
බෝදිලිමා කෑගසන විට පිරිමින් ගෙයින් පිටට ගියොත් ඔවුහු මරණයට පත් වෙති.
මෙවැනි විශ්වාසයක් දිවයින පුරා පැතිර ඇති බව පෙනේ. එහෙත් බෝදිලිමා කෙබඳු සතෙකු දැයි පැහැදිලි නැත. බෝදිලිමා මනඃකල්පිත සතෙකු හැටියට සලකන අය ද සිටිති. බෝදිලිමා වෙන සතෙකු නොව ඒ නම් කටුස්සා නමින් හැඳින්වෙන සනා ම යයි ද මතයක් ඇත.මේ සතා ගැන විස්තරයක් නන්දසේන රත්නපාල මහතා තම ජනශ්රැති විද්‍යාව නම් පොතේ දක්වා ඇත. එය මෙසේ ය.
බෝදිලිමා වෙන්නේ කුසෙන් හෑල්ලු නොවී කරඹ බරින් ම මැරෙන ගෑනුයි. ඌ ඉන්නේ කැළෑවේ. සමහර දවස්වල කෙඳිරි ගානවා. එවිට මල් බුලත් පුටුවක් තනා බුලත් කොළයක් හා පොල්තෙල් පහනක් සමග කාමරයක තැබූ විට එතැනට ඇවිත් බුලත් කොළය රත් කොට බඩ තවා ගන්නවා. කඹුවකින් ඌ වහලා එතැනම සිටින්නට ඇරියොත් පසුදාට දකින්නට ලැබෙන්නේ සැර කටුසෙකි. බෝදිලිමා පිරිමින්ගේ හතුරෙකි. පිරිමින්ගෙන් පළි ගැනීමට පාර දිගේ පෙරළි පෙරළි එන ඌ එලවිය හැක්කේ ගැහැනියකට පමණයි.
කටුස්සා
බෝදිලිමා යනු කටුස්සා යයි සැක කළ හැකි බව ඉහත දැක්වීමු. කටුස්සාට යම් ගුප්ත බලයක් ඇතැයි ගැමියන් නිගමනය කිරීමට තුඩු දුන් හේතු කීපයක් ඇත. ඉන් එකක් වන්නේ උගේ ශරීරයේ ඇති අප්‍රිය ජනක ස්වරූපයි. ගොරහැඩි ශරීරයකින් ද බිය ජනක හිසකින් ද යුක්ත මේ සතා ලෝකයේ පහළ වූ මුල් සතුන්ගෙන් එකෙකු ලෙස ද සලකයි. එසේම ඌට අවශ්‍ය පරිදි වර්ණය වෙනස් කර ගැනීමට හැකි වීම ද තවත් හේතුවකි. බළලාට ඕනෑම කුඩා සතෙකු මරා ආහාරයට ගත හැකිය. එහෙත් බළලා කටුස්සකු මරා කෑවොත් ඌ කෙට්ටු වී එයින් ම මැරී යා හැකි යයි විශ්වාස කරති. කෙට්ටු තැනැත්තියක දුටු විට ගැමියන් කියන්නේ කටුස්සන් කෑ බැළලි වගේ කියා ය. කටුස්සාගේ බිය නැතිකම නිහඩතාව, හිස ඔසවා බලන විමසුම් බැම යනාදිය කටුස්සා ගුප්ත බලයක් ඇතැයි සිතීමට තුඩු දුන් අනෙක් හේතු ය. කටුස්සා මුල්කොට ගත් අධිවිශ්වාස දෙකක් මෙසේ ය.
1. කටුස්සා කෑ ගසන්නේ නියගය දිගින් දිගටම පවතින බව කීමට ය.
2. කටුස්සා ගෙදරට පැමිණීම අසුභ පල දෙන්නකි.
Comments
Post a Comment