කොටියාහේන
ඒ සංදියේ ඒ සාවියේ ඇත්තේ කවුරුත් පාහේ කළේ හේන් කෙටිල්ලයි. හේන් කොටාගන්න එක සියලු දෙනා සාමූහිකව කළේ නැත්නම් හේන් රකින්ට බෑ. වන සිවුපාවුන් කඩා වදිනවා නොවැ. මේ හින්දා ඒ සාවියේ උදවිය හේන් කොටුවේ සාමූහිකව. මං ඔය කාලේ හේන් කෙටීම හරි ම නැකතට කළේ. නිසි නිවැරැදි කරණ බෙදලා නැකත් අනුව තමා ඇට ඇට ජාති වැපිරුවේ. නැකතට වැට හිටෙව්වහම වනසතුන්ගෙන් ආලපාළු ඇති වෙන්නේ නැහැ නොවැ. මං වැඩේ කියන්නේ මේ සාවියේ හේන්කරේට කොටි හපුවෙක් පුරුදු වුණා. කොටියා එනවා පැල්වලට ඇවිත් හිටිං ගිනි රක්සනට පැල ලගිනවා. එහෙම ලැගලා හිතං හිමිහිට මේ කොටියා මිනිස්සු ගැවසෙහිං මග ඇරලා යනවා. දොහක් ආවා අප්පා - පුතාලා බානක් පැල් රකින්න. පුතා දැක්කා කොටිහපුවා පැලේ ඉන්නවා. මහ හයියෙන් බෙරිහන් දුන්නා කොටියා හෙන්නේ කියලා. හේන් රකින්ට හැන්දෑවේ ආපු කෙනෙක් ඇත්තේ මහ හයියෙන් මොර දුන්නා. කොටියා හේනේ කියලා. ඕං, බලමුකෝ එතැන් හිටන් ඒ සාවියට කියන්ට ගත්තා කොටියා හේනේ කියලා. කොටියා හේනේ කියන එක කාලයක් යද්දි ඩිංග ඩිංග බැහැර වුණේ කොටියාහේන කියලා නොවැ.
හක්වටුනාව
ඔය අම්බෝ රජතුමා උන්නානේ. උන්නැහේ පුරසිද්ධ වුණේ වැව් අමුණු මහාරාශියක් ඉදිකරපු හින්දයි. සේනාව එක්කලා වන වදිනවා. වනය පුරා ඇවිදන් යද්දි ඇළ දොළවල් හමුවෙනවා. වන විල්ලු හමුවෙනවා. එං එවිට භූමි ලක්ෂණ බලලා වැව් තනනවා. මෙහෙම යද්දි දොහක් හරි ඇබැද්දියක් වෙච්චි. මන්ද කියනවා නම්, අම්බෝ රජතුමා යන යන තැන හක් බෙලෙක් අරගෙන ගියා. රජතුමා බොහෝ මනාප මේ හබෙල්ලා බාරකරලා තිබ්බේ මහ ඇමතිටයි. මං වැඩේ කියන්නේ කාණ්ඩය වන පෙතක ඇවිදින්ට ගියා. ගියා තමයි. හරි ම ඇබැදියන් වුණේ. එතැන ඒ කැලෑවේ පුදුම ලස්සන දිය පාරක් ගලායමින් තිබ්බා. කොටින් ම ඒ තැන තිබ්බේ කුඩා ඔයක් - මේ ඔය ලස්සන හින්දා ම එතන නතරවෙලා කාණ්ඩය වටපිට විමසලා බැලුවා. රජතුමා මහා ඇමැතිට කියා හිටියා හක් පිඹලා මේ සතුට පළ කරමු කියලා. මහ ඇමැති හක් පිඹලා ගලක් මතු පිට හම්බෙලා තිබ්බා. හක්බෙල්ලා පහළට රූටලා ගියා. වැටුණා පහළ වතුරට. එතැන් සිටන් හේවා - හෙට්ටි - හෙව්වා - හක් බෙල්ලා නෑ. රජතුමා අණ කළා ඒ කුඩා ඔය හරස් කරලා වේල්ලක් බඳින්ට. අම්බෝ රජතුමාගේ හබෙල්ලා වැටුණු තැන හින්දා මං ඒ වේල්ලට මිනිස්සු කියන්න ගත්තා හක්වටුණාව කියලා. හැබැයි ඒ සාවියට දැන් කියා සිටින්නේ හක්වටුණාව කියලයි.
හොරගොඩ
කිව්වහම ආයේ ඔය හොරගොඩ ගම්මානේ පිහිටලා තියෙන්නේ සීතාවක යි. පළාත කඳු පල්ලම් තියෙන සාවියක්. ඒ වගේමයි. වැඩිමනත් බිම් කඩවල් තියෙන්නේ ජලාශ හැටියටයි. හැල් ඉඩම් කියන නම පටබැඳුණෙත් ඒකයි. හැල කියන්නේ පල්ලම කියන අරුතින්. ඒ වගේම හැල් ඉඩම් මඩ ගොහොරුවක්.මේ හැල් ඉඩම් ගොඩකරලා සීතාවක රාජධානිය සශ්‍රීක කිරීමට සීතාවක රජතුමා කටයුතු කළා. කළා ද කියන්නේ ඒක හරි ම අමාරු කාරියක් වුණා. රජතුමා අලි - ඇත්තු ගෙන්නුවා තොග පිටින්. ගෙන්නලා හැල් ඉඩම් ගොඩ කරන්ට උවමනා අනෙකුත් කලපන්න හොයලා දුන්නා. මේ හැල් ඉඩම්වල තියෙන මඩ ජොල්ල හන්දා මොන ලී වර්ගයක් දැම්මත් බෑ ඒවා දිරාපත් වෙනවා. ඒකට හරි ගියේ හොර ලී විතරයි. හොර කොරං හිටවපුහම දිරන්නේ නැහැ. හොර ගස් කපා ගෙනවිත් එක සාවියක ගොඩ කළා. මේ හැටියට හොරකොචං මහා ගොඩක් ගොඩ වුණා. ඕං එතැන් පටන් මිනිස්සු ඒ සාවියට කියන්ට ගත්තා හොර කොට ගොඩ කියලා. හැබැයි බැහැර වෙද්දි ඒක නිකම් ම හොරගොඩ වුණා නොවැ.
හේවාවිස්ස
පොරණ රජ කාලේ රට ආරස්සා කිරීම පැවරිලා තිබ්බේ හේවායන්ටයි. හේවායෝ වර්ග කීපයක් ම උන්නා. ඒ කිව්වේ ගොවිතැන්බත් කරන ඇත්තෝ කවුරුත් යුද්දෙට ගියා. ඒත් එක හේවා කාණ්ඩයක්. තව කාණ්ඩයක් උන්නා. රාජ්‍ය සේවයට බැඳිලා හැමදා ම හේවාකම් කළා. මේ ඇත්තන්ට පඩිනඩි දුන්නේ රාජකීය භාණ්ඩාගාරෙන්. තවත්, ඇත්තෝ කාණ්ඩයක් උන්නා. ඒ වෙල්ලක්කාර ඇත්තේ. ආවේ පිටරටවලින් කියලත් කියනවා. පඩි නඩියට රජතුමාට සේවාව කරනවා මේ පිරිස. මෙන්න මෙහෙම ආවා එක රජ කාලෙක වෙල්ලක්කාර හේවායෝ කාණ්ඩයක් එක පළාතකට. මේ භට කාණ්ඩයේ හිටියේ හේවායෝ හරියට ම විස්සයි. හේවායෝ කළේ ඒ මුරප්පොළේ මුර කරන එකයි. මේ හේවායෝ විසිදෙනා මුර කරන අතර උයා පිහා ගෙන කෑවා. ගමේ ඇත්තෝ කා එක්කවත් කථාබහ නෑ. ඇයි ද දන්නවා ද සිංහල හරිහැටියට බෑ. මෙහෙම හින්දා හේවායෝ විසිදෙනා නාන්ට ගියේ එකට. හේවාකං කළේ එකට. ආහාර පාන ගතෙත් එකට. හේවායෝ විසිදෙනා කොයිම කටයුත්තක් කළොත් කළේ එක රෑනක් වගේ. මේ හින්දත් ඒ කණ්ඩායමට කියන්ට ගත්තා හේවායෝ විස්ස කියලා. ඒ නම ඩිංග ඩිංග ජනවහරට එකතු වුණා. හේවායෝ විසි දෙනා උන්න පළාත ඔහොමයි හේවාවිස්ස බවට පත් වුණේ.
හෙටිටිපොළ
හෙට්ටියෝකියලා කියන්නේඉන්දියාවෙන් ආපු වෙළෙන්දෝ කාණ්ඩයක්. වෙළෙන්දෝ කිවාට මේ හෙට්ටියාර්වරු කළේ සල්ලි ණයට පොලියට දුන්නු එකයි. සල්ලි විතරක් නෙමේ වෙළෙඳාම් කරන ඇත්තන්ට උවමනා කොයිදේත් හොයලා දුන්නා. රිදී රත්තරන් භාණ්ඩ ණය හිලව්වට තියා ගන්නවා. මෙහෙම කාසි පණම් ණය තුරහට දෙන හෙට්ටියාර්වරු ඇද්දේ පැලැද්දේ පවා ඒ ඇත්තන්ට හුරු විදියටයි. කදාර් රෙද්දක් ඇන්දා. උඩට හරිහමන් වස්තරයක් නෑ. නළල පුරා තුන්පුර් ගා ගෙන උන්නේ.මේ හෙට්ටියාර්වරු ලංකාවේ ඒ ඒ පළාත්වලට ගිහිං වෙළෙඳාම් කළා. නගරවලට කඩමණ්ඩිවලට යනවා ගිහිං හිතං ඒ පළාත්වල වෙළෙන්දක්කාර ඇත්තන්ට උවමනා මුදල් හදල් දෙනවා. ඒවායෙන් හරිහරියට ලාභ ලබා ගත්තා. කොටින් ම කියනවා නම් මේ හෙට්ටිවරු කියන්නේ ඇවිදින බැකුවක් වාගේ උදවිය. ඒ හින්දා ම අපේ වෙළෙඳුන් පවා හරි හරියට ගරු සරු කළා. ඔහොම හෙට්ටින් මුදල් වෙළඳන් කරන කාලේ එක මණ්ඩියකට ආවා. ඒ කඩමණ්ඩියේ එදා පොළ දවස. මේ නිසා පොළට එන වෙළෙන්දන්ට සල්ලි අතමාරුගන්ට හැකි වුණා. කාලයක් යද්දි ඒක හුරුකමක් වුණා පොළට එන වෙළෙන්දන්ට.
ඕං ටික කාලයක් යනකොට මේ හැටියට හෙටින් එන පොළ නිකම් ම හෙටිපොළ බවට පත් වුණා. ඒ නම අදටත් බැහැර වෙනවා නොවැ.
Comments
Post a Comment