gossiplanka image 1
 

නරියා සැමවිට ම අසුභ සතෙකු ලෙස සලකනු ලැබේ. ඊට හේතු කීපයක් ඇත. ඌ ආහාරයට ගන්නේ දඩයම් කළ සතුන්ට වඩා වෙනත් සතුන් මරා දැමූ සතුන්ගේ මස් ය. එසේම නරියා ඕනෑම කුණු වී ගිය මසක් කෑමට පෙළඹෙයි. සැඟවුණු ජීවිතයක් ගත කරන ඌ එළිමහනට එන්නේ රාත්‍රී කාලයේ ය. උගේ කෑ ගැසීම ඇසෙන්නේ ද රෑට ය. ගැමියන්ගේ කුකුළන් වැනි සතුන් සොරකම් කරගෙන යාම නිසා ගැමියන් නරියා කෙරෙහි තරහයෙන් සිටින බව පෙනේ. නරියා කපටියෙකියි විශ්වාසයක් පැවතියත් ඌ වෙන සතුන්ට වඩා කපටියකු බව ඔප්පු කිරීමට සාධක නැත. එබඳු විශ්වාසයක් ප්‍රචාරය වී ඇත්තේ නරියා මුල් කරගෙන ගෙතී ඇති ජනකතා නිසා යයි සිතිය හැකිය. නාරියාගේ චර්යා මුල් කරගෙන මිනිසුන් අතර පැතිර පවත්නා විශ්වාස කීපයක් මෙසේ දැක්විය හැකි ය.


1. නරී හූ කීම මරණයක පෙර නිමිත්තකි.


බල්ලන් බුරන්නාක් මෙන් නිතර ම නරි හු නොකියති. උන් හු කියන්නේ රාත්‍රී කාලයේ ය. එක් වරම නරි රංචුව හු කියති. මෙහි විශේෂය වන්නේ දවල් කිසි තැනක පෙනෙන්ට නැති නරි රාත්‍රි කාලයේ ගමට අවුත් කෑ ගැසීම ය. අහම්බෙන් එන නරි මෙසේ හු කියන්නේ ඇයිද යන ප්‍රශ්නය ගැමියන්ට ඇතිවන්නට ඇත. නරක සතා කියන්නේ නරක පණිවිඩයක් විය යුතු යයි සිත ඔවුන් එය මරණයකට ආදේශ කළ බව කිවහැකි ය. නරි හූ කියූ විට ඔවුහු ගමේ කිසිවකු රෝගීව අසාධ්‍ය තත්වයේ සිටින්නේ දැයි සොයා බලති. එවැනි කෙනෙක් ඇතොත් අවධානය යොමු වන්නේ ඔහුට ය. දින කීපයකින් ලෙඩා මියයන්නේ රෝගයේ බරපතලකම නිසා ය. ගැමියන් සිතු පරිදි නරි හූ කීමේ ප්‍රතිඵලය ලැබී ඇත.


02. ගෙදර අසලට නරි ඒම ගෙදරට අසුභ කාලයක් ළගා වීමේ නිමිත්තකි.


මෙය ද නරින්ගේ දර්ශනයේ දුබලකම නිසා ඇති වූවකි. නිතර ඇස නොගැසෙන නරියා ගෙදර අසලට ම හදිසියේ දර්ශනය වීම තුළ කිසියම් ගුප්ත සිදුවීමකට මුල පිරීමක් යයි සිතති. නරියා බල්ලාට බිය ය. එසේ තිබියදීත් නරියා බල්ලන් ගැවසෙන ප්‍රදේශයකට පැමිණීම ම ගුප්ත බලයකින් සිදු වූ දෙයක් ලෙස සැලකීම පුදුමයක් නොවේ.


03. සමහර නරීන්ට "නරී අග" නමින් අගක් ඇති අතර එය සර්ප විස ඉරවීමට ප්‍රත්‍යක්ෂ දෙයකි.


නාගයා නාග මාණික්‍යය ආරක්ෂා කරන්නාක් මෙන් නරියා ද තමා සතු අඟ දිවිහිමියෙන් ආරක්ෂා කරයි. මෙවැනි අං ඇත්තේ ඉතාමත් කලාතුරකින් එක් නරියෙකුට ය. උගේ එම අඟ කෙනෙකු ලබා ගැනීමට බොහෝ වෙහෙස විය යුතු ය. එවැනි අං විකිණීමට ගෙන එනු ලබන්නේ අහිකුන්ටික මිනිසුන් විසින් ය. ඔවුන් කියන ආකාරයට නරි අඟ ලබා ගතයුත්තේ මෙසේ ය. සඳ පහන් ඇති රාත්‍රිකාවලදී මැදියම් රෑ නරි රංචුව ගොයම් පාගා අත්හැර දමා කමතට පැමිණ ක්‍රීඩා කරමින් විනෝදයෙන් පසුවෙති. එම අවස්ථාවේ නරි අඟ ඇති ප්‍රධාන නරියා තමාගේ අඟ පිදුරු ගොඩක් අස්සේ සඟවා ක්‍රීඩා කිරීමට යයි. මෙවැනි අවස්තථාවක් සැඟවී බලා සිට එක් වරම කෑගසාගෙන කමත මැදට පැන නරි රංචුව පළවා හැරිය යුතුය. ඉන් පසු පිදුරු ගොඩ හිමින් අවුස්සමින් නරි අඟ සෙවිය යුතුය.


කුඩා දර පතුරු කැබැල්ලක් වැනි නරි අඟ එවිට සොයා ගත හැකිය. අඟ නැති වීමේ සොවින් එම නරියා මිය යයි කියති. නරි අඟ ලබා ගත් තැනැත්තා එම අඟ ඉතා ආරක්ෂා සහිතව තබා ගනියි. සර්පයකු දෂ්ට කළ කෙනෙකු ඇති විට සපාකෑමෙන් ඇති වූ එම තුවාලයට එම නරි අඟ තබා ගෙන සිටීමෙන් ශරීර ගත සියලුම විස ඊට උරා ගන්නා අතර ලෙඩා එම මොහොතේම නින්දෙන් පිබිදියාක් මෙන් නැගිට සිටින බව නරි අං වෙළෙන්දෝ කියති.