
මිනිසා වනචාරීව ජීවත් වු යුගයේ පටන්ම පරිසරයේ වාසය කළ සතුන් සමග සම්බන්ධතා පවත්වා ඇත. එම අවස්ථාවල මිනිසා එම සතුන්ගේ හැසිරීම් රටා කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එම හැසිරීම් රටා මගින් කිසියම් අනාවැකි ප්‍රකාශ වෙතියි තීරණය කළ බව පෙනේ. තමන්ට අත් දැකීමට නොහැකි කිසියම් ගුප්ත බලයක් එම සතුන්ට ඇතැයි පැරණි මිනිසා සිනා ඇත. මිනිසාට ඇසෙන්නේත් පෙනෙන් ඔහු ආසන්නයේ එම මොහොතේ සිදු වන දේ පමණ ය. තමන්ට නොඇසෙන දේ ඇසීමේ හා නොපෙනෙන දේ දැකීමේ බලයක් සතුන්ට ඇතැයි සිතීමට තුඩු දුන් කරුණු තිබිණි. මුලින් ම මිනිසාගේ අවධානය යොමු වූයේ තම ගෙදර සිටින සතුන් කෙරෙහි ය. ඉක්බිති ගෙවන්නේ හා අවට පරිසරයේ ජීවත් වන සතුන්ගේ චර්යාවන් දුටුවේ ය. ඊළඟට නිතර හමු නොවන දුර්ලභ සතුන්ගේ හැසිරීම් කෙරෙහි සිත් යොමු විය. මෙතැන් සිට එම එක් එක් සතා සම්බන්ධයෙන් ඇතිකර ගත් විශ්වාසත් ඒවාට පසුබිම් වූ කරුණුත් සොයා බලමු.
හූනා
ගෙදර සිටින සාස්තරකාරයා යන විරුදය පවා ලැබීමට හේතු වූ හුනා තරම් මිනිසුන්ගේ අවධානයට ලක් වූ තවත් සතෙකු නැති තරම් ය. හුනා කෙරෙහි මෙතරම් අවධානයක් ඇති වීමට හේතු වී ඇත්තේ ඌ විශේෂිත සතෙකු හෙයිනි. උගේ විශේෂතා කීපයක් ම ඇත. ඉන් එකක් වන්නේ ඌට වරින් වර තම වර්ණය වෙනස් කර ගත හැකි වීම ය. හුනා සිටින පරිසරය අනුව වර්ණය වෙනස් කර ගන්නේ උගේ ආරක්ෂාව සලසා ගැනීමට බව සත්වවේදීහු පවසති. එහෙත් පැරණි මිනිසුන් සිතා ඇත්තේ හුන් කෙරෙහි ඇති ගුප්ත බලයක් නිසා මෙවැනි අරුම පුදුම දෙයක් කරන බව ය. මෙසේ වර්ණය වෙනස් කරගන්නා දරකැටියන් වැනි සතුන් කැලෑවේ සිටිය ද උන් ගැන මිනිසුන්ගේ අවධානයක් නොතිබිණි. පැරණි මිනිසුන් කල්පනා කළේ හුනා සතියේ එක් එක් දිනවල වර්ණය වෙනස් කර ගන්නා බව ය. විශේෂයෙන් කෙම්මුර දිනවලට විශේෂිත වර්ණ පවා ඔවුහු තීරණය කළහ.
හූනාගේ වෙන විශේෂිත ලක්ෂණය වන්නේ ඌට හදිසි අවස්ථාවලදී සිය වලිගය කඩා දමා පැන යාමේ ශක්තියක් තිබීම ය. සතුරා ඉදිරියේ කඩා දමන වලිගය පණ ඇති සතෙකු ලෙස දඟලයි. සතුරා එය ඩැහැගැනීමට පනිද්දි හුනා දුව ගොස් ගැලවෙයි. ටික දිනකින් කඩා දමූ වලිගය නැවත වැඩේ. මෙය දකින පැරණි මිනිසුන්ට ඇති වූයේ විමයකි. ශරීරයෙන් කොටසක් කඩා දැමීමත් කඩා දැමු කොටස නැවත ලියලීමත් අදහා ගැනීමට නොහැකි සිදුවීමකි. හූනාගේ තෙවැනි විශ්මිත කාර්යය වන්නේ ඌට වහලයේ හෝ - සීලිමේ උඩු අතට යමින් දස්කම් පෑමට හැකි වීම ය. ඌ එවැනි තැනක උඩු අතට දුවන්නේත් කෘමිසතුන් ඩැහැ ගන්නා බිම දුවනවාට වඩා පහසුවෙනි. මෙය අනෙක් සතුන්ට කළ නොහැකි දෙයකි. තමන්ට තෙරුම් ගත නොහැකි මෙවැනි අරුම පුදුම ක්‍රියාවන් හී යෙදෙන හුනා ගුප්ත බලයකින් යුත් සනෙකු ලෙස සැලකීම පුදුමයක් නොවේ. ඒ අනුව පැරැන්නන් ඇති කරගත් අධි විශ්වාස රාශියකි. ඒවායින් කීපයක් මෙසේ ය
1. ගමනක් පිටත් වන අවස්ථාවේ හූනෙකු ඇඬුවොත් හෙවත් චික් චික් ගෑවොත් එම ගමන අසාර්ථක වෙයි.
හුනාගේ හඩෙහි ද විශේෂත්වයක් ඇති බැවින් මෙබඳු විශ්වාසයක් මුල්බැස ගැනීමට හේතු වී ඇත. හුනා මෙන් ජීවත් වන වෙනත් උරග සතුන්ට හුනට මෙන් පැහැදිලි ශබ්දයක් නිකුත් කිරීමට හැකියාවක් නැත. හූනා ශබ්ද කරන්නේ ද සැඟවී සිට ය. මුලින් කී විශ්වාසයට ඒවා ද බලපාන්නට ඇත. ගමනක් යන විට හුනා ඇඩුවොත් ගැමි වැඩිහිටියන් කියන්නේ නාකි ගොනෙකු වතුර බොන තරම් කාලයක් නැවැතී සිට එම ගමන පිටත් වී යාම සුදුසු බව ය. අද මෙන් ගමන් පහසුකම් නොතිබුණු අතීතයේ ගමනක් ගොස් ආපසු ඒම දෙවයට බාර කළ යුතු තරම් අසීරු එකක් විය. වනයේ ඇතා වළහා වැනි සිවුපා සතුන්ගෙන් ද නාග පොළොන් ආදි උරගයන්ගෙන් ද ගමනේ යෙදෙන්නාට කරදර සිදු වේ. එසේම මුදලි මුහන්දිරම් විදානේ වැනි නිලධාරියකු හමු වී දුම්ගැනවිල්ලක් කීමට යන්නේ නම් ඔවුන්ගේ උදහසට ලක් නොවී සිටීම ද වාසනාවකි. මේ අනුව එදා ගමන ගැන අනාවැකි සොයා බැලීම යුතු ම දෙයක් විය.
2. වැඩක් ආරම්භ කරන අවස්ථාවේ හූනෙකු ඇඬුවොත් එම වැඩය අසාර්ථක වෙයි.
යමක් ආරම්භ කිරීමට සුදුසු වේලාවන් හා නුසුදුසු වේලාවන් ඇතැයි ගැමියෝ විශ්වාස කරති. හොඳ වේලාව දන්නේ නැකත් බලන්නාය. එහෙත් හැම වැඩකට ම නැකත් කරුවා සොයා යාමට නො හැකිය. එම අවස්ථාවට පිහිට වන්නේ ගෙදර සිටින හුනා ය. හුනා ඇඩීමෙන් දැනුම් දුන් අසුභ වේලාව මග හැරෙන තුරු ගත කිරීමෙන් එම දසු ල වේ ව දුරු කළ හැකි ය. හුනාගේ ඇඩීම සම්බන්ධයෙන් පැරණි මිනිසුන් කොයි තරම් බැඳි සිටියේ දැයි කීවොත් එක් එක් දිනයේදී හුනාගේ ලක්ෂණත් ඌ ඇසීමෙන් ඇතිවන ප්‍රතිඵලත් විස්තර කෙරෙන හුනු සාස්තරය නම් පොතක් ද ප්‍රචාරයට පත් වී තිබිණි. එහි ඉරිදා සම්බන්ධයෙන් දක්වා ඇති විස්තරය මෙසේ ය.
ඉරිදා දිනයේ හුනා රන්වන් පැහැයෙන් යුක්ත ය. ඌ හැඩුවේ නැගෙනහිරින් නම් රාජ්‍යය හා රජය කරන උතුමන් පිළිබඳ ශුභ අස්නක් අසන්නට ලැබේ. අග්නි දිගින් නම් අනිෂ්ට ආරංචියකි. දකුණු දිගින් නම් සතුටු උපදවන ආරංචියකි. නිරිත දිගින් නම් මළ අස්නකි. බටහිරින් නම් සත් දිනක් ඇතුළත විදේශ ගත වූවෝ ආපසු පැමිණෙති. වයඹ දිගින් නම් ගින්නෙන් බයක් ඇතිවේ. උතුරින් නම් බිරිඳක් ලැබේ. ඊසාන දිගින් නම් ශෝක හා රෝග
ඇති වේ.
3. යම් සාකච්ඡාවකදී තීරණයක් ගන්නා විට හුනෙකු ඇඩුවොත් එම තීරණය වැරදි ය. අනිටු විපාක දෙයි.
හුනා කියු දේ අදහන ගැමියෝ ගත් තීරණය වහා වෙනස් කරති. නැතහොත් එම සාකච්ඡාව නවතා වෙනත් දෙයක් කථා කිරීම සිරිත ය. මඟුල් තුලාවක් ගැන සාකච්ඡා කරමින් සිටියේ නම් එම මඟුල එතැනින් ම අක්ෂර දැමීමට තරම් පියවර ගන්නා අවස්ථා දැකිය හැකි ය.
4. යමෙකුගේ ඇගට හූනෙකු වැටුණොත් එම වැටුණු ස්ථානය අනුව එම තැනැත්තාට අනාගතයේ සුභ හෝ අසුභ අවස්ථා උදා වෙයි.
මෙය ඉතා ප්‍රකට විශ්වාසයකි. දැනුදු අවුරුදු පතා නිකුත් කෙරන ලිත්වල පවා හූනන් ඇඟ වැටීමේ ප්‍රතිඵල දක්වා ඇත. ඒවායේ සඳහන් වන්නේ මෙසේ ය.
හිසේ කලහ. මුහුණේ බන්ධු දර්ශන, නළලේ යස ඉසුරු, ඇස්වල භය, නාසයේ රෝග, උඩු තොල වස්තු විනාශය, යටිතොල වස්තු ලාභ, නිකටේ රාජ භය, කන්වල දීඝායුෂ හා ලාභ, බෙල්ලේ මිතුරන් දැකීම, බාහුවල නිරෝගි බව, වම් මැණික් කටුවේ පීඩා, අල ඉතා අසුහ, පපුවේ ධන ලාභ, නාභියෙහි රන්න ලාහ, වම් ඇලයේ ආයු වර්ධන, දකුණු ඇලයේ විපත්, පිට කොන්දේ ද්‍රව්‍ය විනාශය, පිටේ මහත් ලාභ, ලිංගයේ දිළිඳු වෙයි, යෝනියේ ස්වාමියාට විපත්, ගුදයේ වස්තු හානි, කලවේ පියාට අපල, දෙදන කලහ, කොණ්ඩේ රෝග භය, පාදයේ ලෙඩ දුක්, ශරීරයේ දිව්වේ නම් දීර්ඝායුෂ.
5. කිඹුලෙකු විසින් සපාකනලද කෙනෙකුට වෙදකම් කරන අවස්ථාවේ හූනෙකුට ළං වීමට ඉඩ තැබුවොත් ලෙඩ සුව කළ නොහැකිය.
මෙම විශ්වාසයට හූනාගේත් කිඹුලාගේත් හැඩයේ සමානකම බලපා ඇත. ගැමියන් කියන්නේ කිඹුලාගෙන් බේරී ගිය තැනැත්තාට කිඹුලා “මගෙන් බේරිලා ගියාට මගේ මල්ලි ගෙදර ඉන්නවා. එයාගෙන් එයාට බේරෙන්න බෑ යි කියා කියන බවයි. කිඹුලාගේ මල්ලි හුනා ය. කිඹුලා කෑමෙන් ඇති වූ තුවාලවලට හුනා මුත්‍රා කිරීමෙන් ඒවා සුව වීමෙන් වළක්වන බව ඉන් කියැවේ. එසේ ම තවත් දැක්විය යුතු දෙයක් නම් හුනා මිනිසුන් සමග ජීවත් වුවත් ඌ අහිංසකයකු නොවන බව ය. සමහර අවස්ථාවලදී හුනා මිනිසුන්ව සපා කෑ හැකි බවත් එවිට උගේ මාරාන්තික විස මිනිසාගේ ශරීර ගතවී මිය යා හැකි බවත් කියැවේ. මේ සම්බන්ධ පුවත් පත් වාර්තාවක් මෙසේ ය. හුනා සපා කෑ විසෙන් දෙදරු පියා මරු තුරුලේ. සොරණතොට වාර්තාකරු. හුනු විසෙන් දෙදරු පියෙකු මිය යාමේ පුවතක් ගිරාඳුරු කොට්ටේ අගලයායෙන් වාර්තා වෙයි.
සිද්ධිය වූ දින රාත්‍රී 12.00 ට පමණ අප සියලු දෙනාම නින්දේ ඉන්න විට මිය ගිය ස්වාමි පුරුෂයා මගේ අත කෑවා යයි කියා කෑ ගසුවා. මා අවදි වී කුප්පි ලාම්පුව පත්තු කර බලන විට වලිග කොට කබර හූනෙකු මිය ගිය ස්වාමි පුරුෂයා අසල ඇඳේ සිටියා. ඔහුගේ අතේ සපා කෑ ලකුණක් තිබුණා. අන ඉදිමෙන්න පටන් ගත්තා. පපුව හිරවෙන බව කීවා. රෝහලට ගෙනාවා. එහිදී මිය ගියා. අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.එච්. විජේසේකර මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා තවත් සාක්කි කීපයක් සටහන් කරගත් මරණ පරීක්ෂකවරයා මෙය හුනු විස ශරීර ගත වීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කළේ ය. මෙවැනි අත්දැකීම් ඇති ගැමියන් හූනා විස සහිත සතෙකු ලෙස සිතන්නට ඇත. කිඹුලා කෑ තැනැත්තාට වෙදකම් කරන අවස්ථාවේ ලෙඩාගේ ඇඳට උඩින් වියනක් බැඳ හුනන්ගෙන් ආරක්ෂා කිරිමට අදත් පෙළඹෙන්නේ මේ නිසා විය යුතු ය.
Comments
Post a Comment