
සඳුන් කුමාර, මැණික් බණ්ඩාර, අලුත් නුවර දේවතා බණ්ඩාර, ඌවේ බණ්ඩාර, ඇම්බැක්කේ දේවතා බණ්ඩාර යන නම්වලින් හැඳින්වෙන මෙතුමන් සබරගමු පළාත් ජනයාගේ මහත් ගරු සැලකිල්ලට පාත්‍ර වන්ය. මාවනැල්ල ආශ්‍රිත අලුත් නුවර දේවාලය මෙතුමා පුද සත්කාර ලබන ප්‍රධාන දෙවොලය. කන්ද උඩරට රාජධානියේ විසූ නිලමේවරයකු සේ දැඩිමුණ්ඩ දෙවි රුව නිරූපණය වේ. වේවැලක් හෝ සැරයටියක් සුරතෙහි දරා සිටී. දැඩි වූ සිතක් හා මුසු වූ හිසක් වූ නිසා එම නම ආරූඩ වූ බවත්, තවත් විටෙක මෙතුමා දුන්නක වරපටය (මුණ්ඩය) ඉතා දැඩිව ගැසීමට ශූර ශිල්පියකු වූ නිසාත් මෙය වර නැගුණ බව කියවේ.
දැඩිමුණ්ඩ දෙවි සම්භවය පිළිබඳ කතා පුවත් කීපයකි. එක් පුවතකට අනුව දක්ෂ දුනුවායෙකි, මෙසේ දේවත්වයට, පත්ව ඇත්තේ. මොහු හෙම්මා තගම' ගමට නුදුරු කෙහෙල් පන්නල ග්‍රාමයේ අති දක්ෂ දුනුවායෙකි. ඔහු දිනක් රාත්‍රියේ ‘පිඹුරාගල කඳු මුදුනේ සිටිය දී ඈත වනයේ ගසක වූ පහන් එළියක් දැක එයට හීයක් වින්දේය. පසුදින එම හීය වැටුණ තැන සොයා ගිය ඔහුට වන මැද විශාල සපු ගසක මුදුනේ එය ඇමිණී තිබෙනු පෙනුණේය. සපු ගස අවට අලංකාර පරිසරය දුටු ඔහුට එහි වාසය කිරීමට සිත් විය. ඒ අනුව සපුගස අසල පැලක් තනා පදිංචි විය. අවට වනය කපා භව භෝග වවා ගොවිතැන් බත් කළේය. ගොවිතැන් සරුසාර වන අතර තවත් තරුණයෙක් ඔහු සමග වාසයට එක් වූයේය. තරුණයා ඔහුගෙන් දුනු ශිල්පය හැදෑරීය. දුනු ශිල්පයෙන් දස්කම් පෑ නායක දුනුවායා දැඩිමුණ්ඩ ලෙසින් ගම්මුන් හඳුන්වන්නට විය. එකල රාජ්‍යය විචාළ දඹදෙනි රජුට විරුද්ධව තරුණ පිරිසක් කැරලි ගසන්නට වූ අතර එය මර්දනය කිරීමට දැඩිමුණ්ඩ යෙදවීය. ඔහු ඉතා ශූර
ලෙස කැරැල්ල මැඬ පැවැත්වීය. රජු කැරලිකාර තරුණයින් සියල්ලම මරණයට පත් කිරීමට සූදානම් වුවත් දැඩිමුණ්ඩ එය වළකා තරුණයින්ට අභය දානය ලබා දුනි.
තරුණ ජවය යොදාගෙන දැඩිමුණ්ඩ ඔවුන්ව දෙවනගලට ගෙන ගොස් එතැන් සිට රහලගල දක්වාත්, රාස්සව කද්දේ සිට බතලේ ගල දක්වාත් කැලෑ කපා එළි පෙහෙළි කොට අස්වද්දා ඇළ මාර්ග කපා කුඹුරු කරවීය. තරුණ පිරිසගෙන් වැඩ ගැනීමේ දී ඔහු නිතරම වේවැලක් දරාගෙන සිටියේය. නිකරුණේ කාලය අපතේ යවමින් සිටි කලහකාරි තරුණයින් යොදාගෙන ඔවුන්ගේ ජවය ප්‍රයෝජනවත් ලෙසට රටේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් යෙදවීය. ජනතාවගේත්, ප්‍රධානීන්ගේත් ප්‍රසාදයට ලක් වූ ඔහු මරණින් පසු දේවත්වයට පත් වූයේය, යන්න එක් ජනප්‍රවාදයකි. දැඩිමුණ්ඩ දේවයන් පිළිබඳව එන කතා පුවතකට අනුව මෙතුමා මෙරට මුල් උරුමක්කරුවන් ලෙස සැලකෙන යක්ෂ හා නාග ගෝත්‍ර පරපුර දෙකෙහි අයිතිකරුවෙකි. පූර්ණක' නම් යක්ෂ ස්නාධිපතියට දාව එරන්දතී නම් නාග මානවිකාවන්ගේ කුසයෙන් උපන්නේය. සිදුහත් තවුසාණන් නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක මූලයේ වැඩ වෙසක් පොහෝ දිනයේ කෙමෙන් කෙමෙන් ආධ්‍යාත්මික ඥානයන් ලබා ගන්නා වූ මොහොතේ වසවර්ති මාරයන් දස බිම්බරක් මාර සෙනග සමග පිරිවරා බුද්ධත්වය ලබා ගැනීමට ඉඩ නොදෙමියි සිතා සිදුහත් තවුසාණන් සමග සටනට පිවිසියේය. එවේලේ සිදුහත් තවුසාණන්ගේ ආරක්ෂාවට සිටි දේව සමූහයා බියට පත්ව පලා ගියහ.
මේ බව දුටු යකුන්ට අධිපති වෙසමුණි (කුවේර) දෙවි රජ තම මුණුපුරු වූ දැඩිමුණ්ඩ දෙවිඳු කැඳවා උන්වහන්සේ ආරක්ෂා කරන ලෙස උපදෙස් දුන්නෙන් දැඩිමුණ්ඩ දෙවිඳු නොබියව සුදු වස්ත්‍රයකින් සැරසී රන් දුන්නක් ගෙන සිදුහත් තවුසා අසලම රැදී සිටියේය. පරාජයට පත් වූ වසවර්ති මාරයාගේ මහමෙර පර්වතය මත වූ විමානය ද දැඩිමුණ්ඩ දේවයන් විනාශ කර දැමූ බව කියවේ.
බුදුන් තනිකර ලා
දෙවියන් ගියයි හැරලා
දැඩි දෙවිඳු සිටලා
යුධ කරම් සැල කළේ වැඳලා
ආදී වශයෙන් මේ පුවත ගල කැප්පු සැහැල්ලේ ශෝභමාන ලෙස වර්ණතා වේ. අනතුරුව සිදුහත් තවුසා බුද්ධත්වය ලැබූ පසු උන්වහන්සේට වැඳ සිටිය දී ලක්දිව බුදු සසුන වසර පන්දහස් පන්සියයක් කල් රැකීමට වරම් දුනෙන් දැඩිමුණ්ඩ දෙවිදුන් අවසර ගෙන විෂ්ණු, ස්කන්ධ, වෙසමුණි, ශක්‍ර, මහත් දෙවිවරුන්ගෙන් ද වරම් ලබා ලක්දිවට ඒමට නැව් නැගීය. නොසිතු ලෙස ඇති වූ චණ්ඩ මාරුතයකට හසුව නැව විනාශව ගියේය. දැඩිමුණ්ඩ දෙවියන් සයුර තරණය කොට පළමුව දෙවුන්දරින් මෙරටට ගොඩ බැස්සේය. (දෙවිනුවර) දෙවුන්දරින් සීනි ගමටත්, එතැනින් උග්ගල් නුවරටත් ඉන් දඹදෙණි නුවරටත් ගොස් රාජගිරි ගලෙන් ප්‍රදේශයේ දේව විමනක් කරවා නතර විය. “දැඩිමුණ්ඩවරම' නම් පුස්තකයේ මේ බැව් දැක්වෙන බව කියවේ.
එසේ මෙම දෙවිඳු සතර කෝරළයේ කිරුගන් දෙණියේ ගල්ලෙනට පැමිණ විෂ්ණු දෙවියන් වෙනුවෙන් අලුත් නුවර දෙවොලක් යකුන්ගේ ද සහයෙන් කර වූ බව ජනශ්‍රැතියේ මෙන්ම ගලකැප්පු සැහැල්ලේද සඳහන් වේ.
ගල්ලෙන ආශ්‍රිතව තිබූ විශාල ගල් කුළ කැප්පවීමට නොයෙක් දේශවලින් යකුන් ගෙන්වා ඔවුන්ට නොයෙකුත් කැවිලි පිදේනි ලබා දී වැඩ ගත් බව එතුමන් වෙත කියැවෙන කෝල්මුර කවිවල මෙසේ ඒ.
බන්ගල ගවුඩිස මල්ල රටේ යක්
පොන්නඩි ජාවක මල්ල රටේ යක්
කන්නඩි කවෙරි කවඩි රටේ යක්
සිංහල දේසෙට ගෙන්වා හැම යක්
වඩා කැවුම් සහ කිරිබත් කැට කොට
කුඩා නොකරවි එක දෙක දෙන්නට
විඩාව හැර පුද කරන්න යකු හට
කඩා දමව් ගල අද රෑ සුන්කොට
අහසත් ගුගුරන පන්දු කෙළි නසේ
පොළොවත් මිහිකත කම්ප වන සේ
දෙරණත් දෙදරා සෙණ හඬ විලසේ
බිඳලත් දැමු ගල පන්දු කෙළිනසේ
මෙසේ යකුන්ගෙන් වැඩගෙන එක රැයකින් ගල් කුළ කප්පවා එම ස්ථානයේ විෂ්ණු දෙවොලක් දැඩිමුණ්ඩ විසින් කරවූ බව කියවේ. යක්ෂ හා නාග ගෝත්‍රවල සම්මිශ්‍රණයෙන් උපත් දැඩිමුණ්ඩ දෙවිඳු යක්ෂ උවදුරු වසංගත උවදුරු දුරීන්භූත කරවා අයුක්තියට බැට දෙමින් ධාර්මික ජනයා සුරකී. අලුත් නුවර දේවාලය තැනවීමේ දී ඒ සඳහා නොයෙක් දේශවලින් යකුන් ගෙන්වා ගත් බව දැඩිමුණ්ඩ කන්නලවේ මෙන්ම ගල්කැප්පු සැහැලේ පැහැදිලිව සඳහන්ය. ඒ අනුව වඩිඟ, බත්ගලි මලල, ගවිසිස, කන්නබි, කවුඩි, කාවේරී, එම දේශවනාන්තර සිංහලද්වීපයේ සියලු යකුන් යක්ෂණියන්ට ප්‍රධානව සෙනෙවිරත්න අධිකාරම් තනතුර උසුලන බව දැඩිමුණ්ඩ කන්නලවේ සඳහන් වේ.
දැඩිමුණ්ඩ සම්භවය පිළිබඳව පැතිරි ඇති තවත් කතාවක් ද වේ. විදුර ජාතකයේ එන විදුර පඬිතුමාගෙන් බණක් ඇසීමට නා ලොවින් ආ නා රජු බණ අසා ආපසු එම ලොවට ගිය පසු රජුගේ විමලා නම් නා බිසවට ද බණක් ඇසීමට අවශ්‍යව එය
වෙනත් අයුරකින් ප්‍රකාශ කළාය. ඒ විදුර පඬිගේ හද මස් කෑමේ දොළක් උපන් බව කියයි. විමලා බිසව එය ඉටු කර ගත්තේ තම දුවණිය වූ ‘එරන්දතී කුමරිය ‘පූර්ණක' නම් යක්ෂයෙකුට ලබාදෙන පොරොන්දුව මත ඔහු ලවාය. පොරොන්දුව ඉටු විණි. පූර්ණකට එරන්දතී කුමරිය බිරිඳ විණි. පූර්ණකට දාව උපන් කුමරු දැඩිමුණ්ඩ විය. ලක්දිවට පැමිණි මෙතුමා බලගතු දේවාත්මයක් බවට පත්විය.
Comments
Post a Comment