gossiplanka image 1
 


අහංගම



ඒ කාලේ හැටියට එක එක මිනිස් කොට්ඨාස ආවා ලංකාවට ඉන්දියාවෙන්. ආවේ නිකම් ම නෙමෙයි. විවිධ උවමනා පිරිමහා ගන්ටයි. ඒ ආ පිරිස ඔරු පාරු හදාගෙන ඉන්දියානු සාගරය පීරා ඇවිත් ලංකාවට ගොඩ වෙනවා. එක කාලයක ලම්බකර්ණ ගෝත්‍රිකයෝ මෙහෙම ආවා. ආවේ නම් ගල් ඔරුවකින් කියලයි ආරංචිය තියෙන්නේ. ගල් ඔරුවේ ආවේ ආරස්සාවටයි. ලම්බකර්ණ ගෝත්‍රිකයින් කියන්නේ මහා ආඩම්බරකාර උජාරු මිනිස්සු. ඇයි සිද්ධාර්ථ කුමාරයා පවා ලම්බකර්ණ වංශයේ නොවැ. මේ ලම්බකර්ණ ගෝත්‍රිකයින් උසස් ජාතියක් නිසා ඒ අය ආවෙත් උසස් කටයුතු සඳහා පමණයි කියලයි ඉතිහාස කථාව කියන්නේ. ලම්බකර්ණ ගෝත්‍රිකයින් ආ ගල්මුරුව අපේ දකුණු පළාතේ මූදේදී රුවල් බිඳිලා අතරමං වුණා. දැන් ගල්බරුව ඔහේ පාවෙනවා. ලම්බකර්ණ ගෝත්‍රිකයින් දැන ගත්තා ඔරුවත් එක්ක ගිලිලා මැරෙන්නට තමා වෙන්නේ කියලා. ඒ ඇත්තේ වීරමුණ්ඩ දෙවියන්ට පඬුරු බැඳලා මේ ඩිංග වෙලාවයි ගතවුණේ. ගමක් පෙනෙන්ට ගත්තා. වෙරළ තීරුවක් එක්කලා. එවිට ගල් ඔරුවේ හිටි ලම්බකර්ණ ඇත්තන් ඈ ගම -අං  ගම කියලා අත දිගු කරලා ගම පෙන්නලා කෑ ගැහුවා. එහෙම එදා ඈ ගම ඈ ගම කියලා. කියාපු සාවිය තමා ඕං අද අහංගම කියලා බැවැහැර වෙන්නේ.



 කිරුළපනේ


කෝට්ටේ රජ වාසල පිහිටා තිබුණා කියලා කියන්නේ උස් කඳු ගැටයක් උඩයි. මේ රජ වාසල වටා දිය අගල් වගේ ම කොටු පවුරක් ද බැඳලා තිබ්බා. රජතුමා ඔටුන්න හෙවත් කිරුළ හිසදරා ගෙන රාජ්‍ය විචාළා. ඔය අතරේ රට පුරා ම විසේසයෙන් මේ කිරුළ ඩැහැ ගන්නට විදේශිකයින් මාන බැලුවා. පර සතුරු ආක්‍රමණ ඉහළ ගියා. මේ හන්දත් රජතුමා රජ මාලිගාවේ ඉන්න කොට විතරයි කිරුළ හිස දැරුවේ. කිරුළ මාලිගාවේ සිහසුනේ තියලා රජු රහසිගතව මාලිගයෙන් බැහැර වුණා. මේ රාසිගත කටයුත්ත පිටට ආරංචි වුණේ නැහැ. මොකද රජු මෙහෙම කළේ පරසතුරු ආක්‍රමණවලින් රාජකීය කිරුළ බේරාගන්නටයි. හැබැයි වැඩේ කියන්නේ රජතුමාගේ මේ උපක්‍රමය ඒ කිව්වේ කිරුළ තියලා යන එන එක්තරා තැනකට හරි ජාතියට පෙනුණා. ඒ පන්සලක්. මොකද පන්සල් හදන්නේ උස් තැනක නොවැ. කතාවේ හැටියට මේ පන්සල ඇලන්මැඩියාරාමය කියලයි කියන්නේ. ආං ඒ පන්සලේ වෙහෙර මළුවේ ඉඳලා බලන කොට කෝට්ටේ රජ මාලිගාවේ රජතුමා තියලා තියෙන කිරුළ පේනවා. ඈ කිරුළ පේනවා කියමින් මිනිස්සු වෙහෙර මළුවට ඇවිත් රජතුමාගේ කිරුළ බලන්ට හුරුවුණා. ඔහොම කලක් යද්දි ඈ කිරුළ පේනවා. අං කිරුළ පේනවා කියාපු හින්දා ඒ විහාරය තිබ්බ පළාත කිරුළපෙනේ කියලා කියන්ට ගත්තා. හැබැයි ඒක පස්සෙ පහු කිරුළපනේ බවට පත් වුණා.



අතුරලිය


කිව්වහම පොච්චියේ ආයේ මේවා පාසු කටයුතු නෙමෙයි ඕ. හැබෑටම කිව්වම ආයේ කෙනෙක් පිළිගනී දෝ කියලත් සාංකාවයි. මොකද හෙනං ඔය පිරිමි ඇත්තං කරන කියන හැම දේම බවලත් උදවියට බෑ නොවැ. බවලතුන්ට කළ හැකි රස්සා ජාති තියෙනවා. ඒවා පමණයි කරන්නේ මං. හෙනං ඒ ගමට නම් පටබැඳුණේ මේ මේ වායේ ආරවුලක් හන්ද ඕ. දැන් ඔය පොල් රා මදිනවානේ. එහෙම රා මදින කොට, පොල් ගස් අතර අතුරු ගසා ගන්නවා. අතුරු කියලා කියන්නේ රා මදින විට ගස් අතර පහසුවෙන් ගමන් කරන්ට ලණුවලින් ගස් අතර බඳින ගමන් මාර්ගයක්. අතුර කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. අතුරේ යන විටයි. ලණු පොට පයලන්නයි. (පාලන්න) අනික අත්වාරුව නැතිනම් අත් ලන්න, උඩ ලණුපොටයි. මේ අන්වාරුවයි - පාලාන්තටයි වැරදීලා අනෙක් ගසට මාරු වෙනවා. වැඩේ කියන්නේ අතුරේ යන්නේ පිරිමි. එක පළාතක උන්නා අතුරේ යන ලියක්. මේක ඒ පළාත්වල ඇත්තන්ට හිතාගන්ට අමාරුයි. ලියක් අතුරේ යනවා. රා මදින්ට. මෙහෙම මේ අතුරේ යන ලිය බලන්ට ඕං ඒ සාවියට උදවිය ආවා. ඇයි බොලල්ලා අතුරේ යන ලියක් නොවැ. ඈත දුර බැහැරින් පවා කාණ්ඩය ආවා. ඒ හැමෝම අතුරේ යන ලිය ගැන කථා කළා. ඔහොම කතා වෙද්දි අතුරේ යන ලිය උන්නු පළාතට කවුරුත් අතුරේලිය කියන්ට ගත්තා.ඕං ඒක බැවැහැර වුණේ අතුරලිය කියලා නොවැ.



 ඇඹෝගම


ඇල්ලුවා තද පෑවිල්ලක්. ගස් කොළං හේබාලා ගියා. වැව් - අමුණු පෙති ගැහිලා ගියා. ගියා ද කියනවා - පළාත කාක දූවිල්ලෙන් පිරිලා ගියා. ගහකොළ හබක් - ඉඩෝරයට කොළ හැලිලා ගිහිං. හරකාබාන කම්බස් - ඉඩෝරයට දිය පොදක් නැතුව.දිය ඌලක් හොයාගෙන සතා සිව්පාවෝ වාගේ ම මනුස්සයොත් යන්ට ගත්තා ගව් ගාණක් දුරට. ගම් බිම් පාළු වුණා. පාළු වෙන්නේ නැතුවාය - මෙහෙම ඉඩෝරයක් වෙද්දි.

බිං කොහොමෙන් කොහොම හරි ඇට බිම ලවං පඳුරු මියැදීලා කහචීරයක් වගෙයි. වැඩේ කියලා කියන්නේ ඔය කාලෙට මිනිස්සු ගම්බිම් අත්අරලා ගියා. මෙහෙම ඉඩෝරයක් ආයේ කාට නම් උහුලා ගන්ටයැ. ඔන්න මේ කියන ගම සාවියේ තිබ්බා කන්දක්. ඒකට කියන්නේ ගල්ගිරියාකන්ද කියලා. ඒකේ වැඩ වාසය කළා රහතන් වහන්සේලා. උන්නාන්සේලාටත් මේ ඉඩෝරය දැනුණා. උන්නාන්සේලා දිය පොදක් හොයාගෙන ගියා එක සාවියකට. දෙයියනේ එතන දිය පිරිලා - ඒ කාලේ රහතන් වහන්සේලා වතුරට කිවිවේ අඹ කියලා නොවැ. රහතන් වහන්සේලා අඹ බොහෝ එක තැනක දුටු නිසා අඹ බොහෝයි මේ ගමේ කියා හිටියා.අඹ බොහෝයි මේ කියලා කිව්වානේ. ආං එහෙම ඒක බැහැර වෙද්දි ඇඹාගම බවට පත්වුණා නොවැ.




 ඇලපාත



ඔය වලව්කාර ඇත්තන් ඉන්නවානේ. හප්පා රැස්පොට් එක. ආයේ බලන්ට බෑ. හරිම ගණන්. කාටවත් හිස පාත් කරන්නේ නැහැ. මහා උජාරුවෙන් ඉන්නේ ඒවාගෙමයි. මේ උජාරුකම් හන්දා අහල පහල උදවිය හරි ම කේන්තියෙන් උනේ. ඒ වුණාට ඒ විරසකකම් එළිපිට පෙන්නන්ට ගියේ නෑ. මොකද වලව්වේ වතුවලින් තමයි අහල පහල උදවිය බඩවියත රැක ගත්තේ. මෙහෙම මේ උජාරු වලවේ ඇත්තන්ට පුත්තරයෙක් උන්නා. වලවේ දේපළ හිමිකාරයා - මේ පුත්තරයා ගැටයා කාලේ හරි නොසණ්ඩාලකම් කළා. වැඩේ කියන්නේ, වලවේ වතුවල ම බැලමෙහෙකම් කරන හීන කුලේ ඇත්තියක් උන්නා. කුලේ හීන වුණාට හප්පා සිරියාව ඒ ඇත්තන්ගේ. මේ රූපවත් හීන කුලේ ඇත්තියට හිත් බැන්දා වලවේ තරුණ හාදයා. ඒකට ගංකරේ කරුත් විරසක නෑ. වලවේ මානෙට ඕවා හොඳ පාඩම් කියලා කටපත ඇදබෑවා. මේ පලහිලව්ව දුරදිග ගිහිං ඈට පුත්තු දෙනෙක් උපන්නා. අර හීන කුලේ ඇත්ති නම් දැම්මා එකෙක් ඇලයා - අනිකා පාතයා. මේ ඇලයයි - පාතයාටයි වලවේට්රලත් මනාපයි. ඒකට වලව්වට වද්දා ගත්තේ නෑ. ඒ මොකද සනුහරේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණය හින්දා. කොටින් ම මේ ඇලයයි- පාතයයි ගැටවර වියට එද්දී අහලින් ඉඩම් දීලා වෙන වෙනම පදිංචි කළා. එවිට ඒ ගංකරේ මිනිස්සු කියන්ට ගත්තා ඇලයා ගමයි පාතයා ගමයි කියලා. ඒ ඇත්තෝ මිය දුණා - දරු පරපුර බෝ වුණා. ඇලයාගමයි. පාතයාගමයි දෙකම හාවුණා. ඕං එතැන් පටන් මිනිස්සු කියන්ට ගත්තා ඇලපාතයාගම කියලා. ඒක බැවැහැවර වුණේ ඇලපාත කියලයි ඕං.