gossiplanka image 1
 

දරුවන් සිටින දෙමව්පියන් තම දරුවන් හික්මවීමට ප්‍රථම තමන්ගේ ප්‍රතිපදාවන් පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කළ යුතුය. බුදු දහම තුළ දෙමව්පියන් හඳුන්වන්නේ දරුවාගේ ප්‍රථම ගුරුවරුන් හෙවත් "පුර්වාචාර්යවරුන්" ලෙසිනි. එමෙන්ම, දරුවන්ට මග පෙන්වීමට පෙර 'පළමුව තමන් හික්මිය යුතු' බවද බෞද්ධ ඉගැන්වීමයි. තමන් නිවැරැදිව, අවබෝධයෙන් හා යහපත් ලෙස ජීවත් වන දෙමව්පියන්ට තම දරුවන් හික්මවීමේ කාර්යය ඉතා පහසු වන බව පැහැදිලිය.


ගුරුවරයෙකු ලෙස ආදර්ශවත් වීමේ ඇති වටිනාකම ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් පැහැදිලි වේ. උන්වහන්සේ සිය ශ්‍රාවක ප්‍රජාව හමුවේ අතිශය ආදර්ශසම්පන්නව, සිහියෙන් හා හික්මීමෙන් කටයුතු කළ නිසා, සම්බුද්ධත්වයෙන් පසු පළමු විසි වසර පුරාම කිසිදු විනය නීතියක් පැනවීමකින් තොරව, අනුශාසනාවෙන් පමණක් ශ්‍රාවකයන් හික්මවීමට සමත් වූහ. මින් පෙනී යන්නේ ගුරුවරයාගේ හෝ දෙමව්පියන්ගේ ආදර්ශය, දරුවන් හෝ ශිෂ්‍යයන් යහමග යැවීමට කෙතරම් ප්‍රබලව බලපාන්නේ ද යන්නයි.


දරුවන්ට හුදෙක් 'ඉගැන්වීම' යන සංකල්පය වෙනුවට, ඔවුන් 'හික්මවීම' (සික්ඛති) යන පුළුල් අදහස කෙරෙහි මව්පියන් අවධානය යොමු කළ යුතුය. බුදු දහම මෙම හික්මවීම සඳහා ක්‍රම තුනක් යෝජනා කරයි. ඉන් පළමුවැන්න 'බාහු සච්චංච' හෙවත් බහුශ්‍රැත භාවය ඇති කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ධර්මය මෙන්ම අනෙකුත් විෂයානුබද්ධ දැනුම ද දරුවාට ලබා දීමයි. මේ සඳහා පාසල, දහම් පාසල මෙන්ම අවශ්‍ය නම් පෞද්ගලික ගුරුවරුන්ගේ සහාය ද ලබා ගත හැකිය. විධිමත් අධ්‍යාපනය ලැබීමට මෙන්ම දහම් අධ්‍යාපනය ලැබීමට ද දරුවාට ඇති අයිතිය සුරැකීම දෙමව්පියන්ගේ පරම යුතුකමක් වන අතර, ඔවුන් නිරතුරුව පාසල් හා දහම් පාසල් යැවීම ඒ වෙනුවෙන් කළ යුතු වගකීමකි.


දැනුමෙන් පමණක් දරුවකු පරිපූර්ණ ලෙස හික්මවිය නොහැකි බව බුදු දහමේ පිළිගැනීමයි. දරුවකු වර්ධනය වීමේදී ඇතිවන විවිධ චිත්තවේගයන් කළමනාකරණය කර ගැනීම සඳහා ඔවුන් තුළ විවිධ කුසලතා (සිප්පංච) වර්ධනය කළ යුතුය. උදාහරණයක් ලෙස, ගැහැනු දරුවකුගේ චිත්තවේග පාලනයට මෙන්ම අනාගත වෘත්තීය ජීවිතයට ද උපකාරී වන පරිදි චිත්‍ර, සංගීතය, නැටුම්, මැහුම් ගෙතුම් වැනි කුසලතාවලට යොමු කිරීම දෙමව්පියන්ගේ වගකීමකි. පිරිමි දරුවන්ගේ චිත්තවේග ස්වභාවය වෙනස් බැවින්, ඒවා නිවැරැදිව හඳුනාගෙන, ඊට සරිලන ශිල්පීය කුසලතාවන් සඳහා ඔවුන් යොමු කිරීමෙන් එම චිත්තවේග කළමනාකරණයට සහාය දිය හැකිය.


ඇතැම් දෙමව්පියන්, දරුවන් ක්‍රීඩා හා සෞන්දර්ය විෂයයන්ගෙන් මුළුමනින්ම ඉවත් කර, හුදෙක් අධ්‍යාපන ආයතනවල හෝ ගෘහස්ථ ගුරුවරුන් අබියස රඳවා තැබීමෙන් ඔවුන්ගේ සිතිවිලි පාලනය කළ හැකි යැයි සිතීම මුළුමනින්ම වැරදි ආකල්පයකි. දරුවකුගේ චෛතසික පාලනය සඳහා ආගම දහමෙන් ලැබෙන පිටිවහලට අමතරව, සංගීතය, ගීතය, ක්‍රීඩාව සහ වෙනත් සෞන්දර්යාත්මක අංශයන්ගෙන් ද විශාල උපකාරයක් ලැබේ. දරුවාගේ මනස පාලනය කිරීමේදී මේ සියලු අංශ සමබරව යොදා ගැනීමට දෙමව්පියන් අවබෝධයෙන් කටයුතු කළ යුතු අතර, එහිදී දරුවන්ට ගැළපෙන හා නොගැළපෙන දෑ තෝරා බේරා දීම ද ඔවුන්ගේ වගකීමකි.


හික්මවීමේ තුන්වන කාරණය වන්නේ 'විනයෝ ච සුසික්ඛිතෝ' හෙවත් මනාව පුහුණු කළ විනයයි. මේ සඳහා නිවස තුළ විනයානුකූල වැඩපිළිවෙළක් පැවතීම අත්‍යවශ්‍ය වේ. දෙමව්පියන් අලුයම අවදි නොවන්නේ නම් දරුවන් අවදි කරවීමත්, ඔවුන් නිවස පිරිසිදුව තබා ගැනීමට උනන්දු නොවන්නේ නම් දරුවන් ඊට පුහුණු කිරීමත් දුෂ්කර වනු ඇත. උදෑසන සිට රාත්‍රී නින්ද දක්වා විධිමත් කාල සටහනකට අනුව වැඩ කිරීමට දෙමව්පියන් කැපවිය යුතුය. නිකරුණේ රූපවාහිනිය නැරඹීම, ජංගම දුරකථන ඔස්සේ අනවශ්‍ය සංවාදවල (සල්ලපලාප) යෙදීම වැනි ක්‍රියාවලින් වැළකී, ආහාර ගැනීමේ සිට වන්දනාමාන කිරීම දක්වා මෙන්ම සමාජයේ හැසිරීමේදී පවා විනයක්, ශීලයක් හා හික්මීමක් පවත්වා ගැනීමට දෙමව්පියන් බුද්ධිමත්ව කටයුතු කළ යුතුය.


මංගල සූත්‍රයේ දැක්වෙන පරිදි දැනුම, කුසලතා සහ විනය යන ත්‍රිවිධ අංශ ඔස්සේ දරුවන් හික්මවීමට දෙමව්පියන් ක්‍රියා කළ යුතුය. මෙහිදී අවබෝධ කරගත යුතු තවත් ගැඹුරු කරුණක් නම්, දරුවකුගේ විඤ්ඤාණය මේ භවයේදී පමණක් සැකසුණක් නොවන බවයි. සංසාර චාරිකාවක නියැලෙන දරුවා, අතීත භවයන්ගෙන් රැගෙන එන විඤ්ඤාණයක් සහිතව උපත ලබයි. එම විඤ්ඤාණය තුළ සහජයෙන් ගෙන එන කුසලතා, හැකියාවන් මෙන්ම දුර්වලතා සහ අකුසලයන් ද පැවතිය හැකිය. දරුවා කුඩා කල සිටම සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහජ කුසලතා සහ අකුසලතා හඳුනාගත හැකි අතර, එම කුසලතා ඔප් නැංවීමටත්, දුර්වලතා මැඩ පැවැත්වීමටත් කටයුතු කිරීම හික්මවීමේ ක්‍රියාවලියේදී දෙමව්පියන් සතු සුවිශේෂී වගකීමකි.