
මිනිසකු තමාගේ වාසස්ථානය කර ගැනීම සඳහා ගෙයක් සාදන් නේ එක් වතාවක් පමණ ය. ඊට වඩා වෙනසක් වන්නේ කලාතුරකිනි. එබැවින් ගෙයක් සෑදීම වූ කලී උපත, මරණය, විවාහය වැනි ජීවිතයේ එක් අවස්ථාවකට සීමා වූ කරුණක් වෙයි. මේ නිසා ගෙයක් සෑදීමේ දී විවිධ විශ්වාසවලට ගරු කිරීම කාගේත් සිරිත ය. ගෙයි සියලු කටයුතු ආරම්භ කරන්නේ නැකත් අනුව ය. . වාස්තු විද්‍යා සම්බන්ධ යෙන් ලියැවුණු පොතපත බොහෝ ය. පෙරදිග මෙන්ම අපරදිගද මේ සම්බන්ධයෙන් පිළි ගැනීම් බොහෝ වෙයි. පුරාණයේ දී සිංහල බසින් ලියැවී ඇති මයි මතය නම් ග්‍රන්ථය ද සකු බසින් ලියැවුණු ශාරිපුත්‍රය, වෛජන්තය ආදී ග්‍රන්ථවලද මේ සම්බන්ධ දීර්ඝ විස්තර එයි. එහෙත් අප මෙහිදී සලකා බලන්නේ ගැමියන් විසින් දැනට විශ්වාස කරනු ලබන අදහස් පමණ ය. එම විශ්වාසවලින් සමහරක් පැරණි ග්‍රන්ථවල එන අදහස්වලට සමාන අතර තවත් ඒවා ගැමියන් විසින් ම නිපදවා ගත් ඒවා ලෙස සැලකිය හැකි ය. ගෙවල් සෑදීමේ දී අවධානයට ලක්වන විශ්වාස මෙසේ දැක්විය හැකි ය.
1.තුංමං හන්දි යාබදව ගෙවල් සෑදීම සුදුසු නැත.
තුංමං හන්දිවල භූතයන් වැනි අමනුෂ්‍යයන් සිටිතියි විශ්වාසයක් පවතී. තොවිල් පවිල් කිරීමෙන් පසු පිදේනි තටු වැනි දේ ගෙන ගොස් දැමීමට යොදා ගන්නේ තුංමං හන්දි ඇති තැන් ය. කිසිම අන්දමකින් වාසනාව උදා නොවන ශුන්‍ය ස්ථානයක් ලෙස මේ ස්ථානය ගැනේ.
2. ගෙයි ප්‍රධාන දොර බස්නාහිර පැත්තට මුහුණ ලා තැබීම අසුභ ය.
බස්නාහිර පැත්ත අසුභ පැත්තක් ලෙස සැලකේ. හිරු බැස යන්නාක් මෙන් ගෙයි ඉසුරු පිරිහි යයි කියති.
3. ගෙයි මුදුන් යටලීය නැගෙනහිර සිට බටහිරට සිටින සේ ගෙයි වහලය සෑදීම අසුභ ය.
මේ ආකාරයට යට ලීය තැබීම ගෙයි ප්‍රධානියාගේ ජීවිතයට අනතුරක් බව පිළිගැනීමයි. මෙසේ යටලීය තැබූ විට හිරු ගමන් කරන්නේ එම යටලීය ඔන්සේ ය. එය සූර්ය දිව්‍ය රාජයාට කරන අගෞරවයක් ලෙස සැලකීම නිසා මෙවැන්නක් ඇති වී යයි කියති.
4. ගෙයි එක කෙළින් දොරවල් තුනක් තැබිම ගෙය පිරිහීමට හේතු වෙයි.
ගෙට ඇතුළුවන භූතාදීන්ට කෙළින් ම ගෙය හරහා යාමට හැකි වීම මෙයින් වන හානිය ලෙස සැලකේ. මෙයින් ගෙයි ඇති රහස්‍යභාවය නැති වී පිට අයට ගේ තුළ ඇති දේ පෙනිය හැකි බවත් එය සොර සතුරන්ට වාසියක් බවත් එබැවින් මෙවැනි විශ්වාසයක් ඇති වී යයි සමහරු කියති. එසේ ම පැරණි අය ඇස්වහ කටවහ ගැන සැලකූ බැවින් ගෙයි ඇති
දේ පිට අයට පෙනීම ඒවා විනාශ වීමට ද හේතු වන බව සැලකුවා විය හැකි ය.
5. ගෙයක කුරුසයක ආකාරයට කැපී යන සේ බිත්ති බැඳීම අසුභ ය.
මෙම විශ්වාසයට මූලික වූ හේතුව පැහැදිලි නැතත් මෙම ක්‍රමයට බිත්ති බැන්ද විට බිත්තිවල ශක්තිය අඩු වීමක් විය හැකි බව පෙනේ. බිත්තියේ විවිධ තැන්වලින් බිත්ති යා වූවොත් එම බිත්ති සවි බවින් වැඩි විය හැකි බව පෙනේ.
6. ගෙයි දිග පළල එක සමාන නොවිය යුතු ය.
මෙසේ දිග පළල සමාන ලෙස ගොඩනැගිලි සාදන්නේ ආගමික ස්ථානයන්හි පමණ යයි විශ්වාසයක් පවතී. පැරණි විහාරගෙය හරි හතරැස් ය. එවැනි ගෙවල් ගිහියන්ට සුදුසු නැති බවත් එසේම සම සතරැස් ගෙය වගතුවක් නැති බවත් කියති. මයි මතය නම් ග්‍රන්ථයේ ගෙයි දිග පළල ගත යුතු ආකාරය දක්වා ඇත්තේ මෙසේ ය. දිගින් රියන් හමාර වූ ගෙයකට පළල තුන් රියන් හමාරක් නොවරදවා ගන්න. ගෙයක දිග සඳහා එකොළොස් රියනක් ගත්තොත් පළල හත් රියන් හමාරක් ගන්න. දිග වැඩි වුණොත් ගෙයි බිරිඳ මිය යයි. පළල වැඩි නම් ගෙහිමියා මැරෙයි. දිග පළල ගැලපේ නම් ආසිරි සැප ලැබෙයි.
7. ගෙයි අත්තිවාරමට සුභ වස්තු දැමීමෙන් ගෙට වාසනාව ලැබේ.
සුහ වස්තු වශයෙන් විවිධ අන්දමේ වස්තූන් ගැනේ. සුදු අබ, සුසාල්, සමන් කැකුළු, ඊතණ, විළඳ යන වස්තුවලට අතිරේකව මැණික්, රන්, රිදී, මුතු වැනි දේ ද යොදා ගනිනි. මෙම කටයුත්ත කරන්නේ ගෙට මගුල් ගල හෙවත් මුල් ගල තබන අවස්ථාවේ දී ය. පැරණි කාලවල මුල් ගල් තැබීමේ උත්සව මහ ඉහළින් පැවැත් වූ බව පුරාවෘතවල එයි. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑයට මුල් ගල් තැබූ උත්සවය මහා වංශයේ හා ථූප වංශයේ දීර්ඝ ලෙස විස්තර කර දක්වා ඇත.
8. නා ගසේ ලී ගෙයි වැඩ සඳහා නොගත යුතු ය.
බෝ, නුගමෙන් ම නා ගස ද පූජනීය වෘක්ෂයක් ලෙස සැලකේ. එවැනි ගස් බුදුවරුන් බුදු වීමට පිට දීමට ද යොදා ගෙන ඇති බව සඳහන් ය. එම වෘක්ෂවල අනිවාර්යයෙන් ම වෘක්ෂ දේවතාවන් වැඩ වාසය කරන බව කියති. ඉඹුල් , දිවුල්, කොළොන්, කොහොඹ, බෝ, කරඳ, නුග, වැටකේ, රඹ යන ගස්වල නවග්‍රහ දෙවිවරු වැඩසිටින බව විශ්වාස කෙරේ. නා ගසේ ලී විහාර කර්මාන්ත සඳහා ගැනීමේ වරදක් නැතැයි කියති.
9. ගෙයක දොර ජනේල් සංඛ්‍යාව ඔත්තේ ගණනක් විය යුතු ය.
ඉරට්ටේ සංඛ්‍යාවට වඩා ඔත්තේ සංඛ්‍යාවේ බලයක් ඇතැයි පෙර පටන් මතයක් තිබී ඇත. පිරිත් තුන් වරුවක් කිව යුතු ය. මන්ත්‍ර ගුරුකම් කරවා ගත් අය ගෙදර තුන් වරුවක් සිටීමට නියමිත ය. තොවිලයට ගන්නේ එක නැට්ටේ දෙහි ගෙඩි තුනකි. පිදිය යුත්තේ තෙරුවන් ය පන්සිල් පද පහකි. තොවිලයට හෝ බෙහෙත්වලට ගන්නේ පස් තෙල් ය. යන්තරය සාදන්නේ පැලෝන්වලිනි. මළ ගිය ඇත්තන් වෙනුවෙන් දන් දෙන්නේ දවස් හතෙනි. නොඑසේ නම් මාස තුනෙනි. දරුවා කුසයේ සිටින්නේ මාස නවයකි. මේ ආදී වශයෙන් අභිචාරී යාතුකර්ම සඳහා නිතරම ඔත්තේ සංඛ්‍යා මුල් කරගෙන ඇති බව පෙනේ. එයින් පෙනෙන්නේ ඔත්තේ සංඛ්‍යාවේ අමුතු බලයක් ඇතැයි සිතූ බවයි.
10. ගෙයි යටලීයේ පුහුල් ගෙඩියක් එල්ලීමෙන් ගෙයි වස් දොස් ඇරේ.
පුහුල් ගෙඩිය අභිචාරී බලයක් ඇති වස්තුවක් ලෙස සැලකේ. ලෙඩාගේ දෝෂය කැපීම සඳහා යකැදුරා සිය පපුව මත තබන ලද පුහුල් ගෙඩිය අනෙකකු ලවා කපවයි. වස් දොස් උරා ගන්නා බලයක් පුහුලට ඇතැයි සලකා ඇත. එසේ සිතන්ට ඇත්තේ පුහුල් ගෙඩියේ ඇති දියර ස්වභාවය නිසා විය යුතු ය. අනෙක් ගෙඩි අතරින් ඉතා ඉක්මනින් වැඩී ලොකු වන ගෙඩියක් වශයෙන් පුහුල ගත හැකිය. එහිද විස්මිත ගතියක් ඇත. ගෙය දෙස බලන අයගේ ඇස් යොමු වන්නේ පුහුල දෙසට ය. එබැවින් ඇස්වහ ඊට උරා ගනියි සිතති.
11. ගෙයි යටලීයට කුරුපා තුනක් තැබීම අසුභ ය.
යමක් තුන් තැනකින් බැඳීම, තුන් තැනකින් එසවීම වැනි කියා සුදුසු නැතැයි විශ්වාසයක් පවතී. මෙය ආරම්භ වූයේ මළ කඳ සුසානයට ගෙන යාමේදී පැරණි කාලයේ තුන් තැනකින් බැඳ ගෙන යාම නිසා ය. මළ කඳ ගෙන යාමේ දී පමණක් සුදුසු එම කාර්යය වෙනත් තැන්වලදී සුදුසු නැති බව විශ්වාස කරන්නට ඇත. යටලීයට කුරුපා තුනක් තැබීම සුදුසු නැතැයි කියන්නට ඇත්තේ ඒ නිසා විය යුතු ය.
12 ගෙයි වහලයේ පරාලවලට ඇණ ගැසීමේදී ගෙහිමියාගේ කට හඩ අල්ලා ගැසීමෙන් ඔහුගේ විනාශය ළගා කළ හැකි ය.
මෙය වඩුවන් ගෙහිමියාගෙන් පළි ගැනීමට කරන දෙයක් ලෙස සැලකේ. ගෙහි හිමියා යමක් කියන විටම වඩුවා පරාලයට ඇණයක් ගැසුවොත් ඔහු වැඩිකල් එම ගෙයි ජීවත් නොවන බව කියති. කට හඩ මුල් කරගෙන මෙවැනි විශ්වාස කීපයක් ම ඇති වී ඇති බව පෙනේ. යම් වැදගත් වැඩක් ආරම්භ කරන විට කවුරුත් නිශ්ශබ්දව සිටිති. වී මණින විට කතා නොකළ යුතුය. තාච්චියට තෙල් දමන විට කතා නොකළ යුතු ය. මන්ත්‍ර මගින් කටහඩ නැවැත්විය හැකිය. දිවගුරු බන්ධනය එවැන්නකි.
13. වහලය සාදා එක් දිනකින් සෙවිලි කර අවසන් කිරීම වඩුවාට අගුණ ය.
කුඩා ගෙයක වුවත් එක් දිනකින් වහලයේ වැඩ අවසන් කර සෙවිලි කිරීමට සමහර වඩුවෝ බිය වෙති. වඩුවාට එයින් වස් වදිනියි කියති. එබැවින් වඩුවන් දිනකින් ගෙයි වහලයේ වැඩ නිමකිරීමට හැකි වුවත් එදින අවසන් නොකර ඊළඟ දිනයටත් කිරීමට වැඩ කල්පයක් හෝ ඉතිරි කරති. වර්තමානයේ ලබා ගැනීමට මෙම විශ්වාසය ඉවහල් කොට ගනිති.
Comments
Post a Comment