gossiplanka image 1
 


සැම්පත්වලින් පිරුණු ගත කිරීම සෑම පුද්ගලයකුගේ ම ප්‍රාර්ථනාව වෙයි. එහෙත් එබඳු වාසනාවක් හිමි වන්නේ ඉතා ටික දෙනෙකුට ය. එවිට අනෙක් වැඩි පිරිසට එබඳු ජීවිතයක් නොලැබෙන්නේ ඇයි ද යන්න මිනිසුන්ගේ ප්‍රශ්නයක් විය. එහිදී බෞද්ධයන්ට ඒ සඳහා එක් උත්තරයක් තිබිණි. එය නම් ඉහත ජන්මයේ දී කරන ලද පිං නැතිවීම මීට හේතුව ය යන්න ය. ඒ ඇරුණු විට තවත් එක් හේතුවක් කෙරෙහි මිනිසුන්ගේ සිත් යොමු විය. එනම් මෙලොවදී තම ජීවිත කාලය තුළදී ම තමන් කියූ කළ දේ මගින් ඇති වූ අභිචාර බලයක් නිසා එවැනි අවාසනාවන්ත ජීවින උදා විය හැකිය යන්න ය. ඒ සඳහා ඔවුහු යම් යම් කීම් හා කෙරුම් නිරීක්ෂණයට භාජනය කළහ. ඒ අනුව බැසගත් නිගමන මෙසේ ය.


 1. අගහරුවාදා සහ සිකුරාදා දින කෑම නිසා ලෙඩ රෝග සෑදේ


විශේෂයෙන් කුඩා ළමයින් හා රෝගීව සිට සුව වූ අය මේ දිනවල නෑවීම සුදුසු නැති බව කියති. අඟහරුවාදා සහ සිකුරාදා සතියේ දිනවලින් විශේෂ දින දෙකක් බව පැරැන්නෝ විවිධ අවස්ථාවලදී පෙන්වා දෙති. මේ දින දෙකේ මළ තැනැත්තන් වැළලීම හෝ ආදාහනය කිරිම සුදුසු නැති බව පිළිගනී. මේ ඇරුණු විට මෙම දින දෙකේ ළිපේ අළු අරන් දැමීම, ගෙය අතුගාන  කුණු අරන් දැමීම, ගෙවල් සේදීම, රෙදි නැන්දාට රෙදි දීම යන ක්‍රියාවන් ද අසුභ බව කියන්නෝ සිටිති.


මෙසේ ජනතාව විශ්වාස කළත් නක්ෂත්‍ර විද්‍යාව අනුව නම් මේ දින දෙකේ විශේෂ අසුහතාවක් පෙන්වා දී නැත. මේ දින දෙක යම් යම් සාහ කටයුතු සඳහා යොදා ගැනීමට නියම කරන අවස්ථා කොතෙකුත් ඇත. එසේ නම් අඟහරුවාදා සිකුරාදා දිය නෑම අසුභ කොට සලකන්නේ ඇයි දැයි සෙවිය යුතු ය. මේ සඳහා එක් මතයක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව මේ දින දෙකේ දිය නෑම නුසුදුසු බව කියා ඇත්තේ බමුණෝ ය. එම දින දෙක දිය නෑම සඳහා සුදුසුම දින දෙක බව බමුණෝ දනිති. ඔවුන්ට හොඳින් දිය නා ගැනිමට සාමාන්‍ය ජනතාව ඒ දින දෙකේ තොටුපොළවලින් ඉවත් කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. මෙබඳු මිත්‍යාවක් මිනිසුන් අතර ප්‍රචාරය කර හැරියේ එබැවින්ලු.


 2. කටින් පිඹ පහන නිවීම අසුභ ය.


දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රචාරය වී ඇති මෙම විශ්වාසය මාතර ප්‍රදේශයේ පැතිර පැවති බව මාටින් වික්‍රමසිංහ මහතා ගම්පෙරළිය පොතේ ද දක්වා ඇත. එහි චරිතයක් වන මුහන්දිරම් කරෝලිස් අමතා මෙසේ කියයි. කටින් පිඹලා පහන නිවන්න එපා යයි හැමදාම කියන නමුත් උඹ කරන්නේ එපාය කියන වැඩේමයි. තවත් කටින් පිඹලා පහන නිවන්න එපා. මේ වන විට මුහන්දිරම් ධනයෙන් පිරිහෙමින් සිටි බව කතාවේ කියයි. එවැනි පිරිහීමකට කරෝලිස්ගේ ක්‍රියාවන් ද හේතු වී යයි මුහන්දිරම් සිතුවා විය හැකි ය.


කෝට්ටේ යුගයේ ලියැවුණු කාව්‍යශේඛරයේ එන එක් කවියක බැමිණිය සිය සොර සැමියා සමග රතිකෙළි යෙදීම ආරම්භ  කරමින් කටින් පිඹ පහන නිවූ බව කියයි. එයින් ද කටින් පිඹ  පහන නිවීමේ විශේෂයක් පෙන්වයි.  කටින් පිට කරන වායුවේ ගුප්ත බලයක් ඇතැයි පෙර පටන් විශ්වාසයක් පැවති බවට සාධක ඇත .මන්තර ජප කරන යකැදුරා සෑම මන්තර කීමක් අවසානයේ ම තඹ පතට හෝ ගැට දමන නූලට පිඹියි. කාලම් පිඹීම නම් වෙනත් හුනියමක් ද ඇති බව කියති.


3. ඇඳගෙන සිටින ඇඳුමේ ඉරුණු තැඇඳගෙන සිටියදීම මැසීමෙන් දුප්පත් වෙයි.


ඇඳගෙන සිටින ඇඳුම මාරු කර නොගෙන ඒ ආකාරයෙන් ම කෙනෙකු මැසීමට පෙළඹෙන්නේ තවත් ඇඳුමක් නැති තරම් දුප්පත් නිසා ය. කෙසේ වුවත් මෙයින් දුප්පත් වෙනවාට වඩා එළිපිට පෙනෙන නොහොඳක් ඇත. එනම් මෙය අනතුරු සහිත

කාර්යයක් වීම ය. ඇඳගෙන සිටින ඇඳුම මැසීමට යාමෙන් ඉඳිකටුව ඇනී තුවාල ඇති විය හැකිය.


4. නියපොතු කපා පෑගෙන්නට දැමීමෙන් එම නියපොතු අයිති තැනැත්තා දුප්පත් වෙයි.


මෙය එක් මහකින් විනාශයක් ගැන කීමක් විය හැකිය. නියපොතු වනාහී අපිරිසිදු දෙයකි. ඒවා තැනින් තැන දැමීම සුදුසු නැත. එය එක් වරදකි. අනෙක වන්නේ නිය, දත් වැනි ශරීරාංග වශී ගුරුකම් හා හූනියම් කිරීමට යොදා ගන්නා දේවල් ය. ඒ අනුව නියපොතු තවත් කෙනෙකුට ගත නොහැකි තැනකට දැමීම කළ යුතු දෙයකි. ඉහත සඳහන් විශ්වාසයට එම කරුණු බලපාන්නට ඇති බව පෙනේ. 5. බුලත් විට සඳහා බුලත් කොළය යන අවස්ථාවේ කොළයේ අගත් මුලත් කඩා ඉවත් කර නොකෑවොත් විස විය හැකි ය.

මෙම විශ්වාසයට බලන් උපත සම්බන්ධ සිද්ධියක් යා කොට දක්වා ඇත. මෙලොවට බුලත් ලැබුනේ නාග ලොවින්ලු. නාග ලෝකයේ සිට මිනිස් ලෝකයට බුලත් ගෙන ආ නාගයා බුලත් කොළය ගෙන ඒමේදි පහසුව තකා කොළයේ අගත් මුලත් එක්තැන් කර කටින් හපා ගෙන පැමිණි බව කියති. නාගයාගේ කටේ ගෑවුණු ස්ථාන දෙකේ විස රැ දී ඇතැයි ඒ කතාවේ සඳහන් ය. එබැවින් එම ස්ථාන කඩා ඉවත දමා ප්‍රයෝජනයට ගත යුතු යයි තීරණය කර ඇත.


මෙය මෙසේ වුවත් මීට වඩා සරල අදහසක් මීට යා කොට ගත හැකි බව පෙනේ. බුලත් කොළයේ මුල හෙවත් නටුව අසලත් එහි අග තුඩත් ගත් විට එම ස්ථාන රසයෙන් අඩු ය. එබැවින් එම තැන් කඩා දැමීමට පෙළඹුණා විය හැකි ය. එසේම බුලත් කොළයේ අග තුඩ අසල දුවිලි ඇතුළු වෙනත් අපිරිසිදු දේ තැන්පත් වී තිබිය හැකි ය. බුලත් වැලේ ඇති කොළය පිහිටන්නේ කොළයේ අග පහතට නැමී ඇති ආකාරයෙනි. එවිට පරිසරයේ ඇති අපද්‍රව්‍ය කොළය මතට වැටුණු විට වැසෙන සේදී අවුත් බිමට වැටෙන්නේ අග තුඩෙනි. එවිට එම තුඩ අසල අපද්‍රව්‍ය මදක් හෝ රැඳී තිබිය හැකි ය. එබැවින් එම තුඩ කඩා දමා කෑමට ගැනීම වඩා සුදුසු වූවා විය හැකිය.


6. අගහරුවාදා සහ සිකුරාදා අටුවෙන් වී ගැනීමත් වී තැබීමත්  නොකළ යුතු ය.


මෙයද අඟහරුවාදා හා සිකුරාදා තහංචි ගණයට වැටෙන කාර්යයක් වී ඇත. මේ දිනවල අටුවෙන් වී ගැනීමෙන් වී ප්‍රමාණය ඉක්මනින් අවසන්වේ යයි විශ්වාස කරති.


7. බදාදා සහ සෙනසුරාදා අලුත් හඳ බැලීම අසුභ ය.


අලුත් හඳ හෙවත් මාසේ පෝය දිනයෙන් පසු මුලින් ම පෙනෙන සඳ බැලීමෙන් එය බලන තැනැත්තාගේ ජීවිතයට යම් බලපෑමක් සිදුවෙතියි යන අදහස ලෝකයේ වෙනත් ජාතීන් අතර ද පවතින  බව පෙනේ. මුස්ලිම් ජනතාව මෙය තදින් විශ්වාස කරන බව පෙනේ.  මේ රටට හඳ බැලීමේ විශ්වාසය පැමිණ ඇත්තේ හින්දුන්ගේ නැකත් විශ්වාසය ඔස්සේ බව කිව හැකි ය. හින්දු සිංහල අලුත්  අවුරුදු උත්සවයේ එක් චාරිත්‍රයක් වන්නේ ද අලුත් හඳ බැලීමයි. කෙසේ වුවත් අපේ රටේ ගැමියන් මුලින් දැක්වූ විශ්වාසය මුල් කරගෙන එය මතක තබා ගැනීම සඳහා කවියක් ද භාවිතා කරන බව පෙනේ. එම කවිය මෙසේ ය.



දුකඳුරු    බදාදා

සඳ නොබලන් සෙනසුරාදා

දුටොත් සඳු     ඉරිදා

ඊට සැපතක් වේය  සඳුදා


එයින් කියැවෙන්නේ බදාදා සහ සෙනසුරාදා සඳ දුටුවොත් සිතේ දුක් අඳුර පැතිරෙන බවත් ඉරිදා සඳ දැකීමෙන් වාසනාව ඉතා ඉක්මනින් ළඟා වන බවත් ය.


8. පැඟිරි දර ළිපට දැමීම අමනුෂ්‍ය බැල්ම වැටීමට හේතුවකි.


පැරණි ගෘහණියෝ ළිපට දර තේරීමේ දී සමහර ගස්වල දර විවිධ හේතූන් නිසා අක්ෂර දමති. සමහර ගස්වල දර හොඳින් නොදැක්වේ. ගැඩුඹ, මුදු කදුරු වැනි ගස්වල දර එම ගණයට අයත් ය. සමහර ඒවා ඉක්මනින් දැවී යයි. ඉඹුල් පුළුන් වැනි ගස් ඒ අතර වෙයි. නා, බෝ, නුග, වැනි ගස්වල දර ළිපට නොදමන්නේ එම ගස් ගෞරවාන්විත ගස් නිසා ය. ඒ අතර පැඟිරි දර හෙවත් දොඩම්, නාරං, දෙහි, ජම්බෝල වැනි ගස්වල දර ළිපට නොදමයි. ඊට හේතුව එම දර දැවෙන විට නිකුත් වන පැඟිරි සුවඳට අමනුෂ්‍යයන් ඇදී එතියි විශ්වාස කරන බැවිනි. එම දර ගන්නේ නොවිල් පවිලට දොල පිදේනි සඳහා කෙරෙන ඉවීම්වලදී පමණ ය.


9. බත් කෑ පිගාන සෝදන විට ශබ්ද ඇතිවන ලෙස මැදීම අසුභ ය.


පිඟාන මෙසේ මැඳීමෙන් අනාගතයේ ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බව කියති. බත් කෑ පිඟාන හැඩවීම පිඟානට කරන නිගාවකි. එම නිගාව ආහාරයට ද කරන නිග්‍රහයකි. මුල් කාලයේ ගැමියන් ආහාර ගත්තේ කොළවල ය. බත් පත වූයේ එබැවිනි.  කෙසෙල් කොළ හෝ පුවක් කොළපු (කොළ පත) මේ සඳහා ගන්නා ලදි. එම කොළවල බත් කෑ විට අන්තිම සිංදුව දක්වා සූරාගෙන නොකයි. ඒවායේ ඉඳුල් මදක් හෝ ඉතිරි කරන්නේ බලා සිටින ප්‍රේත පිසාච ආදී අමනුෂ්‍යයන්ට හෝ සතුන්ට කෑම පිණිස

ය. පිඟන්වල කෑමේදී එබඳු ඉතිරි කිරීමක් සිදු නොවේ. පිඟාන සූරා ශබ්ද නොකළ යුතු ය යන අදහස ඇති වී ඇත්තේ එය සලකාගෙන විය යුතු ය.


10. ගෙදරකින් පිට වී යන විට "යන්නම්” කියනවා වෙනුවට "ගිහින් එන්නම්” යයි කිව යුතු ය.


මෙයින් අදහස් වන්නේ කෙනෙකු ගෙයින් පිට වන විට යන්නම් යයි කීවොත් එම වචනයේ බලය නිසා එම තැනැත්තාට නැවත ආපසු ඒමට නොහැකි වේය යන විශ්වාසයයි. එම යෙදුම තුළින් මරණය ගම්‍ය වෙතියි සිතුවා විය හැකි ය. කියන දේ පතන දේ කිසියම්  ප්‍රමාණයකින් හෝ ඉටු වෙතියි පැරැන්නන්ගේ විශ්වාසයක් ඇත. පෙර කාලයේ ගමනක් පිටත් වී යන තැනැත්තා නැවත පැමිණේ යයි පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි විය. මෙකල මෙන් ගමන් පහසුකම් නොතිබුණු එදා ගමන් ගියේ පයිනි. එසේ ගමන් කරන කළ සොර සතුරු උවදුරු, විසකුරු සර්පයන්ගෙන් වන උවදුරු, රුදුරු වන සතුන්ගෙන් සිදුවන උවදුරු ආදියෙන් මිනිස්සු පීඩාවට පත් වූහ. එපමණක් නොව එම හේතු නිසා මරණයට පවා පත් වූහ. සුළු ලෙඩකින් පවා මරණයෙන් බේරුණේ වාසනාව ඇනියන් පමණ ය. මෙම කරුණු නිසා යන්නම් කීමට බිය විය. එන්නම් කීවේ එබැවිනි.තවත් පැත්තකින් බැලුවොත් එන්නම් කීමේ සුහදතාවක් ද ගැබ්ව ඇති බව පෙනේ. තවදුරටත් සම්බන්ධතා පැවැත්වීමට තමා සුදානම් බව ඉන් ප්‍රකට වෙයි.


 11. දර මිටියක් හෝ එවැනි දෙයක් තුන් තැනකින් බැඳීම අසුභ ය.


 පෙර කාලයේ මළමිති වැළලීමක් හෝ පිළිස්සීමක් නොවූයෙන් අමුසොහොනට ගෙන ගොස් දැමීම සිදු විය. එම අවස්ථාවේ මළ  කඳ පෙට්ටිවල දැමීමක් ද නොවී ය. එම අවස්ථාවේදී කළේ පැදුරක් වැනි දෙයක් ගෙන මිණිය ඔතා තුන් පොළකින් බැඳ ගෙන කැළෑවට ගෙන යාමයි. ඒ අනුව තුන් තැනකින් බැඳීම එම කාටම වෙන් කළ අතර අනෙක් අවස්ථාව හිමි පුස් කිරීම අසුභ ලෙස සලකා ඇත. තුන් තැනකින් බැඳගෙන යන යමක් අමනුෂ්‍යයන් දුටුවොත් එය මළ කඳක් යයි සිතා උන් ඒ පිටුපස අවුත් වින කළ හැකි යයි සිතු බව පෙනේ.


12. කමතේ වී මනින විට අසල සිටින කිසිවකු කතා නොකළ යුතු ය.  එසේ කතා කළොත් මනින වී ගොඩේ වී ප්‍රමාණය අඩු වෙයි කියති. කටහඩේ කිසියම් ගුප්ත බලයක් ඇතැයි යන විශ්වාසය බොහෝ පැරැන්නන් අතර පවතියි. මෙහිදී කියන්නේ කමතේ වී වලට කොහොඹ යකා අරක් ගෙන සිටින බව ය. කටහඩ වැටෙන අතරේ ඌ වී සඟවා ගනිතියි කියති. මේ ආකාරයට කතා නොකළ යුතු තවත් අවස්ථාවක් වන්නේ කැවුම් ඉවීමට තාච්චියට තෙල් දමන අවස්ථාවයි. වී මනින විට කතා නොකරන්නැයි කීමේ තවත් වාසියක් වශයෙන් සැලකිය හැක්කේ යමක් ගණින විට බාහිරව එන කටහඩ නිසා ගණන වැරදී යා හැකි බැවින් ඉන් වැළකීමය.


13. පලදාවක් ගත විට හෝ මනින විට එකේ ඉලක්කම කීම අසුභය.


වී මනින විට මුල් ලාව මැන කියන්නේ ලාභයි කියා ය. පොල් ගෙඩි ගණින විට ද ලෝහයි, දෙකයි, තුනයි ආදී වශයෙන් ගනියි. මෙසේ කරන්නේ මනින හෝ ගණින දේ එසේ ලාභයි කීමෙන් වැඩි වේ යයි විශ්වාස කරන බැවිනි.


14. වැඩක් කරන තැන කෙනෙකුට දෑත හිසට බැඳ ගෙන සිටිම අසුභ ය.


වැඩක් කරන තැනක වැඩට හවුල් නොවී නිකම් බලා සිටීම සුදුසු නැතැයි කීමට මෙම විශ්වාසය ඇතිවූවා විය හැකි ය. හිසේ අත් බැඳගෙන සිටීම හිසේ අමාරුවක් ඇති ලෙඩෙකු ගේ ක්‍රියාවකි. එහි කිසිම සුභ ලක්ෂණයක් නැත..  එසේම අත් ඔසවා හිස පිටිපසට කර බැඳ සිටීම අශෝභන දර්ශනයක් ද වෙයි. මෙසේ සිටීම ස්ත්‍රීන්ගේ කාමුක ඉරියව්වක් ද වෙයි. මේ සියලු කරුණු සලකා මෙබඳු විශ්වාසයක් ඇති වී යයි සැලකිය හැකි ය.