
යහපත් ශ්‍රවණයක් සඳහා අප තුළ පැහැදිලි අවබෝධයක් පැවතීම අත්‍යවශ්‍ය වේ. නූතන සන්නිවේදනයේදී පණිවිඩයක් ග්‍රාහකයා වෙත ළඟා වීමේදී භෞතික උපකරණවල ඇතිවන බාධා ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනා ගත්තද, එම බාධා නිරාකරණය කර ගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ. එහෙත්, බුදු දහම පිළිගන්නේ පුද්ගලයකුට යමක් ඇසීමේදී හෝ ශ්‍රවණය කිරීමේදී විශාලතම බාධාව එල්ලවන්නේ බාහිර ලෝකයෙන් නොව, තමන්ගේම අභ්‍යන්තරයෙන් පැන නගින ක්ලේශයන්ගෙන් බවයි.
බුදු දහමෙහි දේශිත නීවරණ ධර්ම මිනිසාගේ අවබෝධය ආවරණය කරමින්, යහපත් ශ්‍රවණයට බාධා පමුණුවයි. ඉන් පළමුවැන්න වන කාමච්ඡන්දය හෙවත් පංචකාමයන් පිනවීමේ දැඩි ආශාව, මනස තුළ ගොඩනැගුණු විට තමන් අසන දෙය අවබෝධ කර ගැනීමට එය ප්‍රබල බාධකයක් වේ. ආසාවන් වර්ධනය වන සැමවිටම පුද්ගලයාගේ ඇහුම්කන් දීමේ හැකියාව දුර්වල වන අතර, බුදුරජාණන් වහන්සේ කාම දාහයෙන් පෙළෙන්නන්ට පටිකූල මනසිකාරය වැනි භාවනා ක්‍රම යෝජනා කළේද, එම කාමයන් යම් මට්ටමකට හෝ යටපත් නොකර ශ්‍රවණ ගුණය වර්ධනය කරගත නොහැකි බැවිනි.
ශ්‍රවණයට බාධා කරන දෙවන මානසික සාධකය ව්‍යාපාදයයි. ශ්‍රාවකයාගේ මනස අන්‍යයන් නැසීම, විනාශ කිරීම වැනි ගැටුම්කාරී චෛතසිකවලින් පිරී පවතී නම්, ඔහුට වටිනා කරුණු වුවද අවබෝධ කර ගැනීම දුෂ්කර වෙයි. තෙවන බාධකය වන ථීනමිද්ධය යනු සිතේ සහ සිතිවිලිවල පවතින නිදිමත ස්වභාවයයි. තමන් ඇහුම්කන් දෙන කරුණ කෙරෙහි සිතේ ඇලීමක් නොමැති විට, මනස ඉබේම නිදිබර ස්වභාවයකට පත්වන අතර, එවන් සිතකින් කෙතරම් ඇහුම්කන් දුන්නද එම කරුණු අවබෝධ කරගත නොහැක.
මීළඟ බාධකය වන උද්ධච්ඡ කුක්කුච්ඡය යනු මනසේ පවතින නොසන්සුන්කමයි. ගල් පහරක් වැදුණු අළු ගොඩක් මෙන් හෝ ගෙම්බකු පැනීමෙන් කැළඹුණු විලක් මෙන් වූ නොසන්සුන් මනසකට, අසන දෙය පැහැදිලිව ග්‍රහණය කර ගැනීමට බාධා පැමිණේ. පස්වන කාරණය වන විචිකිච්ඡාව හෙවත් දේශනාව පිළිබඳ සැකයෙන් යුතුව ශ්‍රවණය කිරීමද අවබෝධයට බාධාවකි. ශ්‍රද්ධාවෙන් තොරව, සැකයෙන් පිරුණු මනසකින් ඇහුම්කන් දෙන පුද්ගලයාට තමන් අසන දෙය ධාරණය කර ගැනීම අතිශයින් දුෂ්කර බව බුදු දහමේ පිළිගැනීමයි.
මෙම අභ්‍යන්තර බාධක ජය ගැනීම, ජීවිතාවබෝධය හා ධර්මාවබෝධය සඳහා මෙන්ම, ඕනෑම කරුණක් නිරවුල්ව ග්‍රහණය කර ගැනීමටද ඉවහල් වේ. බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ දැනුම ලැබීමේ ප්‍රධානතම මූලාශ්‍රය වූයේ ශ්‍රවණය කිරීමයි. ගුරුවරයකු වෙත ගොස් හෝ ගුරුවරයා හමුවට පැමිණ ශ්‍රාවකයන් දැනුම ලබා ගත්තේ මෙම ශ්‍රවණය තුළිනි. මහා මංගල සූත්‍රයේදී "කාලේන ධම්ම සවණං" යනුවෙන් සුදුසු කල්හි ධර්ම ශ්‍රවණය කිරීම මංගල කරුණක් ලෙස දේශනා කර ඇත්තේ ද, "බාහුසච්චංච" යන පදයෙන් ත්‍රිපිටක ධර්මය වැනි දෑ පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති 'බහුශ්‍රැත' බවට පත්වීම සිදුවන්නේ ද ශ්‍රවණය තුළින් වන බැවිනි. එබැවින්, නූතන සන්නිවේදකයන් පවා තම පණිවිඩය ශ්‍රාවක කණ්ඩායම වෙත සාර්ථකව ගෙන යාමේදී, මෙම අභ්‍යන්තර මානසික බාධාවන් ජය ගැනීම කෙරෙහි උත්සුක විය යුතුය.
Comments
Post a Comment