
සිංහලයාගේ සිංහලකම අපූරුවට පිළිඹිබු කරන අපූරු අංගයක් ලෙස ඇඳුම් පැළඳුම් පෙන්වා දිය හැකිය. සිංහල රාජධානියක් ලෙස සැළකිය හැකි උඩරට කඳුකරය ඈත අතීතයේ පටන් ජනාවාසව තිබුණු නමුත් රාජධානියක් වශයෙන් අවධානයට ලක් වී ඇත්තේ 14වන සියවසෙන් පසුවය. මෙම ජනතාවගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව කරුණු සොයා බැලීමේදී මෙය ඉතා වැදගත් වන්නේ දේශීය ඇඳුම් පැළඳුම්වල බලවත් විපර්යාසයක ආරම්භය මහනුවර රාජධානියත් සමගම ඇති වූ බැවිනි. සිංහලයන්ගේ පැරණි ඇඳුම් පැළඳුම් ගැන විග්‍රහයක යෙදෙන මාටින් වික්‍රමසිංහ ශූරින්ගේ මතය වූයේ ශ්‍රී ලාංකිකයන් තම ඇඳුම් පැළඳුම් වශයෙන් භාවිත කළේ ඉතාම අවම ඇඳුමක් බවයි. ඇඳුම් සකස් කරගැනීමේදී වැදගත් වූ සාධක
* දෛනික ජීවිතයේ කටයුතු සඳහා පහසුබව
* දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරය
* පැවති ආර්ථික තත්වයන්ට සරිලන අන්දම දී අදහස් හා ආකල්ප
පැරණි සිංහලයන් කපු කැටීම සහ රෙදි විවීම මුල පටන්ම ප්‍රගුණ කළ බව විජය කුවේණි ජනප්‍රවාදය අනුව පැහැදිලි වේ. නමුත් එදිනෙදා කටයුතුවල පහසුවත් උෂ්ණ දේශගුණය සහ සිංහලයාගේ සංස්කෘතියේ අනන්‍යතාව යන කරුණුවලට ගැළපෙන අයුරින් ඇඳුම් පැළඳුම් ඔවුන් නිර්මාණය කරගත්හ. බොහෝ විට ඔවුන් විසින් අඳිනු ලැබුවේ ඉගටියෙන් පහළ දණින් ඉහළ කොටස පමණක් ආවරණය වන අන්දමේ කෙටි රෙදි කැබැල්ලක් පමණක් බව පොත්පත්වල සඳහන් වේ. රාජකීයයන්ගේ පටන් සාමාන්‍ය මිනිසා දක්වා වූ ස්ත්‍රී පුරුෂ හැමදෙනාගේම ඇඳුම් මූලික වශයෙන් ඔවුන්ගේ සමාජ තත්වය පෙන්නුම් කරන්නක් විය. රෙදිපිළි ඉතා අඩුවෙන් අඳින ලද කාලයේ කුලීන ස්ත්‍රී පුරුෂ සියලු දෙනා වැඩිපුර කය සරසා ගන්නේ ආහරණ වලින්ය. ගෙළවටා පැළඳි මාල මෙන්ම මුතුපොටවලින් උඩුකය සැරසිණි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම කොණ්ඩා වැවීමද එකල සිරිත වූ අතර ස්ත්‍රීහු මල් ආදිය ගවසා ගැනීමෛන් කොණ්ඩය සරසා ගත්හ. පාවහන් පැළඳීමේ සාමාන්‍ය සිරිතක් එකල නොවීය. රජ හා රාජකීයයන් ඒවා පළදින්නට ඇත. එහෙත් විශේෂයෙන් හේන් ගොවිතැන් කරන්නවුන් දෙපයේ ආරක්ෂාව සඳහා වාන් පතුල් නමින් හවලින් කළ පාවහන් වර්ගයක් භාවිත කළ බව සඳහන්ය. මෙසේ පැරණි ඇඳුම් පිළිවෙත වෙනස් වීම් වලට භාජනය වීම සිදුවූයේ උඩරට රාජධානියේ ආරම්භයත් සමගය. වියළි කලාපයේ සිට තෙත් කලාපයට ජනාවාස පැතිරීමත් සමග මෙම වෙනස් වීම් සිදුවීම් දේශගුණික කරුණු අනුව ස්වභාවිකයයි පොත්වල සඳහන් වේ. උඩරට රාජධානියේ ආරම්භයත් සමග මේ රටට බටහිර බලපෑම් උත්සන්න වීම වැදගත් හේතුවක් වූයේ ඇඳුම් පැළඳුම්වල වෙනස්වීම් ඇතිවීමටය. ඇඳුම් පිළිබඳ වෙනස් ආකල්පයක් දැක්වූ බටහිර ජාතීන් නිසා සිංහල ඇඳුම් රටාවේ දැඩි වෙනස්වීම නොවැළැක්විය හැකි එකක් විය. රට මැද හා කන්ද උඩරට ප්‍රදේශවල මෙම ඇඳුම් පැළඳුම්වල සිදු වූ වෙනස්කම් පැතිර යන්නට ඇත.
රොබට් නොක්ස් සඳහන් කර ඇති පරිදි එදා කුලවතුන්ගේ ඇඳුම සුදු හෝ නිල් කපු රෙදිවලින් කළ හැට්ටයක් සමග මැදින් ඇඟට ගෑවෙන සේ සුදු රෙද්දක් ඇන්ද බවයි. ඊට අමතරව ඉණවටා නිල් හෝ රතු පටියක් බැඳි බවත් සඳහන් කරයි. මුල් ඇඳුම නමින් හැඳින් වූ එයට සතර මුළු තොප්පියක්ද අයත් වී ඇත. නමුත් සුළු මුලාදෑනීහු හැට්ට භාවිත කර නැත. තුම්පොට්ටියෙන් හා පටියෙන් ඔවුන්ගේ ඇඳුම සම්පුර්ණ විය. තවදුරටත් නොක්ස්ගේ විස්තරයේ සඳහන් වන්නේ ප්‍රභූන් මෙන්ම ජේත්තුකාර තරුණයන්ද පිට දින්ගේ වැටෙන සේ කෙස් කළඹ දමා තිබූ බවයි. තවද වැඩ පළ කරන විට හෝ ගමනෙහි බිමනෙහි යෙදෙන විට හිස පසු පස කොණ්ඩය බැඳි බවය. පිත්තල, තඹ, රිදී හෝ රන්මුදු පැළදි බවත් නොන්සේ සඳහන් කර ඇත. කුලීන ස්ත්‍රීන්ගේ ඇඳුම පිරිමියෙකුගේ ඇඳුම මෙන් මන්ත්‍රයක් සහිත හැට්ටයකින් ද ඉණ වටා විවිධ ලෙස අඳින ලද රෙද්දකින්ද යුක්ත විය. ඇඳුම් පිළිබඳ නීතිරීතිවලින් ජනතාව බැඳ තබන ලද බවත් පන්ති භේදය අනුව ඇඳුමින් ජන කොටස් හඳුනාගත හැකි වූ බවත් රොබට් නොක්ස් කියා ඇත. තවද ගොවිකුල අයගේ ඇඳුම ගැන සඳහන් කරන ඔහු පිරිමි කෙණ්ඩාවලින් අඩක් වැසෙන
සේද, ගැහැණු විළුඹ තෙද රෙදි අඳිති. ස්ත්‍රීහු රෙද්දෙන් කොනක් උරමත දමා එහි අග කෙළවරින් නොසැලකිලි ලෙස පියවුරු වසා ගනිති යයි පවසා ඇත. හැට්ට ඇඳීමට කරණවෑමි ගැහැණුන්ට මෙන්ම පිරිමින්ට ද නිදහස තිබුණු නමුත් හැට්ට ඇදීමත් දණින් පහළට වැටෙන සේ රෙදි ඇඳීමත් බඩහැල අයට තහනම් වී ඇත. කුලහීනයන්ගේ ඇඳුම් ඉතා ස්වල්පයක් වූ අතර කුලීනයන් හමුවේදී කරේ ඇති රෙදි කඩක අතට ගත යුතුය. හිස් වැසුම් භාවිතයද එකල ප්‍රචලිත සිරිතක් විය. රාජකීය සහ ප්‍රභූ පවුල්වලට අයත් අය සතර මුළු අට මුළු තොප්පි පැළඳි අතර සාමාන්‍ය මිනිසුන් මුකුටය වැනි ඔවුන්ගේ හිස් වැසුමෙන්ද පන්ති අනුව වෙන්කර හදුනාගත හැකිය. මෙම හිස් වැසුමේ මුදුන් පෙති දෙකක් ඇත.
ගොවි කුලයේ අය පළඳිනු ලබන හිස් වැසුම් එකම පාටකි. එනම් සුදු හෝ නිය. පහත් තත්ත්වයට අයත් වූවන්ගේ නම් හිස් වැස්ම සහ පෙති වෙනත් පාටක් ගනියි. මෙහිදී පෙති හැමවිටම රතු පාට බව නොසේ පවසා ඇත. නමුත් ජෝන් ඩේවි සඳහන් කර ඇත්තේ 18 වන සියවසෙන් පසුව මෙවැනි හිස් වැසුම් භාවිත නො වූ බවයි. හිස් වැසුම් ලෙස ලේන්සුවද, බටකොළ හෝ පන් තොප්පියද භාවිත කරන ලද අවස්ථා දැකිය හැකිය. අදත් පැරණි සිංහලයන් මෙම හිස්වැස්ම පළඳිනු අපට දක්නට ලැබේ. නොක්ස් විසින් කාන්තාවගේ ඇඳුම් පැළඳුම් ගැන සඳහන් කර ඇත්තේ මෙවැනි අදහසකි. එනම් ගැහැණු ගෙදරදී තම ඇඳුම ගැන නොසලකති. එහිදී තම වැඩ කටයුතු කිරීම පහසුවන පරිදි අඳිති. එසේ වුවද ඔවුහු සැරසී බැහැර යන විට රතු සහ නිල් නූලෙන් මල් සහ අතු මැසූ සිනිදු සුදු රෙද්දෙහි කළ අත් ඇති කෙටි ගවුමක් වැන්නකින් ඇග වැසෙන සේ අඳිති. අත්වල රිදී වළලු පළඳිති. අතැගිලි සහ පසැගිලි රිදී මුදුවලින් පවතියි. පබළු මාල හෝ පියයුරු දක්වා වැටෙන විසිතුරු ලෙස සාදා කැටයම් වැඩ කොට රත්රන් ගාන ලද මාල පවලම් ගෙල වටා පළඳිති. ගල් අල්ලා රිදියෙන් සෑදූ මනහර කැටයම් වැඩ යෙදු ස්වර්ණාලේප කණාභරණ කන්වල එල්ලෙයි. ඔවුන් ළදරු වියෙහි සිටියදීම කන්විද කන් සිදුරු ලොකු වීමට රෝල් කළ පොස්කොළ තෝඩු යොදනු ලැබේ. මේ නිසා කන් සිදුරු ලොකු වී මුහුණේ දෙපසේ වෘත්ති දෙකක් මෙන් සිටියි. ඔවුහු මෙය අලංකාරයක් මෙන් සලකන නමුදු මගේ විනිශ්චය නම් එය මේ රූප සම්පන්න ස්ත්‍රීන් විෂයෙහි අංග විකෘතියක් බවයි. අත්‍යාලංකාර ලෙස කැටයම් වැඩ යොදා රිදී කෙඳිවලින් සහ තහඩුවලින් සාදන ලද රිදී හවඩි එකක් හෝ දෙකක් ඔවුහු ඉණ වටා පළඳිති. එකක් අනෙක මත කතිර හැඩට සිට දෙපසින් එලෙයි. ඔවුහු ගමන් යන විට බුලත් හපති. ජේත්තුවට කැමති නමුදු ගැහැණු පිරිමි කිසිවෙක් පාවහන් හා මේස් භාවිත නොකරති. ඒවා ආභරණ හෙයින් රජුට පමණක් සීමාව පවතින්නේය යනුවෙන් ප්‍රකාශ කරති. කෙසේ වෙතත් කාලයත් සමග සිංහලයාගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව බලවත් විපර්යාසයක් අද වන විට දක්නට ඇත. උඩරට ස්ත්‍රීන් අතර විශේෂයෙන්ම ඔසරිය සහ ඇඳුම් පැළඳුම් ශේෂ වී තිබීමත් ඒවා රටේ අනෙක් ප්‍රදේශවල භාවිත වීමත් සිදුවී ඇත. එදා මෙන් අද උඩරට ඔසරිය හෝ අනෙක් ඇදුම් පැළඳුම් භාවිතය එක් පන්තියකට හෝ කුලයකට සීමා වී නැත. මෙරට ආර්ථික වශයෙන් ශක්තිය ඇති සෑම ස්ත්‍රියක්ම මේවා භාවිත කරයි. එබැවින් කලින් සුදුපාට හෝ තනිපාටට සීමා වූ මේ ඇඳුම අද වර්ණවත් වී ඇත. තවද පෙර මෙන් ඔසරිය නොසැලකිලිමත් ලෙස දැමූ පොටකින් යුක්තව අඳින්නේ වැඩිහිටි කාන්තාවන්ය. ක්‍රමවත් ලෙස සිහින් පොටක් සේ කිහිපවරක් නමා පිටුපසින් විළුඹ තෙක් වැසෙන සේ පොට දැමීම අද සාමාන්‍ය සිරිත වී ඇත. රෙද්ද හැට්ටය නමින් හැඳින්වෙන ඇඳුම අද පන්තිභේදයකින් තොරව සාමාන්‍ය ගෙදර දොර ඇඳුම බවට පත් වී ඇත. කම්බාය සිංහලයාගේ ඇඳුම් අතරින් ඈත් වෙමින් පවතී. නමුත් කරට උඩින් දමා ගන්නා තුවාය වැඩිහිටි කාන්තාවන් අතර අද පවා ප්‍රයෝජනවත් දෙයකි. මූන කට පිසදා ගැනීමට මෙන්ම සිද්ධස්ථානයකට ගිය අවස්ථාවක වැදීම සඳහා බිම එළා ගැනීමට එය ප්‍රයෝජනවත් විය. පැළඳුම් හෙවත් ආභරණ රාශියක් අතර මුල්තැන හිමි වන්නේ විවිධත්වයකින් යුක්ත වූ කර පළඳුනාවලටය. බොහෝ විට අද වැඩි වටිනාකමකින් යුක්ත බව හඳුන්වන්නේ විවිධ නම්වලින් හඳුන්වෙන උඩරට මාලය, අගස්ති සිරිබෝ, දම්වැල්, පෙති ආදී වූ නම්වලින් අවට පරිසරයේ දක්නට ඇති විවිධ මල් ගෙඩි හා ඇට වලින් සාදන ලද මෙම උඩරට මාල, ආභරණ, මාල පදක්කම් අතර හංස පූට්ටුව විශේෂ තැනක් ගනී. මංගල අවස්ථාවලදී මනමාලිය විසින් පළඳිනු ලබන මාල හත උඩරට ඔසරියට විශේෂ වූ අංගයක් ලෙස සලකනු ලබයි. වළලුද ගෙඩි වළලු, හම්බන්, දම්වැල් වළලු ආදී වශයෙන් විවිධ වේ. එමෙන්ම කණේ පළඳින ආභරණ ද රාශියකි. කොණ්ඩය හැඩ වැඩ කිරිමට කොණ්ඩ කූරු ද ඔසරියට ඔසරි කටුද ඇගිලිවලට මුදු ද දෙපයේ පා මුදු ද ඉණට රිදී හවඩිද භාවිත වේ. හවඩිය අග මනහර තැල්ලක්ද දක්නට ලැබිණ. කාලය සමඟ වෙනස් වෙමින් ඉදිරියට පැමිණ ඇති සිංහලයාගේ ඇඳුම් අතර අද වන විට වැඩි දෙනා යුරෝපීය මෝස්තරවලට නැඹුරු වී ඇත්තේ යටත් විජිතකරණයේ අතුරු බලපෑම් නිසා විය හැකිය ඉතාම පැහැදිලි වෙනසක් දක්නට ඇත්තේ බාලිකාවන්ගේ ඇඳුම්ය. අතීතයේදී ඉණට රෙදි කඩක් පමණක් ඇඳගත් බාලිකාවන් පසුව ඇද්දේ බාග ඔසරිය හෙවත් ළමා සාරිය නමින් හැඳින්වූ නෙරිය සහිත සුදු රෙද්ද සහ උඩුකයට මන්තයක් සහිත සුදු හැට්ටයකි. වර්තමානයේ මෙම ඇඳුම දක්නට ඇත්තේ කලාතුරකිනි. ඒ වෙනුවට ගවුම, සාය, හැට්ට, ටීෂර්ට්, කලිසම් ආදී නවීන ඇදුම් මෝස්තරවලට සිංහලයා හුරුවී ඇත. හිසකෙස් කොණ්ඩයක් සේ බැඳීම වෙනුවට තෙල් ගා ගොතා පිට දිගට දමනු ලබයි. විශේෂයෙන් පාසල්වල නිල ඇඳුම වශයෙන් ගවුම ඇඳීමත් ඊට සරිලන අයුරින් කොණ්ඩය ගෙතීම් සිදුවෙයි. ඈත අතීතයේ සිට පැවති පරිදිම පිරිමින්ගේ ඇඳුම් කාන්තාවන්ගේ තරම් විවිධතාවක් දක්නට නැත. බොහෝ විට ඔවුන්ගේ ගෙදර දොර ඇඳුම වූයේ සරම හෝ කෙටි රෙදි කඩක් පමණි. කමිස හෝ බැනියම් අතීතයේ භාවිත නොවුනද වර්තමානයේ භාවිත වේ. අතීතයේ කුඹුරේ හෝ වතුපිටිවල වැඩ කිරීමේදී රෙදි කඩක් පමණක් ඇඳීමට පුරුදු විය. නමුත් ඔවුන් පසු කලෙක සරුවාලය නමින් කොට කලිසමට සමාන වූ ඇඳුමකට ඇම්බැහි වී ඇත. ගෝනිවලින් මසා ගත් ගෝනි හැට්ටද භාවිත කරන ලදහ. සාක්කු හතරක් සහිත එය විදේශීය ආභාසයක් විය හැකි බව සඳහන් වේ. නමුත් අද ඒ සියල්ල වෙනුවට සරම හෝ කොට කලිසම් භාවිත කරති. මගුල් තුලා අවස්ථාවක කුලීන අය වුවත් වෙනත් හොඳ කුලවල අය වුවත් තම සමාජ තත්ත්ව ය පෙන්නුම් කරන විශේෂ තේජවන්ත පෙනුමක් ලබාදෙන රජ ඇඳුම හෙවත් මුල් ඇඳුම ඇඳීමට යොමුවූහ. යටිකයට රෙද්දක්ද උඩුකයට බොත්තම් යොදා හැඩ වැඩ දැමූ හැට්ටයද, මුළු තොප්පියද මුළු ඇඳුමේ අත්‍යවශ්‍ය අංග විය. එය හැරුණු විට සෝමනයක් හෝ කවණියක් සමග සුදු හැට්ටයක් හෝ සරම සමග පළු බැනියම නම් වූ අත්දිග කමිසය ඇදීම සිරිත විය. අනෙකුත් බොහෝ දෙනා සරමක් ඇඳ සාටකයක් ඒකාංශකොට දමන ඇඳුමක් භාවිත කළහ. බොහෝ විට සරම චන්ද්‍රපට සරමක් වූ බව පොත්වල සඳහන් වේ. සාටකය වශයෙන් බොහෝ දෙනා භාවිත කර ඇත්තේ එවැනි සරය. ගමන් බිමන්වලදී සරමට යටින් තව ඇඳුමක් ඇඳීම ඇතැම් පිරිමින්ගේ සිරිත විය. එය තවත් සරමක් හෝ සරුවාලයක් විය. තවත් අය දණහිස දක්වා සරමක් ඇද ඊට උඩින් සුදු රෙද්දක් ඇද එය නැවත ඔසවා ඉණ වටේ ඔතා ගත්හ. මෙසේ යට ඇඳුමක් ඇදීමෙන් ගමන් බිමන්වලදී උඩ ඇඳුම එසේ ඉණ වටේ ඔතා ගෙන හෝ කැසපට කවාගෙන කිලිටි නොවී ආරක්ෂා කර ගනියි. එපමණක්ම නොව ගමන් අන්තයේදී උඩ ඇඳුම ගලවා තබා විවේකය සඳහා යට ඇඳුම පමණක් භාවිත කිරීම ඇතැමුන්ගේ සිරිත විය. චන්ද්‍රපට සරම ඒකාංශකොට දමාගනු ලැබුවේ වැඩිහිටි අය විසිනි. ඔවුන් ඔළුවේ සුම්බරයක් ද ( පට ලේන්සුවක් ) ගැට ගසා ගත් අතර, ඉණට රිදී හවඩි බැඳ ගත්හ. තුවාය බොහෝ විට මෙහි අනිවාර්ය අංගයක් විය. මෙසේ වූ සිංහලයාගේ පිරිමි ඇඳුම කාලයත් සමඟ සීඝ්‍ර වෙනසකට භාජනය විය. ඉහත සඳහන් කළ ඇඳුම් භාවිතය අද වන විට අභාවයට ගොස් ඇත. වර්තමානයේද පැරණි ඇඳුම් අතරින් තවමත් ඉතිරිව ඇ ත්තේ සරම පමණකි. මගුල් තුලාවලට සහභාගි වන්නන් අතර රජ ඇඳුම් ඇඳීම අඩු වුවත් මනාලයා රජ ඇඳුම අඳිනු දක්නට ලැබේ. සරම හා කෝට් කබාය ඇඳීම ද ක්‍රමයෙන් අභාවයට යමින් පවතී. ඒ වෙනුවට යුරෝපීය ඇඳුම් ජනප්‍රිය වෙමින් පවති. සිංහල ගැහැණු පිරිමි කවුරුත් අද විවිධ වූ ඇඳුම් පැළඳුම්වලට හුරුවී සිටිනු දැකිය හැකිය. අතීතයේ පුද්ගලයෙකු සතු වූ ඇඳුම් පැළඳුම් ප්‍රමාණය විශාල නොවූවත් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් භාවිතය සුලභව දක්නට ලැබුණි. ඇඳුම් පැළඳුම් ප්‍රමාණය අඩු වුවද එදා පැවති සිරිත් විරිත් අනුව අවශ්‍යතා හා උවමනා පිරිමසා ගැනීමට එය බාධාවක් නොවීය. ඒ එකිනෙකා හුවමාරු කරගෙන ඇඳුම් ඇඳීමේ සිරිත නිසාය. අන්‍යෝන්‍ය සහයෝගය මත ගොඩනැගුණු එදා සමාජය එසේ එකිනෙකාගෙන් ඉල්ලා ගැනීම හුවමාරු කිරීම මදිකමක් කොට නොසැලකූහ. නමුත් වර්තමානයේ එසේ කෙනෙකුගෙන් ණයට ඉල්ලාගෙන නොඅඳිති. එම නිසා වරතමානයේ සිටින්නන් තමන්ට අවශ්‍ය ඇඳුම් රැස්කර තබා ගනිති. .
Comments
Post a Comment