gossiplanka image 1
 


ඉතිහාසය හැදෑරීමෙන් දැනුවත් වන්නේ ඒ ඒ කාලවකවානුවල ජීවත්ව සිටි අසහාය ආගමික නායකයන්, විශේෂිත පුද්ගලයන්, රාජ්‍ය කාරකාදීන් විසින් දෙනු ලබන උපදෙස්, ගනු ලැබූ තීරණ මෙන්ම ඔවුන්ගේ ක්‍රියාකාරකම්ය. විශේෂයෙන් රාජ්‍ය පාලකයන් රටේ ශුභසිද්ධියට හෝ පරිහානිය කෙරෙහි ගනු ලබන තීරණ ක්‍රියාමාර්ග ගැන සොයා බලා වර්තමානයත්, අනාගතයත්, හැඩගස්වා ගැනීමට ඉතිහාසය දක්වන කරුණු බෙහෙවින් ඉවහල් වනු ඇත. ඉතිහාසය ගැන ස්වල්ප වශයෙන් හෝ නොදැනුවත් වීම ඉදිරිය සකසා ගැනීමට අභියෝගයක් වන්නේය. බාල තරුණ, මහලු කොයි කවුරුන් වුව ඉතිහාසය ගැන කරුණු විචාරීමෙන් අවැඩක් සිදුනොවන අතර එය රටේ සමාජයේ ප්‍රතිචාරාත්මක දැක්මක් වන්නේය. ඇතැම් ඉතිහාස ගත රජවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන තක්සේරු කිරීමේදී ඔවුන්ගෙන් අපට උකහාගත හැකි ජීවන තොරතුරු එමටය. පණ්ඩුකාභය, ධාතුසේන, මහසෙන්, දුටුගැමුණු, සිරිසඟබෝ, ගෝඨාහය, බුද්ධදාස, උපතිස්ස වැනි රජවරුන්ගෙන් අපට ලබාගත හැකි පාඩම් අපමණය. මහාවංශ කෘතියට අනුව උපතිස්ස රජතුමාට දෙවියන් හා සමාන  රූප ලක්‍ෂණයෙන් යුත් පුත් කුමාරවරු අසූවක් (80) සිටි බව කියැවේ. මේ අය අභිෂේක බිසවගේ දරුවන් ලෙස විශ්වාස නොකරන අතර රාජ්‍යයේ උරුමකරුවන් ලෙසද නොසැලකේ. මේ පුතුන් අතුරින් වැඩිමහලු පුත් වූ උපතිස්ස කුමරු තම පියාන්ගේ බුද්ධදාස රජු) අභාවයෙන් පසු රජකමට පත් වූයේය. මෙම රජු දෙවන උපතිස්ස රජු ලෙසද ඇතැම් ඉතිහාස කතුවරු හඳුන්වති උපතිස්ස රජතුමා මහා කරුණාවන්ත රජකු ලෙස ප්‍රකට විය. නිතර සිල් රකිමින්, දශ අකුසලින් මිදී දශරාජ ධර්මයෙන් රජකම් කළේය. මෙතුමා කොරුන්ට, ගරහණීන්ට, අනාථ වූවන්ට, රෝගීන්ට, සමානාත්මකව සංග්‍රහ කළ බව සැලකේ. මහාපාලි නමැති බත් දන්සලෙන් රජ බොජුන් හා සමාන ආහාර පාන දන්දුන් අතර ඒ සඳහා තවත් දන්සල් ද කරවීය. මෙම රජතුමාගේ කාරුණික බව කොතරම්ද යත් තමා නිදන යහන, රාත්‍රියේ වර්ෂාවට තෙමෙද්දී සේවකයන්ට නොදන්වා ඔවුන්ට කරදරයක් වේවි යැයි සිතා පහන් වන තුරු සිටි බව සැලවෙයි. මහසෑය වෙතින් ගමන් කරමින් සිටින කළු කුහුඹුවන්ට කරදරයක් නොවන පරිද්දෙන් මොනර පිළෙන් පිස ඉවත් කර තිබේ. සිල් සමාදන් වූ දිනවල වෙනම කුටියක වාසය කළේය. වැරදි කළවුන්, සොරුන් අල්ලාගෙන ආවිට සිරිසඟබෝ රජු මෙන් මෙතුමාද ඔවුන්ට වස්තුව දී හිරිහැරයක් නොකර රහසේ පලා යෑමට ඉඩ හැරීය. සොහොන්වලින් මිනී ගෙන්වා දඩුවම් කළ බවට රට වැසියාට අඟවයි. උපතිස්ස රජතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳ මහාවංශය දක්වන විස්තර අතිශයෝක්තියක් නොවන වගත් ධර්මිෂ්ට පාලනයක් තුළ ජනතාව හා පාලකයා අතර ඇති සමීප සම්බන්ධතාවය පෙන්නුම් කිරීමට රජුගේ ජීවන චරිතය ආදර්ශවත් බව හෙළිවෙයි. මෙම රජතුමාගේ රාජ්‍ය පාලන යුගයේදී රට තුළ දුර්භික්ෂයක් හා රෝග බියක් පැවතිණි. ස්වභාව ධර්මයේ අහිතකර බලපෑම් නිසා මෙම අසහනය ඇතිවී යැයි විශ්වාස කෙරේ. රජතුමා භික්ෂූන් වහන්සේලා හමුවී "ලෝකයා දුර්භික්ෂ ආදී බයින් පෙළෙන විට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද කිසියම් ලෝක හිතයක් ඇද්දැයි” විමසා සිටියේය. මේ සඳහා මහා සංඝරත්නය ගංගා රෝහණ සුත්‍රෝත්පත්තිය පෙන්වා දුන්හ. අනතුරුව රජතුමා සර්වඥ ධාතුවට ඝනරන් ප්‍රතිමාවක් කරවා බුදුන් වහන්සේන්ගේ ශෛලමය පාත්‍ර ධාතුවට දිය පුරවා ප්‍රතිමාවේ දොහොන්හි තබා ඒ රූපය රථයක තැබීය. පසුව තමාද සිල් සමාදන්ව රටවැසියාට සිල් සමාදන් කරවා සියලු සතුන්ට අහය සලස්වවා නුවර දෙව් පුරයක් මෙන් අලංකාර කළේය. අනතුරුව රජතුමා මහා සංඝරත්නය ගෙන්වා පිරිවරාගෙන මහ පෙරහැරින් ගමන් ආරම්භ කළේය. භික්ෂුන් වහන්සේලා රතන සූත්‍රය දේශනා කරමින් රාජ මන්දිරය අසල ද මහා මාර්ගයේ ද, පවුර සමීපයේද, පිරිත් පැන් ඉසිමින් පැදකුණු කළෝය. තුන්යම් රාත්‍රිය අවසන් වී එළිවන ජාමයේ මහත් වැස්සක් පැවතිණි. මින් සියලු දුක් කරදර නිමා විය. පෙරහැරින් පසුව යළිදු මෙබඳු දුර්භික්‍ෂයක් ඇති වුවහොත් මේ අයුරින්ම කටයුතු කරන ලෙසට රජතුමා නියෝග පැනවීය.මෙම රජතුමා විසින් ස්ථූපයක්, ප්‍රතිමා ගෘහයක් සහ පිළිමයක් ඉදිකරවීමේදී ඒ සඳහා සහායට ගත්තේ ළමුන්ය. ඔවුන්ට හකුරු සහ සහල් මිශ්‍ර රසකැවිලි ලබාදී අදාළ වැඩ කොටස් නිමකරවා ගනු ලැබීය. ආගමික කටයුතු මෙන්ම රටේ ජනතාවගේ උන්නතියට ගෝචර වන පරිදි සංවර්ධන කටයුතුවලද නියැළිනි.රටේ කෘෂිකාර්මික දියුණුව උදෙසා වාරි කර්මාන්තය කෙරෙහි මහසෙන් රජු මෙන් උනන්දුවක් දැක්වීය. මෙතුමගේ සමයේදී වැව් (06) හයක් ඉදිකර ඇති බව පැවසේ. රාජුල, වලාහස්ස, අම්බුයි, ගිජ්ජකුට, පොල්තෙරපාස සහ ගොඬේගම යන නමින් එකල ඒවා භාවිත විය. සිංහල මූලාශ්‍රවලින් කියැවෙන පරිදි පොළොන්නරුවේ තෝපාවැව ඉදිකරන ලද්දේ ද මෙම රජතුමා විසිනි. තෝපාවැව පොඬෙරපාස වැව ලෙස ඇතැම්හ කියති. යටකී වැව්වලින් දැනට හඳුනාගෙන ඇත්තේ වැව් තුනක් පමණි. උපතිස්ස රජතුමාගේ රාජ්‍ය සමයට අයත් දැනට සොයාගෙන ඇති කන්දකාඩු සෙල් ලිපියෙන් දෙනුපේ දපතිස්ස යනුවෙන් කියැවේ. දෙනුපේ යනු දේවානම් පිය හෝ දෙවනුපිය යන්නට සමාන බව පසක් කෙරේ. ලිපියේ තොරතුරුවලට අනුව රජතුමා චිත්ත නගරයෙහි විහාරයක් ඉදිකරවා එහි නඩත්තු කටයුතු වෙනුවෙන් ඉඩකඩම් පූජා කළ වග මහාවංශයෙන් අනාවරණය වේ. මෙම දැහැමි රජතුමාගේ  බාල සහෝදරයකු වූ මහානාම කුමරු සමග ස්වකීය බිසව අනියම් ඇසුරක් පැවැත්වූවාය. මේ සම්බන්ධකම රහසේ පවත්වා ගෙන යද්දී මහානාම කුමරුට රජකම ලබා දීමට ඇය කුමන්ත්‍රණය කළාය. තම ස්වාමිපුරුෂයා වූ උපතිස්ස රජුට ආයුධයකින් ගසා මැරීමට තරම් ඇය අකාරුණික වූවාය. මේ සැහැසි ක්‍රියාවෙන් අකල් මරණයට පත් උපතිස්ස රජුට රාජ්‍ය පාලනය කිරිමට හැකි වූයේ වසර 42 කි. තවත් දිගු කලක් සිටීමට එතුමාට ඉඩකඩ නොලැබුණි. රජුගේ අභාවයෙන් පසු මහානාම කුමරු රජකමට පත්විය. ඊට පෙර මහානාම පැවිදිව සිටියේය.