින සමයකි. වැසි හිඟ වීම නිසා ඇළ දොළ සිඳීයාම ද ගහ කොළ වියලී ගොස් කර්කෂ ස්වභාවයක් ඇති වීම ද මෙම කාලයේ දැකිය හැකි පාරිසරික තත්ත්වයකි. මේ පරිසර තත්වයන් මත ලෙඩ රෝග ආදිය පැතිරයාම ද හේන් ගොවිතැන් ආදිය පාළු වීම ද, කෘෂි කර්මාන්තයේ දී මිනිසාට හැම අතින් ම උදව් පදව් කරන ගවයින්ට විවිධ ලෙඩ රෝග බෝ වීම ද පරිසරය දුෂ්‍ය වීමෙන් කම්මුල්ගාය, සරම්ප, පැපොල වැනි රෝග පැති යාම ද ඇසළ සමයේ දී දක්නට ඇති තත්වයකි. එබැවින් දෙවි දේවතාවුන් සතුටු කොට රෝගාදියෙන් සහනයක් ලැබීමට ද භව භෝග හානිය වළක්වා ගැනීමට ද වැස්ස ලබා ගැනීමට ද යන හේතු කාරණා මත මේ නැකැත් කෙළි සහ දේව ඇදහිලි ආදිය පැවැත්වීමට ඇසළ සමය යොදා ගෙන ඇති බව පැහැදිළිව අවබෝධ කරගත හැකි ය. ඇසළ උත්සවය ඇසළ පෙරහර බවට පරිවර්තනය වූයේ ගජබා රජු සමයෙහිදී ය.
පත්තිනි ඇදහීම ලංකාවට
ගජබා රජුගේ පියා වූ වංකනාසික තිස්ස රජු සමයේ සොලී දේශයේ රජ බවට පත්ව සිටි කරිකාලන් රජු අවට දේශවල වැසියන් වහලුන් ලෙස අල්ලා සොලී දේශයට ගෙන යාම සිරිතක් ව තිබිණි. කාවේරි ගග හරස් කොට වේල්ලක් බැඳීම සඳහා විශාල මිනිස් ශ්‍රමයක් කරිකාලන් රජුට අවශ්‍යව තිබුණු බැවින් ඔහු මේ ආකාරයට අසල්වැසි රටවලින් මිනිසුන් පැහැරන්ගෙන ආවේ ය. ලංකාවට බල සෙනගක් එවූ ඔහු ලංකාවෙන් දොළොස් දහසක් සිංහලයින් වහලුන් ලෙස සොලී දේශයට රැගෙන ගිය ද වංකනාසික තිස්ස රජු යුද්ධ දක්ෂයකු නොවූයෙන් එයට කිසිදු පිළියමක් නොයෙදී ය. නමුත් ගජබා කුමරු රාජ්‍යත්වයට පත්වීමත් සමග ම මේ පිළිබඳව කරුණු සොයා බලා නීල නැමැති තම යෝධයා ද කැටුව සොලී දේශය බලා ගියේ ය. ඒ වන විට කේරළයේ රජ බවට පත්ව සිටි සෙන් ගුත්තවාන් රජු සොලී දේශය ආක්‍රමණය කොට සිටි අතර ගජබා රජු මිශ්‍රශීලි අයුරින් පිළිගෙන ලංකාවෙන් ගෙන ගිය සිංහලයන් දොළොස් දහස ද ඒ වෙනුවට සොලීන් දොළොස් දහසක් ද ගජබා රජුට ලබා දුන්නේ ය. ගජබා රජු සෙන්ගුත්තවාන් රජුන් අතර ඇති වූ මිත්‍රත්වය නිසා සෙත් ගුත්තවාන් රජුන්ගේ භක්තියට ප්‍රාත වූ පත්තිනි ඇදහීම ගජබා රජු ලංකාවට ගෙන ආවේ ය.නැවත ලංකාවට පැමිණි ගජබා රජු පත්තිනි දේවිය දෙවිඳුන් වෙනුවෙන් දෙවොලක් ඉදි කොට එහි සෙන්ගුත්තවාන් රජ තෑගි කළ පත්තිනි දේවියගේ සළඹ තැන්පත් කරවා පත්තිනි දේවිය වෙනුවෙන් පෙරහැරක් ද ආරම්භ කලේ කේරළ දේශයේ දී දුටු පුද පූජා ක්‍රම අනුගමනය කරමිනි. ඒ අනුව එතෙක් පැවති ඇසළ පුද කෙළි - නැකැත් කෙළි ආදියට ඇසළ පෙරහැර කිරීම ද එක් වූයේ ගජබා රජු එම පෙරහැර කිරීම ඇසළ මාසයේ දී යොදා ගත් බැවිනි. සොලී දේශයට ගොස් ගජබා රජු ජය ගැනීම සිදු වූයේ ඇසළ මාසයේ දී බැවින් එය නිමිති කොට ඇසළ මස පෙරහැර පැවැත්වීමට රජතුමා තීරණය කළ බව සිතිය හැකි ය. එහෙත් ඒ කරුණු පමණක් නොව ඒ දක්වා සාම්ප්‍රදායික නැකැත් කෙළි, පුද කෙළි පැවැත්වීම ඇසළ මාසයට යෙදී තිබුණු බැවින් එය ද ඇසළ පෙරහැර පැවැත්වීමට ගජබා රජුට අනුබලයක් වන්නට ඇත. ඉන්පසු පත්තිනි දෙවියන් වෙනුවෙන් ඇරඹි ඇසල පෙරහැර සෙංකඩගල පුර නුවර දෙවියන් සිව් දෙනෙකු වෙනුවෙන් පවත්වන සතර මහා දේවාල පෙරහැරක් බවට පත්විය. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දෙවිවරුන් වෙනුවෙන් වාර්ෂික පැවැත්වුණු ඇසළ පෙරහැරට දළදා පෙරහැර එක්වුණු පසු ප්‍රධානත්වය දළදා පෙරහැරට හිමිවිය. දෙවියන් වෙනුවෙන් පැවැත්වුණු ඇසළ පෙරහැර දළදා පෙරහැරක් බවට පත් වූයේ 1775 වසරේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගේ අදහසක් අනුව ය. එවකට සග රජව වැඩ සිටි වැලමිටි අසරණ සරණ ශ්‍රී සරණංකර මාහිමියන්ගේ ඉල්ලීමකට අනුව එය සිදු වූ බව ට මතයක් ද පවතියි. මේ අවසන් සිංහල රජු වන නරේන්ද්‍ර සිංහ රජුගෙන් පසු රජ බවට පත් දමිළ සම්භවයක් ඇති (නායක්කර් වංශික) නරපතියන් වන කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධිරාජසිංහ සහ සිංහලයේ අවසාන රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ යන නරපතියන් ද දළදා වහන්සේ අතිමහත් ගෞරවයෙන් යුතුව පණ මෙන් රැක ගනු ලැබූයේ දළදා වහන්සේ යනු රාජ්‍යත්වයේ සංකේතය ලෙස සිංහල බෞද්ධ ජනතාව සැලකූ බැවිනි. රදලයින්ගේ ද උපකාරයෙන් 1815 උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසිහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත් අඩංගුවට ගත්හ. මහනුවර මගුල් මඩුවේ දී උඩරට රදළයින් සමග එක්ව ගිවිසුමක් අත්සන් කොට ශ්‍රී ලංකාව මුළුමනින් ම යටත් කරගනු ලැබුවේ ය. බෞද්ධ ආගමිකයන්ගේ ආගමික නිදහස පිළිබඳ ලිඛිත වගන්ති එම ගිවිසුමට ඇතුළත් වුව ද ඒවාට නිසිලෙස ඉඩ ලබා දුන්නේ නැත. මේ යුගයේ දී සෙංකඩගල දළදා මාලිගාවේ වැඩ විසූ දන්ත ධාතූන් වහන්සේ රහසින් අත්පත් කරගත් ජාති හිතෛෂී ජන නායකයන් සහ බෞද්ධ සග රජවරු විවිධ ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කළහ. 1818 කැරැල්ල මෙහෙය වූ සිංහලේ අසහාය රණවිරුවකු වන කැප්පෙටිපොළ දිසාවගේ ආරක්ෂව යටතේ ද කලක් දළදා වහන්සේ තැන්පත්ව තිබුණු බැව් ඓතිහාසික තොරතුරුවලින් හෙළි වේ. කෙසේ හෝ අවසානයේ ඉංග්‍රීසීන් අතට පත් වූ දළදා වහන්සේ යළි සෙංකඩගල දළදා මාළිගාවේ ඉංග්‍රීසි හමුදාවේ ආරක්ෂව යටතේ තබනු ලැබුවේ ය. අවසානයේ දී ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ බෞද්ධ භික්ෂූන් වහන්සේග්නාගේ භාරයට පැමිණ වූ අතර ඉන් පසු සෙංකඩගල දළදා මාලිගාව දළදා වහන්සේ තැන්පත් කොට පුද පූජා පෙර පරිදිම අරඹන ලදී. එය සිදු වූයේ 1947-10-02 වන දින බව ඓතිහාසික තොරතුරුවලින් පැහැදිළි වේ.
දළදා උත්සවයේ විශේෂත්වය
ලංකාවේ පවත්වනු ලැබන පෙරහැර උත්සව අතුරෙන් ප්‍රධානතම උත්සවය වන්නේ දළදා උත්සවයයි. දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව උත්සව හතරක් පැවැත්වේ. අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, කාර්තික උත්සවය සහ ඇසළ මංගල්‍යය මේ සතරයි. මෙයින් ඇසළ මංගල්‍යය චාරිත්‍ර වාරිත්‍ර අතින් ද සංස්කෘතිමය වශයෙන් ද ඓතිහාසික වශයෙන් ද සුවිශේෂත්වයක් දරයි. දළදා පෙරහැර පවත්වනු ලබන්නේ ඇසළ උත්සවයේ අංගයක් ලෙසිනි. මේ සියලුම උත්සව දකුණු ඉන්දියාවේ පවත්වනු ලබන සිරිත් සහ පුද පූජාවලට ඉතා සමාන කමක් ගනු ලබයි. එයට හේතුව ලංකාවේ අවසන් කාලයේ සිටි රජවරු දකුණු ඉන්දීය සම්භවයක් සහිත නායක්කර් වංශික රජවරුන් වීම යි. ඔවුන් දකුණු ඉන්දියාවේ පවත්වන සිරිත් විරිත් අප රටට ආදේශ කළේ ය. සිංහල - හින්දු අවුරුද්ද එවැනි ම එක් උත්සවයකි. ඇසළ උත්සවයේ දී පවත්වනු ලබන දළදා පෙරහැර සඳහා පෙරහැර පහක් ප්‍රදර්ශනය වේ. එනම් දළදා වහන්සේ පෙරටු කොට ගත් දළදා පෙරහැර, නාථ දේවාල පෙරහැර, විෂ්ණු දේවාල පෙරහැර, කතරගම දේවාල පෙරහැර සහ සත් පත්තිනි දේවාල පෙරහැරයි. හෙළබිමේ ඈත අතීතයේ සිට පැවති විවිධ සංස්කෘතික අංග රාශියක් මෙයට අයත් වන බැවින් දළදා පෙරහැර යනු සංස්කෘතිකමය මංගල්‍යයකි. එමෙන්ම සිංහල කලා ශිල්පීන්ගේ සුවිශේෂ දක්ෂතා ගෙන හැර දක්වන්නා වූ මහගු කලා මංගල්‍යයක් ලෙස ද දළදා පෙරහැර දැක්විය හැකි වේ. ඈත අතීතයේ සිට පැවති චාරිත්‍ර වාරිත්‍ර රැසක් මෙම ඇසළ පෙරහැර තුළ දක්නට ඇත. ආගමික වශයෙන් පමණක් නොව සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය පෙන්වන සැණකෙළියක් ලෙස ද දළදා පෙරහැර සැළකිය හැකි ය. සෙංකඩගල පුරවරයේ ආරම්භය දළදා වහන්සේ වර්තමානයේ වැඩ සිටින මහනුවර හෙවත් ඓතිහාසික සෙංකඩගල පුරය කොළඹ සිට කිලෝමීටර් 117ක් දුරින් සහ මුහුදු මට්ටමින් මීටර් 488.5ක් (අඩි 1629) ඉහළින් පිහිටි සුන්දර පුරවරයකි.එක් පසෙකින් හන්තාන කඳුවැටියෙන් ද අනෙක් පසින් හුන්නස්ගිරි කඳුවැටියෙන් ද වට වූ සැබැවින් ම මනස්කාන්ත නගරයකි. මහනුවර පුවරයේ ඇති මනස්කාන්ත දර්ශනීය ස්ථානයන් අතර බෝගම්බර වැව, මහවැලි ගඟ, හන්තාන කන්ද, පේරාදෙණිය උද්භිද උද්‍යානය, මල්වතු විහාරය, අස්ගිරි විහාරය, පේරාදෙණිය සරසවි භූමිය, ගඩලාදෙණි විහාරය, දෙගල්දෝරුව රජමහා විහාරය, ඇම්බැක්කේ දේවාලය සහ උඩවත්ත කැලේ මින් කිහිපයකි. ශ්‍රී ලංකා අවසන් රාජධානිය වන මහනුවර යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුම නගරයක් ලෙස ද නම් කොට ඇත. (මහනුවර නගරයේ කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය මිනිස් ආශ්වාසයට නුසුදුසු මට්ටමකට පැමිණ ඇති බැවින් ලෝක උරුම තත්වය අහිමි කිරිමේ අවධානමක් ද වර්තමානයේ පවතී) මහනුවර ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ ක්‍රිස්තු වර්ෂ 1357 1374 අතර කාලයේ දී ගම්පොළ රාජධානිය කොටගත් තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිදරව් වේ.
වර්තමාන වටපුළුව ආසන්නයේ එතුමා කටුබුලු නුවර නමින් කුඩා නගරයක් කරවූ බව සඳහන්වේ. තවත් ජනප්‍රවාදයකට අනුව වර්තමාන නගරාසන්නයේ ගල් ලෙනක භාවනා කරමින් සිටි සෙංකන්ඩ නම් බ්‍රාහ්මණයා හමු වී ඔහු පැවසූ තොරතුරු අනුව මෙය ජයභූමියක් ලෙස සලකන නගරය ඉදිකළ බව යි. සේනා සම්මත වික්‍රමබාහු (1473-1511) රජතුමා විසින් මහනුවර ප්‍රථම වරට අගනගරය කරගනිමින් රාජ්‍ය විචාල බව පැවසේ.තුන්වන වික්‍රමබාහු රජු ඉඳි කළ මහනුවර රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1590 දී රජ බවට පත් කොනප්පු බණ්ඩාර (1590-1604) හෙවත් පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් පුළුල් ලෙස ප්‍රතිසංස්කරණය කළ බැව් මන්දාරම් පුර පුවත, රාජාවලිය යන ග්‍රන්ථයන්හි සඳහන් වේ. මහනුවර නගරයට වඩා සිසිල් දේශගුණයක් සහිත හන්තාන කන්ද ජෛව විවිධත්වය පිළිබඳව සලකන කල්හි අතිශයින් වැදගත්කමක් දරයි. හන්තාන කන්දට එම නම යෙදුණේ 16 වන සියවසේ දී එහි සන්තානම් පල්ලියක් ඉදිකිරීම නිසා බව කියැවේ. 'සන්තැන' නම් ගල් පර්වතයක් එහි වූ නිසා එය "හන්තාන වූ බව ඇතැමුන්ගේ මතය වන අතර හන්තාන කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 3800 ක උසකින් යුක්ත වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2000ක් වන මෙම ප්‍රදේශයේ පිහිටි ශාකවලින් 502ක් ම දේශීය ශාක බැව් ලාංකික උද්භිද විද්‍යාඥයින්ගේ මතයයි. මහවැලි ජල පෝෂක ප්‍රදේශයක් වන අතර මහ ඔය, ගැරඩි ඔය ආදිය උපත ලබන්නේ මෙම කඳු වැටිය ආශ්‍රයෙනි. සෙංකඩගල පුරය සුන්දර පුරවරයක් බවට පත්වීමට තවත් සුවිශේෂ සාධකයක් වන්නේ බෝගම්බර වැව යි. අතීතයේදී බෝගම්බර වැව තිබී ඇති ස්ථානයේ වර්තමානයේ බෝගම්බර ක්‍රීඩා පිටිය, බෝගම්බර හිර ගෙදර, වෙළඳපොළ, දුම්රියපොළ සහ බස් නැවතුම් පොළ පිහිටා ඇති බව විද්වතුන්ගේ මතයයි. මහනුවර නගරය ඉදිකළ තුන්වන පරාක්‍රම බාහු රජතුමා ඉදිකලේ යැයි සැලකෙන මෙම වැවේ ජල පෝෂක ප්‍රදේශ වන්නේ උඩ වත්ත කැලේ, හන්තාන කන්ද සහ බහිරව කන්දයි. මුල්ම යුගයේ අම්පිටිය ප්‍රදේශයේ සිට ගලා ආ 'හිල් පැන් කඳුර නම් දොළ පාර මහනුවර විහාරස්ථානයටත් දළදා මාලිගාවටත් නාථ දේවාලයටත් අයිති කෙත් බිම් සරු කරමින් ගලා ගිය අතර මහරජු විසින් දේවේන්ද්‍ර මූලාචාරියයන්ගේ උපදෙස් පරිදි මෙම වැව ඉදිකරනු ලැබුවේ එම ජල මාර්ගය හරස් කොට වේල්ලක් ඉදිකිරීමෙනි.
වැව් බැම්ම බැඳි පසු පිරි ගිය ජලයෙන් කිරි ඉබ්බන් විසූ පොකුණක් යට වූ බැවින් මෙම වැව කිරි සයුර ලෙස නම් වූ බවට එක් මතයක් ඇත. භාරතීය දේව සංකල්පවල ඇති කිරි සයුර' යන අදහස මුල් කොට මෙය ද කිරි සයුර ලෙස නම් වූ බව ඇතැමුන්ගේ මතයයි. වැවේ වට ප්‍රමාණය සැතපුම් 2කට මදක් වැඩිවන අතර මෙම වැව මුහුදු මට්ටමින් අඩි 1676 ක් උසින් පිහිටා ඇත. ජල ධාරිතාව වතුර ගැලුම් 1,85,00,000 වන බව ගණනය කොට ඇත. වැව වටා ඇති ත්‍රිකෝණාකාර සිදුරු සහිත පවුර හැඳින්වෙන්නේ වළාකුළු බැම්ම' ලෙසිනි. රජු මෙය ඉදිකරනු ලැබුවේ එහි ඡායාව පතිත වීමෙන් වැඩි අලංකාරයක් ලැබෙන පරිද්දෙනි. ඡායාව වළාකුළු ලෙස ඈතට දිස්වන බැවින් එම ප්‍රාකාරය වළාකුලු බැම්ම ලෙස හඳුන්වනු ලැබීය. ඉල් මස පැවැත්වෙන කාර්තික මංගල්‍යයේ දී මෙම වළාකුලු බැම්ම මත පහන් දැල් වූ විට මුළු සෙංකඩග පුරය ම දෙව් ලොවක අසිරිය විදහාපායි. බෝගම්බර වැව වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු පිරිසක් මෙම වැවෙහි ගිල්වා මරණයට පත්කළ නිසා ය. මොල්ලිගොඩ අධිකරාමගේ කේලම් බස් ඇසූ රජු ඇහැලේපොල අධිකාරම රත්තරන් ඔටුන්නක් තනන්නේ තමන් රජවීමට සිතාගෙන යැයි සැක කළ රාජසිංහ රජු ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අතර ඔහු සැඟ වී කොළඹට පලා ගොස් ඉංග්‍රීසීන්ට එක් විය. මින් කෝපයෙන් වියරු වැටුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඇහැලේපොලගේ කුඩා දරුවන් තිදෙනා බෝගම්බර පිටියේ දී මරා දැමූ අතර ඇහැලේපොල කුමාරිහාමි ඇතුළු නෑසියන් රැසක් බෝගම්බර වැවේ ගිල්වා මරණයට පත් කළ බව කියැවේ. ඉන් කෝපයට පත් ඇහැලේපොල ඉංග්‍රීසීන් සමග එක්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසීන්ගේ ග්‍රහණයට හසු කර දීමට ද හෙළ බිම ඉංග්‍රීසීන්ට නතු කොට දීමට ද කටයුතු කළේ ය. බෝගම්බර පිටියේ දී සිදු වූ ඉහත සුවිශේෂි සිද්ධිය මුළු මහත් ලංකාද්වීපය ම ඉංග්‍රීසීන්ට පවා දීමටත් ලංකා ඉතිහාසයේ පළමු වරට මුළු රට ම විදේශික ජාතියකට යටත් ජාතියක් බවට පත් කිරීමටත් හේතු වූ බව පැහැදිලිව අවබෝධ කරගත හැකි ය. දළදා මාලිගාව දළදා වහන්සේට සෙවන සපයන මහනුවර දළදා මාලිගාව 1595 දී තැනවූයේ පළමුවන විමලධර්මසූරිය රජු (1590-1604) බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. විමලධර්මසූරිය රජු විසින් ගොඩනගන ලද දෙමහල් දළදා මාලිගාව 1603 දී පෘථිග්‍රිසි ආක්‍රමණිකයින් විසින් විනාශ කරන ලද අතර දළදා වහන්සේ මැද මහනුවර රැගෙන ගොස් සගවා තබන්නට සමත්ව ඇත. දෙවන රාජසිංහ රජුගේ සමයේ (1635-1687) නැවතත් ප්‍රතිසංස්කරණය කළ දළදා මාලිගාවට වඩම්මවන ලදී. මේ කෙසේ වෙතත් වර්තමානයේ ඇති දළදා මාලිගාව ගොඩනගා ඇත්තේ අවසන් සිංහල රජු වශයෙන් සැලකෙන වීර නරේන්ද්‍රසිංහ රජු (1707-1739) විසිනි. නමුත් අපට ඈත සිට බලන විට පත්තිරිප්පුව සහිත ගොඩනැගිල්ලත් දිය අගලත් නිර්මාණය කරවා ඇත්තේ ලාංකීය රාජ වංශ කතාවේ අවසාන රජුවන ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) රජු විසිනි. මෙම ගොඩනැගිලි මහනුවර යුගයේ ගෘහ නිර්මාණය අනුව ප්‍රතිසංස්කරණය වී ඇති මෙහි බිත්ති ඉදිකර ඇත්තේ මැටියෙනි. මෙහි කළු ගලින් නිම කොට ඇති වේදිකාවෙහි බොරදම අනුරාධපුර යුගයට නෑකම් කියයි. ගොඩනැගිල්ලේ පහත මාලය ගල් කණු වලින් සමන්විත වන අතර ඉහළ මාලය දැව කණුවලින් අලංකාරවත් වේ. මහනුවර යුගයේ වාස්තු විද්‍යාත්මක මූලධර්ම අනුව සකස් කොට ගන්වා ඇත. ගොඩනැගිල්ලේ දැව බාල්ක, ඇතුළත බිත්ති, පියන්, ජන්ට අලංකාර චිත්‍ර සහ මෝස්තරවලින් හැඩ ගන්වා ඇති අතර දේවාරාධනය, සස ජාතකය වැනි සිතුවම් මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හා නරේන්ද්‍රසිංහ රජුගේ පිලි රූ මෙහි ඇත. ලිය වැල්, මල් සත්ව රූප වැනි සිංහල චිත්‍ර කලාවේ අති සුන්දරම නිර්මාණ දළදා මාලිගාවේ දී අපට දැක ගත හැකිය. ගල් වඩු, ලී වඩු, පෙදරේරු, උළු වඩු, ලාකරු, සිත්තරු, මූර්ති ශීල්පීන්, කැටයම්කරු යනාදී ශිල්පීන් රැසකගේ නිර්මාණ කෞෂල්‍යය විදහා දැක්වෙන මෙම සුන්දර කලා නිර්මාණ එකතුව තුළින් හෙළ ජන කලාවේ ද ජන සංස්කෘතියේ ද විශිෂ්ටත්වය මැනවින් විදහා දැක්වේ.
Comments
Post a Comment