gossiplanka image 1
 




ස්වාමීන් වහන්ස, අද අපේ සාකච්ඡාව ‘කර්මය' ගැන නිසා, "කර්මය යනු කුමක් ද?” යන්න පැහැදිලි කරමින් මේ ධර්ම සාකව්ඡාව ආරම්භ කිරීමට ඔබ වහන්සේට ආරාධනා කරනවා. මනුෂ්‍ය සන්තානය තුළ පහළ වන සිතිවිලි සමූහය කර්මය ලෙස විග්‍රහ කළ හැකි යි. මේ සිතිවිලි සචේතනික සිතිවිලි වූ විට කර්මයේ ප්‍රබල බව වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ  දේශනා කළේ 'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙනුයි. මනුෂ්‍යයෙක් සිතන දෙය ම 'කර්මය' බව ඒ අනුව අපට අවබෝධ කරගන්න පුළුවන්.  අපි මේ තත්වය වඩාත් පැහැදිලි කරගැනීම සඳහා ප්‍රායෝගික උදාහරණයක් ගෙන බලමු. දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගෙන් නිවෙසක්, පොකුණක් ඉදි කරදෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා. මේ පුද්ගලයන් එය වගකීමත් යුතුව  බාරගෙන, ඒ නිර්මාණය කිරීමට සූදානම් වෙනවා. ප්‍රථමයෙන් ම ඒ නිර්මාණය කිරිමට බලාපොරොත්තු වන දේ පිළිබඳ සිතිවිල්ලක් පහළ විය යුතු යි. එය පහළ වෙන්නේ කොහේ ද?


ඒ පුද්ගලයාගේ සිතේ සිතිවිල්ලක් විදිහට යි. ඒ සියල්ල සමූහය ඔහු පැන්සලකින් කොළයක අඳිනවා. ඉන් පසු එය නිර්මාණයක් බවට පත් කරනවා. මෙන්න මේ ආකාරයට සෑම දෙයකදී ම සිතිවිලි' මූලික වෙන බව අපට පැහැදිලි යි. ලෝකයේ සියලු ම භෞතික නිර්මාණ බිහි වෙන්නේ සිත මූලික කරගෙන යි. එහෙම නම් භෞතික නිර්මාණ කියන්නේ මිනිස් සිතිවිලි සමුදායක් බව පැහැදිලි යි. මේ මුළු ලෝකය ම නිර්මාණය කර තිබෙන්නේ මිනිස් සිතිවිලි මඟිනුයි.


අප කරන කර්මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?;


"යාදිසං වපතේ බිජං - තදිසං උභතේ ඵලං කල්‍යාණ කාරි කල්‍යාණ - පාපකාරිව පාපක” අප යමක් වපුරනවා ද ඒ වපුරන දේ තමයි අපට නෙළාගන්න ලැබෙන්නේ. හොඳ දේ වැපුරුවොත් හොඳ ප්‍රතිඵලත්, නරක දේ වැපුරුවොත් නරක ප්‍රතිඵලත් ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙය අද අපේ සමාජයට හොඳ ආදර්ශයක් දෙන ගාථා පාඨයක්. අද අපේ කාර්යාලවල සේවය කරන ඇතැම් අය පැය ගණන් නිකරුණේ කයිවාරු ගහනවා. පුළුවන් තරම් සඵප්‍රලාප කියවනවා. තමන්ගේ හාම්පුතාගේ, නැති නම් රටේ නායකයන්ගේ අඩු පාඩු හොයනවා. මේ වෙලාවට වත් පොඩ්ඩක් හිතන්න, ' ඇත්තට ම මම මේ මොනවද කියවන්නේ ? මේ කියන දේ මට වැඩක් වෙනවද? අනුන්ට වැඩක් වෙනවද?” කියල පොඩ්ඩක් හිතල බලන්න. එතකොට තේරෙනවා මට වැඩක් වෙන්නෙත් ප්‍රයෝජනයට නැති දෙයක් බව ඔබට ම වැටහේවි. වහාම ඒක  එතැනින් නවත්වන්න.


මෙයින් පැහැදිලි වෙන්නේ නරක සිතිවිලි සමාජයට දැඩි ලෙස බලපෑම් කරන බව නේද?


මනුෂ්‍යයා සිතන පතන ආකාරය සමාජයට ඍජුව ම බලපානවා. වර්තමාන සමාජය කියන්නේ ආර්ථික සාධකය මත පදනම් වූවක්, මිනිසුන් හැම දෙයක් ම කරන්නේ මුදල් බලාපොරොත්තුවෙන්.  ගුරුවරයෙක් පන්තියක් පටන් ගන්නේ කොපමණ මුදලක් හොයන්න පුළුවන්ද? කියලා හොයලා බලලයි. ආයතනවල සේවකයන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිනා මුදල ලැබුණේ නැත් නම් හැම තැන ම වර්ජන. මේ අනුව මුදල් මත හැම දෙයක් ම රැඳී තිබෙන බව පැහැදිලි යි. මේ ආකාරයට නිරතුරුව ම මුදල් සෙවීම පිළිබඳ හිතන්න ගත්තහම මිනිසුන්ගේ අධ්‍යාත්මය විනාශ වෙන්න පටන් ගන්නවා; දූෂණය වෙනවා. අධ්‍යාත්මය දූෂණය වෙනවා. මෙලෙස නරක් වීමට බලපෑවේ පැහැදිලි ව ම මුදල් මත පදනම් වුණු ආර්ථික ක්‍රමය යි. අද මනුෂ්‍යයෙක් මුදල් සෙවීමට මොන තරම් පොරබැදිල්ලක් කරනවද කියලා මොහොතක් සිතා බලන්න. දරුවා පාසලට ඇතුළත් කරගැනීමට, විභාගයෙන් ඉහළ ම ප්‍රතිඵල ලබාගැනීමට, රැකියාවක් ලබාගැනීමට පුදුමාකාර පොරබැදිල්ලක් කරන්නේ.මේ හැම දෙයක්ම කරන්නේ සමාජය තුළ තමාට ස්ථාවරත්වයක් ලබාගැනීමට යි. තමන් පොරබදලා පොදිගහගත්තු තරමටම සමාජය තුළ ඉහළින් වැජඹෙන්න පුළුවන් කියලා මිනිසුන් හිතනවා. ඒ නිසා මුදල් පසුපස දුවමින් පුදුමාකාර අවිවේකී ජීවිතයක් ගත කරනවා. නමුත් ආපසු හැරිලා බැලුවොත්, ඒ පුද්ගලයාට සැනසීමක් තියෙනවාද යන්න පිළිබඳ ගැටලු සහගත තත්වයකුයි පවතින්නේ.


මේ ලෝකය පාලනය කරන ලෝක ධර්මතාවක් තියෙනවා. සෑම දෙයකම උච්චතම ස්ථානයට ගියාට පස්සෙ අලුත් දෙයක ආරම්භයක් ඇති වෙනවා. ඒක ස්වභාවික නියමයක්. ආර්ථිකයේ උචතම ස්ථානවලට පැමිණි පසු මුදල් හම්බ කළා ඇති කියලා හිතිලා අධ්‍යාත්මයට යොමු වෙනවා.මේ තත්වයට හේතුව ආර්ථිකයෙන් කවදාවත් මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වන තෘප්තිය නොලැබීම යි. මුදල් පසු පස දුවල කාටවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ තුළින් මනුෂ්‍යයාට අවසානයේ ලැබෙන්නේ බිය, වේදනාව ශෝකය විතරයි.. උත්සාහවන්ත ව කටයුතු කළොත් 'කර්මය’ ජය ගත හැකි ද?


මේ විශ්වය තුළ කර්මය, පුනර්භවය වැනි සිද්ධාන්ත සිදු වනේ එකම ක්‍රමවේදයකට අනුවයි. අපේ ජීවිත වාසනාවන්ත කරගැනීමට මේ තත්වය අවබෝධ කරගත යුතු යි. බුදු දහමේ කර්මය පිළිබඳ කතා කිරීමේදී සම්පත්ති හතරක් සහ විපත්ති හතරක් පිළිබඳ සඳහන් වෙනවා. ඒ තමයි කාල  සත්ති, ගති සම්පත්ති, උපධි සම්පත්ති, පයෝග සම්පත්ති සහ කාල විපත්ති, ගති විපත්ති, උපධි විපත්ති, පයෝග විපත්ති.අපි මෙවැනි උදාහරණයක් ගනිමු. යම්කිසි පුද්ගලයෙක් පින්දහම් කරලා තුසිත දෙව්ලොව වාසය කරනවා. මේ පුද්ගලයා මනුෂ්‍ය ලොව දිහා බලලා බුදු වීමට සුදුසු කාලය බලලා උත්පාද  වෙනවා. පින් දහම් කළ නිසා නියමිත කාලයේදී සම්පත්තියක් විදිහට  එය ඔහුට පල දුන්නා. ඒ නිසා එය කාල සම්පත්කියක්. යම්කිසි පුද්ගලයෙක් බොහෝ පින් දහම් කරලා ඉතියෝපියාවේ ඉපදුණොත්  එය කාල විපත්තියක් වෙනවා.  ගති සම්පත්ති කියන්නේ ඉපදුණු තැන. පකාරයකු වුණත්  හොඳ කාලයක ඉපදුණොත් ආහාර පාන, සැප සම්පත් ලැබී සතුටින් ඉන්න ලැබෙනවා. කොතරම් පින් කළත් ඔහු දුර්භික්ෂ කාලයක ඉපදුනොත් කෑම බීම සැප සම්පත් ලැබෙන්නේ නැහැ.


උපධි සම්පත් යනු රූප ශෝභාව යි. දුප්පත් පවුලක ඉපදුණු රූමත් ගැහැනු ළමයෙකුට පින පලදීමක් ලෙස රැකියා, තනතුරු, ධන ධාන්‍ය ලැබෙනවා. දුප්පත්කම බිඳවැටුණෙ උපධි සම්පත්තිය   නිසයි. පොහොසත් පුද්ගලයකු විරූපී ලෙස ඉපදුණා නම් ඔහුට මෙවැනි පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. කුස ජාතකයෙන් කියන්නෙත් මෙවැනි සිදුවීමක්.  ප්‍රයෝග සම්පත්ති කියන්නෙ තීක්ෂණ ඥානය. ඥානය ඇති තැනැත්තාට එයින් අභියෝග ජය ගන්න පුළුවන්. එය නැති  තැනැත්තාට එසේ කරගැනීමට නොහැකි වීම ප්‍රයෝග විපත්ති

ලෙස සැලකෙනවා.


වර්තමානයේ අප මුහුණ දෙන මේ පීඩාකාරි වාතාවරණය කර්ම විපාකයක් ද?


මේ විශ්වය ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් පිළිබඳ බුදු දහමට සඳහන් වෙනවා. ඒ තමයි උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම, ධම්ම නියාම. මේ අනුව අපට පැහැදිලි වෙන්නේ 'කර්මයේ බලපෑම් 20%ක පමණ ප්‍රමාණයක් වන බව යි.  නිදහසින් පසු අප රට පාලනය කළ සියලු රාජ්‍ය නායකයන් වර්තමාන ප්‍රචණ්ඩකාරිත්වයට වගකිව යුතුයි. රටක ජීවත් වන මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය දුර්වල වූ විට ඔවුන් සොරකම්වලට පෙලඹෙනවා. මෙය අග්ගඤ්ඤ සූත්‍රයේදී ඉතා පැහැදිලිව විස්තර කර තිබෙනවා. ජනතාවට ශක්ති මත් ආර්ථිකයක් ගොඩනගාගැනීමට උදව් කිරීම රජයක වගකීම යි. රටක ප්‍රචණ්ඩත්වය අඩු වීමට ආර්ථික සමෘද්ධිමත් බව ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ වගේ ම සමාජයේ වෙසෙන සෑම මනුෂ්‍යයෙකුට ම හිමි විය යුතු ගෞවරනීයත්වයෙන් අත්මිදෙන්න බැහැ. ඒ වගේ ම අප  තුළ ඇති අසමගිකම්, විරෝධතා සමනය විය යුතු යි. ප්‍රථමයෙන් මනුෂ්‍ය අයිතීන්ට ඉඩ දිය යුතු යි. මේ කරුණු සමාජයක් තුළ ක්‍රියාත්මක වුණාත් ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් අපට උදා කරගන්න පුළුවන්.