සිංහලයාගේ ප්‍රධාන ආහාරය බත්ය. කුඹුරු ගොවිතැනට අමතරව හේන් ගොවිතැන් කළ ද වී වගාව මුල් වූ බව පෙනේ. එහෙයින් ප්‍රධාන ආහාරය වූ බත තම මහන්සියෙන් උපයා ගන්නා ලද අතර, පුලයෙකු සතු වී ප්‍රමාණය මිනිසුන්ගේ ධනවත්කම සහ සමාජ තත්වය සඳහා මිනුම් දණ්ඩ වූයේය. සහල්වලින් පිළියෙල කර ගන්නේ බත් පමණක් නොවේ. රටේ දේශීය සංස්කෘතිය විදහා දක්වන ප්‍රධානතම කෑම වශයෙන් සැලකෙන කිරිබත් ද සහලින් පිසගනු ලැබේ. සහලින් පිසගත් කැඳ වර්ග උදෑසන ආහාරය ලෙස මෑතක් වන තුරුම භාවිත විය. ඊට අමතරව රොටී, පිට්ටු, ආප්ප, ඉඳිආප්ප, ඉඹුල් කිරිබත් ආදී වූ ආහාර වර්ගද විවිධ කැවිලි වර්ගද සහල් මුල් කරගෙන පිළියෙල කරයි.
කුරහන් ද ප්‍රධාන ආහාරයක් විය. විශේෂයෙන්ම වියළි කලාපීය ප්‍රදේශවල වී ගොවිතැන දුෂ්කර වූයෙන් හේන් වගාවේදී කුරහන් වගාව ප්‍රධාන විය. එයින් කුරහන් වලින් සාදාගන්නා ආහාර වලටද ප්‍රධාන තැනක් හිමිවිය. අල බතල වර්ග ද පිරිමැසෙන ආහාර වශයෙන් සලකයි. ගෙවතුවල වගා කරනු ලබන මඤ්ඤොක්කා, බතල, ගහල, ඉන්නල ආදිය මෙන්ම කැලෑවේ වැවෙන කටුඅල, හිරිතල, හබරල, ආදිය ද අලවර්ග අතර ප්‍රධාන විය. සාමාන්‍ය පන්තියේ සිංහල නිවාසවල මෙම අල වර්ග බත් වෙනුවට ප්‍රධාන ආහාරය ලෙසද භාවිත කරයි. අල, බතල තරමටම ජනප්‍රිය ආහාරයක් වූයේ කොස්, දෙල්, කැලෑදෙල් වැනි ගෙඩි වර්ගය. ප්‍රධාන ආහාරය වූ බත් හැම විටම ව්‍යංජන මිශ්‍රව ගනු ලබයි. එම නිසා සිංහලයන්ගේ ආහාර රටාවේ ප්‍රධාන ආහාරය තරමටම ව්‍යංජනද වැදගත් වේ. බොහෝ විට ආහාරයෙන් සමාජ තත්වය තීරණය කිරීමේදී සාධකයක් ලෙස සැලකිය හැක්ද ආහාර වේල සමග යෙදෙන ව්‍යාජන වර්ග හා සංඛ්‍යාවය. ව්‍යංජන වර්ග අතර පිසින ලද මාළු, මැල්ලුම, බැදුම, සම්බල, සලාද ආදිය වෙයි. අතීතයේ නම් රාජකීය ආහාර වේලක් සඳහා ව්‍යංජන 17 ක් වැනි විශාල ප්‍රමාණයක් ගනු ලැබූ අතර, අනෙකුත් ප්‍රභූ පන්තියද ඒ හා සමාන සංඛ්‍යාවක් භාවිත කරන්නට ඇත. නමුත් සාමාන්‍ය ජනතාව ව්‍යාජන දෙක තුනකට වඩා නොග නිති. සිංහල ජනතාවගේ ව්‍යාජන අතර එළවළු සහ පලා වර්ග නිතරම විය. ගෙවතුවල වගා කරන ලද එළවළු අතර බටු, මෑ, පතෝල, වැටකොළු, කරවිල, මුරුගා, කැකිරි, පිපිඤ්ඤා, අළු කෙසෙල් ආදිය වේ. ගොටුකොළ, මුකුණුවැන්න, සාරණ, තම්පලා, කතුරුමුරුංගා, කංකුං ආදිය පලාවර්ග අතර මුල්තැනක් ගනියි. එහෙත් විශේෂ ලක්ෂණය වූයේ ගම අවට කැලෑවල විවිධ එළවළු සහ පලතුරු වර්ග තිබීමය. මස් හෝ මාළු වර්ග ආහාරයේ වැදගත් කොටසක් ලෙස පුරාතනයෝ නොසැලකූහ. වනයෙන් ලබාගත් දඩමස් වර්ග සහ ගංගා ඇළ දොළ වැව් ආදියෙන් අල්ලා ගත් මත්ස්‍ය වර්ග භාවිත වුවද එය අත්‍යවශ්‍ය බව ඔවුහු නොසිතති. බොහෝ විට එයට හේතුවන්නට ඇත්තේ සිංහලයන් බෞද්ධ ආගමට අනුව දැහැමි
ජිවිතයක් ගත කළ නිසා යයි සිතිය හැකිය. ගොවිතැන ආරක්ෂා කර ගැනීම උදෙසා සතුන් මැරීම සිදු වූ විටෙක, ඒ මස් කෑමට ගත් නමුත්, මනුෂ්‍යයාට පල ප්‍රයෝජනවත් සතුන් මැරීම ගැමියෝ කිසිවිට නොඉවසූහ. වර්තමානයේ නම් මේ තත්වය බොහෝ දුරට වෙනස් වී ඇත.
සිංහලයාගේ සාමාන්‍ය සිරිත දිනකට ආහාර වේල් තුනක් ගැනීමයි. උදේ, දහවල්, රාත්‍රී වශයෙන් එම ආහාර ගනියි. එකී වේල් අනුව ආහාර වර්ගද වෙනස් විය. විශේෂයෙන් උදේ ආහාරය සඳහා අතීතයේ භාවිත වූයේ ඖෂධීය කැඳ වර්ග වැනි දේය. සහල් ස්වල්පයකින් බතක් උයා ගොටුකොළ, හාතවාරිය, ඉරමුසු, පෙනෙල වැනි ඖෂධීය පැළෑටි කොටා යුෂ ගෙන පොල්කිරි ද සමඟ ඒවා මිශ්‍ර කොට මේ පලා කැඳ සාදාගනු ලබයි. ඉතා සැහැල්ලු ආහාරයක් සේ පෙණුනද පෝෂණ ගුණයෙන් අධික වූ බැවින් බර ආහාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අද වන විට
මෙම ආහාරය වෙනුවට රොටී, පිට්ටු ඉදිආප්ප, අල වර්ග වැනි කෑම් බීම් උදේ ආහාරය සඳහා ගනු ලබයි. සිංහල ජනයාගේ ආර්ථික රටාව හේතු කොටගෙන දහවල් ආහාරය බර ආහාරයක් නොවීය. උදේ ආහාර වේලට ගන්නා ඖෂධීය කැඳ වර්ග පෝෂණ ගුණයෙන් අධික වූ බැවින් දහවලට බර ආහාරයක අවශ්‍යතාවක් නොවීය. හේනේ, කුඹුරේ, ගොවිපලේ වැඩ කටයුතු සඳහා උදෑසනින්ම පිට වී යන අය නැවත ගෙදරට පැමිණෙන්නේ සවස් භාගයේදීය. ගොවිපළේ වැඩ සඳහා ගෙදර සියලු දෙනාගේම සහය අවශ්‍ය විය. එබැවින් දවල් ආහාරය පිළියෙල කිරීම සඳහා වෙහෙසීමට කාලයක් හෝ ශ්‍රමයක් ඉතිරි නොවීය. ඒ වෙනුවට කළේ ගොවිපළට යෑමට කලින් දවල් ආහාරය සඳහා තලප, රොටී, අල වර්ග වැනි පහසුවෙන් තනාගත හැකි කිසිවක් පිළියෙල කරෙ ගොවිපළට ගෙන යාමයි. වර්තමානයේ නම් බොහෝ නිවෙස්වල දවල්ට බත් හා ව්‍යාජන පිළියෙල කර ආහාරයට ගනු ලබයි. බොහෝ විට දවසේ ප්‍රධානතම ආහාර වේල ලෙස සැලකුණේ රාත්‍රී ආහාරයයි. දවසේ වැඩ කටයුතු කල්වේලා ඇතිව අවසන් කොට ගෙදර පැමිණෙන ගෘහනිය රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට සූදානම් වෙයි. දවසේ ප්‍රධාන ආහාර වේල වූ බැවින් ද, අඳුර වැටීමට පෙර එය පිළියෙල කළ යුතු නිසාද වේලාසන ඔවුහු රාත්‍රී ආහාරය සකසා ගනිති. ගෙදර සියලු දෙනා එකට එක් වී ආහාර ගන්නේ මේ අවස්ථාවේදීය. සාමාන්‍ය නිවසක මෙම ආහාර වේල බොහෝ විට මාළු පිණි දෙක තුනකින් සමන්විත විය හැකිය. ගෙදර එළිය දැල්වීමට පහසුකම් මඳ බැවින් කෑම කා වේලාසන නින්දට යාම අතීත සිංහලයාගේ සිරිත විය. නමුත් වර්තමාන ජනයා අතර මේ තත්වය වෙනස් වී ඇත. සිංහල ජනතාව කෑම් බීම් විශේෂයෙන් ව්‍යංජන පිළියෙල කිරිමේදී බහුලව කුළුබඩු වර්ග භාවිත කරති. ආහාරයේ රසය ගුණය මෙන්ම සුවඳ ද වැඩි කිරීම සඳහා යොදනු ලබන කුළුබඩු අතර කරපිංචා, රම්ප, කුරුඳු, ගම්මිරිස්, සුදුලූනු වැනි දේ වෙයි. ආහාර රටාවේ කෑම තරමටම හෝ ඊටත් වඩා වැදගත් කමක් උසුලනුයේ බීමය. කඳුහෙල් රූරා ඇද හැලෙන දිය පාරවල් - උල්පත් ජලය නොඅඩුව ලබන සිංහල ගැමි ජනයාගේ ප්‍රධානම බීම සිහිල් ඇල් දියයි. දවසේ ඕනෑම වේලාවක මෙන්ම කෑමෙන් පසුව විශේෂයෙන් ඇල්දිය බීම ආහාර රටාවේ එක් අංගයකි. එමෙන්ම බීමට අවශ්‍ය ජලය මැටි කළයක රැස්කර තබා ගැනීම ඔවුන් අතර ජනප්‍රිය දෙයකි. මැටි කළයේ ජලය වඩාත් සිසිල් බව ඔවුන් පිළිග නිති. මෙයට අමතරව මැටියෙන්ම තනන ලද ගුරුලේත්තු නම් වූ වතුර රැස්කර තබන විශේෂ භාජනයක්ද දක්නට ඇත.
ගෙදරට එන අයෙකුට හා හා පුරා කියා වතුර පිළිගැන්වීම ද සත් චාරිත්‍රයක් ලෙස සැළකීම සිංහලයාගේ සිරිතයි. එසේම එදා සිට ඉතා වැදගත් සිංහල ගුණයක් වූයේ මග යන එන අයගේ පිපාසය නිවා ගැනීමට උදව්වක් වශයෙන් මග දෙපස කඩින් කඩ වතුර පිර වූ පිංතාලි තැබීමය. විශාල මැටි වළඳක එක් රැස්කළ ජලය බීමට මනාව කැටයම් කළ පොල්කටුවකට සවි කරන ලද කැටයම් කළ ලී මිටක් සහිත 'කෙනෙස්ස' නම් වූ භාණ්ඩයක් විය. දකුණු අත්ල කෝප්පයක් පරිදි හකුලා මුවට තබා ජලය අපිරිසිදු නොවන සේ කෙනෙක්සැන් වත්කරන්ගෙන බීම සිරිතයි.
සිසිල් ඇල් දියට අමතරව සිංහලවාසීන් අතර ජනප්‍රිය වූයේ ඖෂධ පානයයි. තේ , කෝපි, භාවිතය ඇරඹීමට පෙර පටන්ම පැවති මෙකී පානයන් පිළියෙල කරගනු ලැබුවේ පැළෑටි, මුල්, කොළ, මල් ආදිය තම්බා ගැනීමෙනි. ඉරමුසු, රණවරා, පොල්පලා, බෙලිමල් ආදිය මින් සමහරකි. වර්තමානයේ ද මේවා භාවිත වුවද වැඩිපුර භාවිත වන්නේ තේ හෝ කෝපි නැතහොත් වෙනත් බීම වර්ගයන්ය. මීට අමතරව විශේෂයෙන් කිතුල් බහුලව වැවෙන ප්‍රදේශවල මී රා පානය ඉතා ජනප්‍රිය බව පෙන්නේ. සිංහලයන් අතර ඇති අමතක කළ නොහැකි දෙයකි බුලත්. බුලත් විට කෑම පෙර පටන් පැවති චාරිත්‍රයක් වූ අතර, අද වන විට බොහෝ සිංහලයන් අතර තවමත් දක්නට ඇත. වැඩවල යෙදෙන අතර මෙන්ම විවේකීව සිටින විටෙක ද සිංහල ජනතාව බුලත් හැපීමේ නිරත වෙති. විශේෂයෙන්ම කෑමෙන් පසු බුලත් හැපීම සියලු දෙනාගේම සිරිත විය. බුලත්, පුවක්, හුණු , දුම්කොළ සමග බොහෝ දෙනා කට සුවද කරවන කුළුබඩු වර්ගද කෑමට පුරුදු වී සිටිති. සමහර ප්‍රදේශවල එනම් මහියංග ණය බි න්න වැනි දුෂ්කර වියළි කළාපීය ප්‍රදේශවල සිංහල ජනතාව අතර බුලත් කෑමට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ලබා ගැනීමේ අපහසුව නිසා බුලත් වෙනුවට රට හකුරු කොළද පුවක් වෙනුවට කහට පොතුද අමතරව තලා කොළ දෙමට ගෙඩි ආදියද භාවිත කර කෑමට ගනිති. බුලත් කෑම ජාතික සංස්කෘතික ලක්ෂණයක් සේ සැලකෙන තරමට අද පවා භාවිත වේ. සමහර පුද්ගලයන් පුරුද්දක් වශයෙන් බුලත් කන අතර එය සමහරුන්ට නැතුවම බැරි දෙයක් වී ඇත. ගෙදරට එන ඕනෑම කෙනෙකු පිළිගනු ලබන්නේ බුලත් හෙප්පුව යි. බුලත් කෑම හේතු කොටගෙන සිංහල ජනතාවගේ ද්‍රව්‍යමය සංස්කෘතියද තර වී ඇති බව ඒ හා ආශ්‍රිත නොයෙකුත් භාණ්ඩ ප්‍රමාණයන්ගෙන් පෙනීයයි. බුලත් හෙප්පුව , බුලත් මල්ල, හැඹිලිය, කිලෝටය, ගිරය , බුලත් වංගෙඩිය ආදී වශයෙන් වූ මෙම භාණ්ඩ සහ උපකරණ බොහෝ විට කලාත්මක අගයෙන්ද අනූනය. බොහෝ පැරණි සිංහල ගෙවල්වල මේවා දක්නට ලැබේ. කොස් දෙල් වැනි ගෙඩි වර්ගද මඤ්ඤොක්කා වැනි අල වර්ගද, දෙහි ,බිං, සියඹලා වැනි ඇඹුල් වර්ගද හට ගන්නා නියමිත කාල ඇති බැවින් එම කාලයේ අතිරික්තව ඇති එම ද්‍රව්‍ය අවාරයේදී ප්‍රයෝජනයට ගැනීම සඳහා කබා ගැනීමේ ක්‍රම යොදා ගනිති. කොස්, දෙල්, මඤ්ඤොක්කා, අටුකොස් ආදී නම්වලින් හැඳින්වෙන පරිදි ඒවා තම්බා වියළාගෙන කල්පනා ගනියි. මීට අමතරව කොස් ඇට වැලි යට දැමීමෙන්ද කල්පනා ගැනීම සිදුකරයි. දෙහි කබා ගැනීම සඳහා දෙහි යුෂ ගින්දරෙන් රත්කර හෝ ගෙඩි පිටින් කපා ලුණු දමා පදමට වේලා ගැනීමෙන් හෝ ලුණු දෙහි සාදා කල් තබා ගනියි. බිලිං වැනි දේ තම්බා වේලා කල් තබා ගනියි. තවත් සමහර දේ තෙලෙන් බැද ගැනීමෙන් කතබා ගනියි. නිසි පරිදි ආහාර පිසීමෙන් දින දෙකක් තුනක් වුවද නරක් නොවී කල් තබා ගැනීමටද සිංහලයෝ සමත් වෙති. එමෙන්ම හීල් ආහාර කෑම ගම්බද සිංහලයන්ගේ සිරිතකි. නිසි පරිදි පිසින ලද ආහාර බඳුන්වලට ඇල් දිය මිශ්‍ර නොවීමට වගබලා ගැනීමෙනුත් හැඳි මිශ්‍ර නොකිරීමෙනුත් මෙසේ දින කීපයක් කල් තබා ගැනීමට හැකිවේ. විශේෂ කෑම්බීම් ව්‍යංජනවලට පමණක් සීමා නොවේ. රසකැවිලි වර්ග රාශියක් සිංහල කාන්තාවන් විසින් සාදනු ලබති. ඒවා අතර,
* දෝසි * ඔඩු පිට්ටු
* කිරි රොටී *වෙල්ලවැහුම්
* කොකිස් * උඳුවැල්
* කැටයම් හකුරු *කිතුල්පිටි තලප
* කැවුම් වර්ග *අලුවා
* වැලිතලප * ආස්මී
ප්‍රධාන තැනක් ගනියි. මේ හැරුණු විට කැවිලි සමග සම්බන්ධවන අනෙක් ආහාර වර්ගය වූයේ කෙසය. ඉදුණු කෙසෙල් අනුභවය නිරතුරුවම කෙරෙන්නකි. තම ගෙවත්තෙන්ම වගා කරනු ලබන කෙසෙල් වර්ග විශාල සංඛ්‍යාවක් ඔවුන් සතුව තිබිණ. ඒ අතර,
* කෝලිකුට්ටු * සුවඳැල්
* ඇඹුල් * රත් කෙසෙල්
* හොඬරවාලු * සීනි කෙසෙල්
* පුවාළු *ආනමාලු
ප්‍රධාන තැනක් ගනියි. කෙසෙල්වලට අමතරව බහුලව භාවිත වූ ගස්ලබු, කොමඩු, පේර, දොඩම් පේර, පලු, වීර වැනි කැළෑබද පලතුරු වර්ග ද විශේෂ වේ.
Comments
Post a Comment