වරද්දන
කිව්වහම ආයේ ඔය රාසිං රජතුමාට පුදුම තරම් පුරුතුගිරිසි කාරයින්ගේ එදිරිවාදිකම් තිබ්බනේ. කොයියම් ම මොහොතක හරි රාසිං රජු අල්ලා ගන්ට පුරුතුගිරිසීන් මාන බැලුවා. පොච්චියේ කියන්නේ එක දොහක් පුරුතුගිරිසි හේවා පනෙකට අපේ රාසිං රජ්ජුරුවෝ කොටු වුණා නොවැ. කොටු වුණා ද අහනවා - රජතුමා වහ වහා පලායන්ට වුණා. ඒකට පුරුතුගිරිසියා අත් ඇරියෙ නෑ. උන්ගේ කොණ්ඩය වැඩි හන්දා රජතුමා පස්සෙන් පන්නන්ට ගත්තා. ඔහොම දුවලා - දුවලා ගියේ ඇළ - දොළ කඳුවැටි බඩවැඩි උඩින් - මෙහෙම දුවන කොට හති වැටිලා රජතුමාට වෙහෙස දැනුණා. රජතුමා දැක්කා දුවන වංගියේ එක දුප්පත් ගෙයක්. වැදුණා ඒ ගෙට. ඒ ගෙයි හිමියා ඇඳින්නා මේ කව්ද කියලා. රජතුමාට සැපැක්වෙන්ට තියෙන හැටියට කාරණ සූදානම් කළා තමුන්ගේ ගෙයි ඇතුළේ. රජු ගිය අඩි පාර දිගේ ආ පුරුතුගිරිසි හේවා පන්නය ඉල්ලා හිටියා රජතුමා දෙන්ටය කියලා. ඒ ගෙදර මිනිහා කියා හිටියා දෙඤ්ඤං හැබැයි ඇහැරුණාට පන්සේ කියලා. ඒකට පුරුතුගිරිසින් මනාප වුණා. ඊට පස්සේ මේ ගේ හිමියා කිතුල් රා වඩියක් ගෙනල්ලා පුරුතුගිරිසින්ට සංග්‍රහ කළා. රා බීලා මත්වුණාට පස්සේ ගමේ ඇත්තන්ට කියලා පුරුතුගිරිසින් සියලු දෙනාම ගස් බැන්දා. වරමදුවලින්.රජතුමා බේරුණා. පුරුතුගිරිසින්ට වැරදුණා. රජතුමා පුරුතුගිරිසින්ට බැණ වැදිලා ආවුද අරං එළෝ ගත්තා. තොපි අද වරද්දා ගත්තා කියලා. රජතුමා වරද්දා ගත්තා කියූ ගම අර මිනිහාට නින්දගමක්කරලා පවරා දුන්නා.ඒ ගමේ නම එතැන් සිටන් වරද්දන වුණා කියලයි කියා හිටින්නේ ඕං.
උණවටුන
ආයේ කිව්වහම රාම - රාවණ යුද්දේ කව්රුනම් නොදන්නවැයි. පොච්චියේ එහෙම යුද්ධයක්. හටන් කරා ඒ හටන වාගේ හටනක්. මේ ලංකාවේ සිද්ධ වෙලා නෑ කියලා නොවැ කියන්නේ. රාවණක් ලේසියෙන් යුද්ධය අත්හැරියේ නෑ. සපිරිවර කැටුව ආවා. ඒකට අපේ බළසේනාවනුත් හරි හරියට සම්බන්ධ වුණා.දැන් රාම - රාවණා හටන ඇවිළෙනවා කියමුකෝ. ඒ හටන් කළේ පිළිගත්ත යුද්ධ ශිල්ප අනුව. කඩුවට - කඩුව, තෝමරයට - තෝමරය - රජාට රජා නොවැ. ඕ වැඩේ කියන්නේ රාවණ රජුගේ පුත්තර රත්නය - ඉන්ද්‍රජිත් විද්දා ඊයකින්. වැදුණා රාමගේ මලනු ලක්මණට. දැන් ලමණ කම්බස් වෙන්ටයි යනේ, එං ඒ වංගියේ හනුමන්තා පැන්නා ඉන්දියාවට. ගිහිං හිතං හිමාල පර්වතේ වන ඖෂධ සාවියක් කැටිකරන් ආවා. එහෙම හිමාලයෙන් පදාසයක් ගෙනාවේ ගේන්ට කිව්ව බේත් ඖෂධය අමතක වුණු හන්දන්. එහෙම ඇන්න එද්දි අපේ ගාල්ල,ඉසව්වෙන් යද්දි කැබැල්ලක් උණා වැටුණා. හනුමා ගෙනා හිමාලයෙන් කොටහක් උණා වැටුණු තැන දැකලා ඈ කොටහක් උණා වැටුණා කිවා. ඒක ඇහිච්ච දවසේ සිටං ඒ සාවියට කියන්ට ගත්තා උණා වැටුණා ය කියලා. හැබැයි ඒක බැහැර වුණේ උණවටුන කියලා නොවැ.
එක්නැළිගොඩ
මැණික් හම්බ වෙන්නේ පොළොවෙන් බව හැබැයි. ඒ වුණාට පොළොව මතුපිට මැණික් කැට නැහැ. ඉඳ හිටලා ඇළක් - දොළක් අද්දරක තියෙන්ට පුළුවන්. ඒ වුණාට මැණික් තියෙන්නේ මහ පොළෝ ගැබ යටයි. මේ නිසා මැණික් ඉල්ලම් හොයන්නෝ පතල් කපන්ට හුරුවුණා. මැණික් බහුල නිසා රත්නපුරය කියන නමක් පවා පටබැඳිලා තියෙන බව ඔය ඇත්තේ කවුරුත් දන්නවා නොවැ.ඔය, රත්නපුරයට කිට්ටුව තමයි මේ ගමට නම පටබැඳෙන සිද්ධිය වුණේ. ඒ පළාතෙන් මැණික් බහුලව තියෙනවා. හැබැයි පතල් කැණලා තමයි මැණික් ගරා ගත්තේ. පොච්චියේ වැඩේ කියන්නේ මං එක දොහක් හරි වැඩක් වුණා නොවැ. එක ගෙයක් අද්දර මිදුලේ මේ මැණික් පහළ වෙලා. ආයේ, බොරුවක් නෙමේ - සත්තයි - මැණික් පිරිලා පොළොව මතුපිට. ගෙදර ඇත්තේ නැළියකට මැණික් කැට අහුලා ගත්තා. මැණික් නැළිය පිරිලා තිබ්බා. ඒ ආරංචියට තව පිරිස් ඇවිල්ලා මැණික් බැලුවත් නෑ. තිබේ එක් නැළියක් ගොඩට පිරෙන්ට මැණික් කැට විතරයි. එක් නැළියක් ගොඩ පිරෙන්ට මැණික් හම්බ වුණු හන්දා ඕ ඒ සාවිය එතැන් පටන් “එක් නැළි ගොඩ” කියලා කියන්ට හුරු වුණා. ඒ නම ඒ කිව්වේ එන්නැළිගොඩ නාමය තමයි අදත් ඒ පළාතට කියන්නේ.
කොළමැදිරිය
ඒ පළාත භාරව උන්නේ එක් කෝරාල කෙනකුටයි. මේ කෝරාල තමුගේ ගම්පළාතට ආලවන්තයි. ඒ පළාත් වැස්සාටත් ළහිපපුකමින් උන්නා. මිනිස්සුන්ගේ දුක - සැප විමසා බැලුවා. මිනිස්සුත් හරි හිතෛෂීවන්තව උන්නේ. ඔහොම ඉන්න කොට හරි නස්පැත්තියක් වුණා නේ. අර කෝරාල ඇත්තාට රෝගයක් වැලඳුණා. දන්නා කියන වෙදදුරන්ගෙන් බේත් කරන්ට ගත්තා. ම් හුහ් - බේත් අහන් නැතුව ගියා. දැන් එන්ට එන්ට ම ගිලන් වෙනවා. බලාගෙන ඉද්දි ඇට සැකි ආයේ, ඕකත් කියන්ට ඕනැයැ. එහෙම ගිලන් වෙනකොට කෘශ වෙනවා නොවැ.ගිං ගං තුලානේ මිනිස්සු පවා වෙද්දු හොයන්ට ගත්තා. මේ කෝරාල ගොඩ දාන්ට හිතාගෙන. එක වෙදෙක් ආවා. බේත් සෑත්තරේ පවා ඩිංගිත්තක් වෙනස්. පළමුව රෝගියා වෙන ම මැදිරියක් තනලා එහි සතපවන්නට කියා හිටියා. රෝගියා බාවන මැදිරිය සහමුලින් ම වන ඖෂධ කොළවලින් තනා ගත යුත්තේ. ඒ නිසා ඈතට ඒ මැදිරිය පෙනුණේ කොළවලින් වැහිලා තියෙන - කොළ මැදිරියක් හැටියටයි. ඒ හින්දා ම ඒ තුලානට මිනිස්සු කියන්ට ගත්තා කොළ මැදිරිය කියලා. අදටත් කොළමැදිරිය නම ඒ හැටියට ම බැහැර වෙනවා.
නෙත්තාන
ආයේ, බොරුවක් එහෙම නෙමෙයි ඕං, අපේ වළගම්බා රජ්ජුරුවෝ කැලෑ හටන් නොවැ වැඩිමනත් කළේ. ඒ තරමට ම සතර සේනාවලට මැදිවෙලා උන්නේ. වළගම්බා රජ්ජුරුවෝ නෙමෙයි. අතෑරියේ. කැලෑ වදිනවා - සේනා සංවිධානය කරනවා. හටන් ශිල්ප කියා හදා දෙනවා. ඉන්නේ කොහෙද එතන ඒගමට වැව් තනවනවා. ගොයිතැන් බත් කරවනවා. ඔහොම දිගින් දිගට ම වන වැදිලා කැලෑ හටන් රහසින් සංවිධානය කරන අවධියේ හරි ඇබැද්දියක් වෙච්චි. අපේ වළගම්බා රජතුමාට ඇස් රෝගයක් වැලඳුණා. රෝගෙට බේත් කළා ඒ පළාතේ උන්නු වෙදාණන් ගෙන්වා ගෙන. රෝගය සුව අතට හැරුණා හැබැයි ඇහේ දැවිල්ල ඩිංගිත්තක් තිබ්බා. දැවිල්ල අරින්ට දෑස හෝදන්ට ඕනෑ. ඒකට තව ම කල් වැඩියි කියලා කිව්වා වෙදාණන්. ඔන්න බලමුකෝ ඇස් ලෙඩේ හොඳයි. වළගම්බා රජතුමා උදැහැනැක්කේ ඇවිත් වැවක බැස්සා දෑස හෝදාගන්නට. දෝතින් වැව් දිය රැගෙන දෑස හේදුවා. දැවිල්ල තුන් වුණා. රජුට සතුටුයි. රජතුමා මෙහෙම කියා හිටියා. වැව් දියත්තෙන් නෙත්තරා තවා ගත්තා විතරයි ඕ දැවිල්ල හොඳ වුණා කිව්වා. රජතුමා නෙත්තරා තවා ගත් වැව යි. ඒ වැව බැඳි සාවියයි. එතැන් පටන් බැවහර වුණේ නෙත්තාන කියලයි ඕං.
Comments
Post a Comment