gossiplanka image 1
 


1. දරුවකුලැබීමට සිටින ගැබිණියට


දොළදුක නම් ආශාවක් ඇති වේ. ද, දොළදුක ඇතිවන තැනැත්තියෙ විශේෂකෑම කෑමට කැමැත්ක් දක්වයි. මෙම කෑම රස කැවිලිවලට වඩා ඇඹුල් හා කටුක දේ කෙරෙහි යොමු වෙයි. ගෙදර උයන බතට වඩා පිට ගෙදරකින් ගෙනෙන බතට කැමැත්තක් දක්වන බව පෙනේ. විශේෂයෙන් කෙසෙල් කොළයේ බඳින ලද බත් මුල් කෑමට රුචි කරන බව කියති. දරු ගැබ මේරීමේදී අවශ්‍ය වන කැල්සියම් වැනි පදාර්ථ වැඩියෙන් වැය වීම නිසා ඇතිවන අවශ්‍යතාවක්  ලෙස සමහරු දොළදුක හඳුන්වති. තවත් අයගේ මතයක් වන්නේ මෙය ස්වාමියාගේ අවධානය වැඩියෙන් ලබා ගැනීම සඳහා බිරිඳගේ යටි සිතේ ක්‍රියාත්මක වන මනස් ස්වභාවයක් මෙයින් ප්‍රකාශ වන බවයි.


2. දොළදුක ඉටු නොකළොත් ලැබෙන දරුවාගේ කන පැසවයි.


දොළදුක සංසිඳවිය යුතුම දෙයක් බව පෙන්වීම සඳහා නිපදවා ගත් විශ්වාසයක් බව සිතිය හැකි ය.


3. දොළදුක අනුව කැමට ආශා කරන දේ ඉපදීමට සිටින දරුවාගේ ස්වභාවය පෙන්නුම් කරයි.


මෙයට එක් උදාහරණයක් දුටු ගැමුණු පුරාවෘත්තයේ එයි. විහාරමහා දේවියට ඇති වූ දොළදුක් ආශාවක් වූයේ එළාරගේ යෝධයෙකුගේ ගෙල සිඳින ලද කඩුව සේඳු ජලය පානය කිරීමට ය. එයින් ඉපදීමට සිටින තැනැත්තා රණ ශුරයකු බව ප්‍රකට විය. මෙවන් විශ්වාස දැනුදු ගැමියන් අතර ඇත. ගැබිණිය දන්දීම වැනි පිංකම් කිරීමට කැමති නම් උපදින දරුවා පිංවන්තයක් ය. මව කොළ, නිල් වැනි පැහැය ඇති රෙදි ඇඳීමට කැමති නම් දරුවා කලාවට ලැදි ය. ඒ එවැනි විශ්වාස කිපයකි.

 


4. ගැබිණිය සිහිනෙන් නයි දුටුවොත් ඇයට ලැබෙන්නේ ගැහැණු දරුවෙකි.


නයි හීනෙන් දැකීම සම්බන්ධයෙන් පවතින තවත් විශ්වාසයක් වන්නේ ඉන් පිළිසිඳ ගැනීමක් අඟවන බව ය. නයා ලිංගයේ සංක්තයක් ලෙස සමහරු දක්වන්නේ මේ කරුණු මුල් කර ගෙන ය. නයාගේ ශරීරයේ ඇති මටසිලුටු බව හා නම්‍ය ගතිය නිසා කුසයේ සිටින දරුවා ගැහැනු දරුවකු ලෙස සිතුවා විය හැකි ය.


5. ගැබිණිය සිහිනෙන් අලින් දුටුවොත් ඇයට ලැබෙන්නේ පිරිමි ළමයෙකි.


සාමාන්‍ය අයෙකු සිහිනෙන් අලි දුටුවොත් දේව කෝපයක් ලෙස විශ්වාස කරති. එහෙත් ගැබිනියක සිහිනෙන් අලි දුටුවොත් ඉහත කී විශ්වාසය දරයි. අලියා ශක්තිමත් සතෙකු බැවින් කුසයේ සිටින දරුවා ද ශක්තිමත් අයෙකු ලෙස සලකා මෙසේ පිරිමි දරුවකු සම්බන්ධ විශ්වාසය ඇති වූවා විය හැකිය. බෝසත් සිදුහත් උපත සම්බන්ධ කථාව ද මීට බලපා ඇත. මේ අතර ගැබිණිය නොකළ යුතු දේවල් ද ගැමියන් තීරණය කර ඇත. ඒවා මෙසේ ය.


6. ගැබිණියන් කොට්ට උරවල කට මැසීම නොකළ යුතු ය.


උරයේ කට මැසීමෙන් බලාපොරොත්තු වන්නේ එහි ඇතුළේ ඇති දේ පිටට ඒම වැළැක්වීම ය. තමාගේ කුසයේ සිටින දරුවා පහසුවෙන් පිටට ඒම ගැබිණියගේ පැතුමයි. එවැනි අවස්ථාවක ඇය කරන දේ පවා එම පැතුමට අනුකූල විය යුතුය. ද්‍රව්‍යයක පවා පිටට ඒම, අභ්‍යන්තරයෙන් ගැලවී නිදහස් වීම වැනි දේ වැළැක්වීම සුදුසු නැතැයි එදා අදහස් කළා විය හැකි ය.


7. ගෙදර බිරිද ගැබක නම් ගෙවල් සෑදීම ආරම්භ නොකළ යුතු ය.


මෙයද ද්‍රව්‍ය හා ජීවිතය අතර සම්බන්ධයක් ඇතැයි අදහස් කිරීම නිසා ඇති වූවක් ලෙස ගත හැකි ය. ගෙය ස්ථිර එකකි. එහි මුල්ගල් තබා බිත්ති බැඳ වහලයකින් වසයි. විවෘන දේ වැසෙයි. දරුවාගේ බිහිවීමට එය බාධාවක් සේ සැලකුවා විය හැකිය.


8 බිරිඳ ගැබිණියක නම් ස්වාමි පුරුෂයා තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ ගෙයි වහලයේ මුදුන දැමීම නොකළ යුතු ය.


පැරණි පොල් අතු සෙවිලි කළ ගෙවලට තිබුණේ පල දෙකේ වහලයකි. පොල් අතු දිරා ගිය විට ඒවා නැවත සෙවිලි කරයි. එහිදී පොල් අතු බැඳීම ආරම්භ කරන්නේ පලයේ පහළ කොනේ සිට ය. එසේ බැඳගෙන ගොස් පල දෙකේ ම අතු බැඳ අවසන් වූ පසු මුදුනට පොල් අතු තබා වසා කෝටු ගසා සවිමත් කරයි. එවිට ගෙය සම්පූර්ණයෙන් වැසී යයි. එය ද පිටට එන මාර්ගය වසා දැමීමක් ලෙස සලකන බැවින් එබදු විශ්වාසයක් ඇති වූවා විය හැකිය.


9. අංගුලිමාල පිරිත කීමෙන් දරුවා පහසුවෙන් බිහිවෙයි.


වර්තමානයේ මෙන් වෛද්‍ය පහසුකම් නොතිබුණු අතීතයේ ගැබිණියක දරුවකු ප්‍රසූත කිරීම වූ කලී ජීවිතයත් මරණයත් අතර තරගයක් විය. එබඳු අවස්ථාවක කළ හැකි දේ ඉතා ස්වල්පයක් වූ අතර කෙම් පහන් ආදී දෙයින් පහසු ප්‍රසූතියක් ඇති කිරීමට එදා මිනිස්සු උත්සාහ ගත්හ. අංගුලිමාල පිරිත කීම ඉන් එකකි. බුද්ධ චරිතයට සම්බන්ධ අංගුලිමාල කතාවේ එන සිදුවීමක් අනුව මෙම විශ්වාසය ඇති වී ඇති බව පෙනේ. අංගුලිමාල මහණ වූ පසුවත් එම හිමියන්ට මිනිසුන් බිය වූ බවත් එම තත්ත්වය මග හැරවීම සඳහා බුදුන් වහන්සේ අංගුලිමාල හිමියන්ට අංගුලිමාල සූත්‍ර උගන්වා ජනයාගේ සිත දිනා ගැනීමට එය උපයෝගි කර ගන්නා ලෙස දැන්වූ බවත් සඳහන් ය. ඒ අනුව එම හිමියන් මුඪගර්භ වූ ගැබිණියන්ට සුවය ලබා දී ඇත." ප්‍රසූතිය පහසු කර ගැනීම සඳහා කරන අනුකරණ මන්ත්‍ර සම්බන්ධ විස්තරයක් කරන මාර්ටින් වික්‍රමසිංහ මහතා දක්වන විස්තරය වැදගත් ය. ඔහු කියන අන්දමට එම සිදුවීම සිදු වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ ය. යකැදුරා පොල් ගෙඩියක් මතුරා මිදුලේ සිටගෙන ගෙයි එක් දොරටුවකින් විසි කළේ ය. එය අනික් දොරකඩින් පිට වී පිටුපස මිදුලේ වැටිණි. එක් දොරටුවකින් ඇතුළු වූ පොල් ගෙඩිය කිසිවක් නොහැපී දුවගොස් අනික් දොරටුවෙන් පිට වී මිදුලේ වැටීමෙන් වැදීම පහසු වේ.


10. ගැබිණියන් පන්සල් ආදියේ පිළිම ගෙවල්වලට යාම සුදුසු නැත.


මෙවැනි අදහසක් ඇති වී ඇත්තේ පිළිම දැකීමෙන් කුස තුළ සිටින දරවාගේ රූපය එම පිළිමවල රූපාකාරයට සමානව පිහිටීමට ඉඩ ඇතැයි විශ්වාසයක් පවතින බැවිනි. විශේෂයෙන් පිළිම ගෙවල යක්ෂ රූප, වාමන රූප යනාදිය ගැබ්ගත් ස්ත්‍රීන්ට නැරඹීම සුදුසු නැති බව කියති. සමහර මවුවරුන්ට විකෘති දරුවන්  ඉපදී සිටිනු දකින පැරැන්නන් ඊට හේතු සෙවිමේ දී මෙවැන්නක් සිහි වූවා විය හැකි ය. කෙසේ වුවත් මෙම විශ්වාසයේ විද්‍යාත්මක සත්‍යයක් ඇති බව දක්වන සමහරු බටහිර රටවලින් එන වාර්තා ගෙන හැර පාමින් ගැබිණිය නිතර දුටු දේ උපදින දරුවන්ට බලපා ඇති ආකාරය පෙන්වති. ගැබිණිය නිදන කාමරයේ සිතට ප්‍රිය උපදවන චිත්‍ර හා නිරෝගි දරුවන්ගේ පිංතූර එල්ලා තබන ලෙස වෛද්‍යවරු උපදෙස් දෙති.


11. දෙවියන්ට බාර හාර වීමෙන් දරුවන් නැති ස්ත්‍රීන්ට දරුවන් ලබා ගත හැකි ය.


මෙම විශ්වාසය ද ලංකාවේ ඈත අතීතයේ පටන් පැවති බව පෙනේ. කෝට්ටේ යුගයේ දී ලියැවී ඇති සැලළිහිණි සන්දේශය කාව්‍යයේ දරුවන් නැති උලකුඩය දේයට දරුවකු ලබා දෙන ලෙස විභීෂණ දෙවියන්ගෙන් අයැද සිටීමේ පුවතක් සඳහන් වෙයි. අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ද මෙවැනි බාරවීම් සඳහා යන තැනක් වශයෙන් ප්‍රසිද්ධ ය.


12. දරුවකු පිළිසිඳ ගත් වීට ගැබ රැක ගැනීමට දෙවියන්ට බාර විය යුතු ය.


මෙය හින්දු ආගමේ පිළිගැනීමක් අනුව ඇති වූවකි. පැරණි වැදගත් කුමාරවරුන් මවු කුස පිළිසිඳ ගන් සෑම අවස්ථාවලදීම පාහේ ගැබ ආරක්ෂා කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගත් බව පැරණි සාහිත්‍යයේ සඳහන් වේ. කුස ජාතක කාව්‍යයේ කුස කුමාරයා පිළිසිඳ ගත් අවස්ථාවේ ගැබ් පෙරහැර තැබූ බව කියයි.


"දන් දෙමිනි                             නො විතර

කරව් නිසි ලෙසට ගැබ්             පෙරහර''


 කාව්‍යශේඛරයේ සේනක කුමරුන් සඳහා ද ගැබ් පෙරහර තිබු බව කියයි.


 "කී විඳි අඩු                     නොකර

  කළේ නිසි ලෙසට ගැබ් පෙරහර''


වර්තමානයේ ගැබ ආරක්ෂා කිරීම සඳහා මාතර ප්‍රදේශයේ ‘රට යකුම නම් ශාන්ති කර්මය ද බස්නාහිර පළාතේ කළහ තැබීම ද කරති.


13. දරු ප්‍රසූතියේ "වැදු කිල්ල" මාස තුනක් පවතී.


මෙයින් අදහස් වන්නේ දරුවන් ලැබු මව තුන් මසක් යන තුරු සුභ කටයුතු පවත්වන ස්ථාන, රෝගීන් සිටින තැන්, යන්ත්‍ර මන්ත්‍ර කරන තැන් යනාදී ස්ථානවල යාම හෝ එම ස්ථානවලට යන එන අය වැදූ ගෙදරට යාම සුදුසු නැති බව ය. කිලි පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාචාර්ය නන්දසේන රත්නපාලගේ ජනශ්‍රැති විද්‍යාව නම් ග්‍රන්ථයේ එයි."