
ලංකා ඉතිහාසයේ ප්‍රථම සිංහල රජු ලෙස සැලකෙන්නේ වසර 38 ක් රාජ්‍ය පාලනය කළ විජය රජතුමාය. ඉන්දියාවේ ලාල රට රජ කරවූ සිංහබාහු විජයගේ පියාණන් විය. විජයගෙන් පසු රාජ්‍ය පාලනයට තම සොහොයුරු සුමිත්ත කුමරුගේ මද්දුම පුත්වූ පඬුවස්දෙව් කුමරා ලංකාවට පැමිණියේය. ඒ තවත් කුමාරවරු 35 ක් සමගය. ඒ වන විට උපතිස්ස නමින් වූ අමාත්‍යවරයකු තාවකාලිකව රාජ්‍ය විචාරමින් සිටියේය. පඬුවස්දෙව් කුමරු ක්‍රි. පූ. 504 දී පඬුවස් නුවර රජකම් කළද තමාට ක්ෂත්‍රිය වංශික කුමාරිකාවක සරණ පාවා ගැනීමට නොහැකි වීම නිසා අභිෂේක මංගල්‍යයක් සිදුවූයේ නැත. මේ අතර දඹදිව අමිතෝදන නම් වූ ශාක්‍ය වංශික රජුට දාව උපන් පණ්ඩු ශාක්‍ය රජුන්ගේ එකම දියණිය වූ භද්දකච්චායනා කුමරිය සමග පරිවාර කතුන් 30 දෙනෙක් මුහුදේ සිට ලංකාවේ ගෝණගම පටුන (ත්‍රිකුණාමලය) වෙත පැමිණියහ. අනතුරුව ඔවුන් උපතිස්ස ග්‍රාමයට පිවිස තොරතුරු විචාරා දැන හැඳින ගැනීමෙන් පසු පඬුවස්දෙව් රජ භද්දකච්චායනා කුමරිය ගැන පැහැදී ඇය සරණ පාවාගෙන අභිෂේක මංගල්‍යය සිදුකර තිබේ. පඬුවස්දෙව් රජුන්ගේ අගමෙහෙසිය ලෙස භද්දකච්චායනා කුමරිය පත්වූ වග දැනගත් ඇයගේ මව දියණිය උදෙසා තම පුතුන් සය (06) දෙනාගෙන් උරුවෙල, අනුරාධ, විජිත, දීර්ඝායු සහ රෝහණ යන පස්දෙනා ලංකාවට එව්වාය.
මෙම පස්දෙනා පිළිවෙළින් උරුවෙලාගම, අනුරාධගාම, විජිතගාම, දීඝවාපී හා රෝහණගාම නමින් ජනපද බිහිකර සංවර්ධනයේ නියැලුණාහ. පඬුවස්දෙව් රජුට දාව භද්දකච්චායනා බිසවට පුතුන් දහයක් (10) හා එක් (01) දුවක් සිටියාය. දුව චිත්‍රා නම් වූවාය. ඇගේ ජන්ම පත්‍රය පරික්ෂ කළ ජෝතීර්වේදීහු ඇයට දාව පුතකු උපන් කල ඔහුගෙන් තම මාමාවරුන්ට මරණ තර්ජන එල්ල වන වගක් පැවසූහ. මේ බව දැනගත් චිත්‍රා කුමරියගේ සහෝදරයෝ ඇයට වෛර කර, ජීවිතක්ෂයට පැමිණවීමට කටයුතු කළහ. එහෙත් වැඩිමහල් සොහොයුරා (අභය) ඊට එකඟ නොවී චිත්‍රා කුමරිය විවාහ නොකර සිටීමට කටයුතු සැලැස්වීමෙන් හිරිහැරයක් උදා නොවන වග පැවසීය. සොහොයුරෝ එකී සැලැස්මට එකඟ වූහ. වයස අවුරුදු 16 වන විට චිත්‍රා කුමරිය ඉතා දැකුම්කළු ලස්සන රූසපුවකින් හෙබි යෞවනියක් වූවාය. ඇගේ රූ සපුව දකින ඕනෑම අයකු වශී කෘත වී උන්මාද වන තරමට වෙනස් වන හෙයින් චිත්‍රාට උන්මාද චිත්‍රා නමින් නම පටබැඳුණි. උන්මාද චිත්‍රාට වාසය කිරීමට, එක්ටම් ගෙයක් ඉදිකර රජතුමාගේ යහන් ගැබට එහි ඇතුල්වන දොරටුව යොමුවන ලෙසින් තනා තිබිණි. එසේම ඇගේ ආවතේව කටයුතු වෙනුවෙන් දාසියක යොදවනු ලැබීය. මේ නිසා බාහිර ලෝකය හා වෙනත් කිසිවකු සමග සමීප සබඳතා ඇතිකර ගැනීම චිත්‍රාට අභියෝගයක් විය.
මේ අතර භද්දකච්චායනා කුමරිය සමග පැමිණි දීර්ඝායු කුමරුට දීඝගාමිණී නමින් පුතකු සිටියේය. දීඝගාමිණි හැඩි දැඩි ආරෝහ පරිණාහ දේහයකින් යුත් සුවිශේෂී අයකු වූ අතර සේවය කිරීමට හැකි වූයේද රජවාසල තුළමය. මොහුට දිගු අත්පා තිබීම නිසා දීඝගාමිණී ලෙස නම් තැබිණි. රජ වාසලේ සේවය කරමින් සිටින දිඝගාමිණී වැඩි වශයෙන් අංගනය තුළ සිටීම ප්‍රිය කළේය. හුදෙක් ඒ එක්ටැම් ගෙයි සිටින චිත්‍රා කුමරිය දැකගැනීමට ඇතැම් අවස්ථාවල ඉඩකඩ ලැබීම නිසාය. කුමරියගේ දෙනෙත් නිතර ඔහු හා ගැටිණි. ගොළු බසින් දෙනෙත් හා මුහුණින් ආරෝපිත සෙනෙහස රහස් ආදරයක බීජයක් වූයේය. චිත්‍රා කුමාරිය දීඝගාමිණී ගැන සියලු පුවත්, තතු, තම දාසියගෙන් දැන කියා දෙදෙනා අතර පෙම්පත් හුවමාරුවද ඇය ලවා කෙරිණි.
කාලයාගේ ඇවෑමෙන් ප්‍රේමයෙන් මෝදු වූ චිත්‍රා දීඝගාමිණී සමග පෙම්බස් දෙඩීමට අවස්ථාව උදාකර ගන්නීය. මේ සඳහා කුමරිය දාසියගේ සරණ පැතුවාය. උපායශීලී දාසිය කුමරියගේ කාමරයේ (එක්ටගෙයි) තිබුණු කම්බිදැල් ඉවත්කර දොරටුවක් සකස් කර එකී දොරටුව අවශ්‍ය අවස්ථාවලදී පමණක් විවෘත කිරිමේ අටියෙන් වසා දැම්මේය. එක් අමාවක පෝ දිනක තද අඳුර පවතිද්දී මැදියම් රාත්‍රියේ දීඝගාමිණි කුමරු දාසියගේ උපදෙස් හා සහාය ඇතිව එක්ටැම් ගෙයි කුලුන වෙත ගියේය. කුලුනේ රදවා ඇති කඹය දිගේ ඉහළට නැග යකඩ කම්බි විවරයෙන් ඇතුළුවී කඹය ඉහළට ගෙන විවරය වැසීය. තම ප්‍රේමවන්තයා එනතෙක් පුල පුලා බලා සිටි චිත්‍රාවෝ, ඔහු ඇතුළුවන වග දුටුවාය. හනික කුමරු පිළිගෙන යහන මත වාඩිකරවා ගත්තීය. තොරතුරු විචාරා ප්‍රේමාලිංගනයේ පහස ලබා ගත්තාය. මෙසේ කීපවරක් රහසින් පැමිණ පසුදා පහන්වීමට පෙර එක්ටැම්ගෙයින් නික්මීමට කුමරු සමත් වූයේය.
අවසානයේ කුමරියට කුස තුළ දරු ගැබක් හට ගැනිණි. දරු ගැබ මෝරා එනවිට ඒ බව කුමරිය තම මවට සැලකළාය. ඇය තම ස්වාමියාටද (පඩුවස්දෙව් රජුට) මෙපුවත දන්වා සිටියාය. කෙසේ නමුදු මේ කරුණ කුමරියන්ගේ සහෝදරයන්ටද රහසක් නොවීය. දරුවකු ලැබීමට සිටින චිත්‍රා නැඟණිය මැරීමට ඔවුහු කතිකා කර ගත්හ. පඬුවස් දෙව් රජු තම පුතුන් චිත්‍රාව මැරීමට දරණ ප්‍රයත්නයන් වළකාලීමට නොයෙකුත් උපක්‍රම යොදන ලදී. චිත්‍රාට පුතකු ලැබුණ හොත් පුතා මරණ ලෙසටත් දියණියක් ලැබිණි නම් ඇය ආරක්ෂා කරන ලෙසටත් රජු තම පුතුන්ට දැන්වීය. ඒ අනුව චිත්‍රාගේ මරණය නතර විය. මේ අතර දීඝගාමිණී කුමරුට ඉතා හිතවත්ව සිටි දාසයන් වන චිත්‍ර සහ කාලවේල දෙදෙනා චිත්‍රාගේ සහෝදරයන් විසින් මරණයට පත්කරන ලදුව ඔවුන් යළි යක්ෂ ආත්මයක ඉපිද චිත්‍රා කුමරියගේ කුස තුළ සිටින දරුවා රැකීමට ඉදිරිපත් වූ වගක් සනිටුහන් වේ. (ඒ මහාවංශයට අනුවය)
චිත්‍රා කුමරිය තමාට හිතවත් දාසියක ලවා තමාට දරුවා ලබන දිනයේ, වෙනත් දරුවකු ලැබීමට සිටින තවත් ස්ත්‍රියක හොර රහසේ ගෙන්වා ගත්තාය. මේ දෙදෙනාම එකම දිනකදී දරුවන් දෙදෙනකු ප්‍රසූත කළ අතර චිත්‍රාට ලැබුණ පිරිමි දරුවා යටකී ස්ත්‍රියට තාවකාලිකව බාරදී, ඇය ප්‍රසූත කළ ගැහැනු දැරිය තමා බාරයට ගත්තාය. තම නැගණියට ගැහැනු දැරියක ලැබුණ බව දැනගත් සතුරු සහෝදර පිරිස සතුටට පත්වූහ. චිත්‍රා කුමරියට ලැබුණ දරුවාට තමාට රුචි තම වැඩිමහල් සහෝදරයාගේ නමද (අහය) එකතු කර පණ්ඩුකාභය යනුවෙන් නම් තබන ලදී. දාසියකට මසුරන් දහසක් දී බිළිඳු කුමරු ඇය භාරයට පත්කර, දොරමඬලාගම තම හිතවත් අයකුගේ රැකවරණයට යැවීය. පණ්ඩුකාභය කුමරුගේ උපත හා රැකවරණය යටකී පරිදි සිදුවූ අතර දාසිය ළදරු කුමරු පැසක දමා දොරමඬලාව වෙත කැලෑ පාරකින් යද්දී චිකාගේ මාමාවරුන් එම වනයේ දඩයමේ යෙදී සිටිනු දුටුවාය. පැස හිස තබා ගමන් කරන ස්ත්‍රිය දුටු කුමාරවරු සැක සිතී ඇය නවත්වා ඇගෙන් ප්‍රශ්න කරද්දී පැස බිම තැබීමට ලැහැස්ති වන විටම, ඒ අසලින් යන වල් ඌරන් දෙදෙනකු දැක කුමාරවරු යළි පැස ගැන නොසිතා ඌරන් පසුපස ගියහ.
මේ මොහොතේදී දාසියට ළදරු කුමරු සහිත පැස හනික රැගෙන යෑමට ඉඩකඩ ලැබිණි. (මහාවංශයට අනුව ඌරන් දෙදෙනා කාලවේල සහ චිත්‍ර ලෙස හැඳින්වේ) මේ හේතුව නිසා ප්‍රථම වරට පණ්ඩුකාභය කුමරුගේ ජීවිතය බේරුණේය.දාසිය ළදරු කුමරු දොරමඩලාවට රැගෙන ගොස් කලින් වූ සැලැස්මට අනුව එහි ගම්පතියා හමු වූවාය. ගම්පතිගේ බිරිඳටද එදින පුතෙකු ලැබීයෙන්, මගේ බිරිඳට පුතුන් දෙදෙනකු ලැබීයයි ප්‍රසිද්ධ කර දරුවන් දෙදෙනාම එකට රැකබලා ගැනීමට කටයුතු සම්පාදනය විය. මේ අතර පණ්ඩුකාභය කුමරුට සත් වසක් (07) පිරෙද්දී ඔහුගේ මාමාවරුන්ට තම සහෝදරියට (චිත්‍රාට) පුතෙකු ලැබුණ වග හා ඔහු
දොරමඩලාගම ජීවත්ව සිටින බවට ඔත්තුකරුවන්ගෙන් තොරතුරු දැන ගැනීමට හැකිවිය. රාජ පුරුෂයන් ලවා පණ්ඩුකාභය කුමරු මැරවීමට ඔවුන් කටයුතු කරමින් සිටියදී එක් දිනක තම වයසේ ළමුන් පිරිසක් හා දියනාමින් සිටියදී ඔවුන් ඝාතනයට ලක්කෙරිණි. එහෙත් එදා පණ්ඩුකුමරු දිය යටින් පීනා තම සගයන්ට හොර රහන්සේ නෑබොඩ ගස් බෙනයක සැඟවී සිටියේය.
තම මාමාවරුන් තමා මරන්නට එන වගක් ඔහු නොදත්තේය. එහෙත් දිය අයිනේ වූ නෑබොඩ බෙනයෙන් එළියට විත් බලනවිට තම සගයන් සියල්ලම මරා දැමීම තමාට මහත් දුකක් වූයේය. කුමරුගේ ඇඳුම් දුටු රාජපුරුෂයෝ කුමරුද ජීවිතක්ෂයට පත්වූයේ යැයි සිතා සොම්නසින් ගියහ. පණ්ඩුකාභය කුමරුගේ ජීවිතය බේරුණු දෙවන අවස්ථාව මෙය විය. වයස අවුරුදු 12 ක් පමණ වන විට කුමරු ගොපලු ගමක වාසය සඳහා යැවීය. ඒ ඔහුගේ ආරක්ෂාව උදෙසාය. කුමරු ගොපළු ගමක සිටින වග දැනගත් මාමාවරු රාජ පුරුෂයන් ලවා ගොපලු දරුවන් රැසක් මරණයට පත් කළහ. එහෙත් තෙවෙනි වරටද පණ්ඩුකාභය කුමරාගේ දිවි බේරුණේය.පඬුවස්දෙව් රජුන්ගේ ඇවෑමෙන් පසු (ක්‍රි.පූ. 447) ඔහුගේ වැඩිමහල් පුතු වන අභය කුමරු රාජ්‍යත්වයට පත්වන විට පණඩුකාභය කුමරු 16 වැනි (දහසය) විය පසු කරමින් සිටියේය. චිත්‍රා කුමරියගේ සහ ඇගේ මවගේ අනුදැනුම මත පණ්ඩුකාභය කුමරු පණ්ඩුල ග්‍රාමයේ පණ්ඩුල බ්‍රාහ්මණයාගෙන් වේද, මන්ත්‍ර, මල්ලව පොර, අංගම් පොර ආදී විවිධ කලාවන් හැදෑරීය. කුමරුගේ දේහ ලක්ෂණ බලා පණ්ඩුල බ්‍රාහ්මණයා පුත නුඹ මේ දේශයේ හැත්තෑ වසක් (70) රාජ්‍ය කරන්නේය. මෙහි වැඩිකලක් රාජ්‍ය කරන්නේද ඔබමය. එනිසා ඕනෑකමින් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගෙන දේශාධිපතියකු වන්න යනුවෙන් කීය. එසේම ඔබ රජවූ කළ මගේ පුත්‍රයා වන චන්ද්‍ර නුඹගේ පුරෝහිතයා ලෙස පත්කරගන්නා ලෙසටද ඉල්ලීමක් කළේය.
Comments
Post a Comment