gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, අද අපේ සාකච්ඡාව බුද්ධ ප්‍රතිමා ගැන නිසා, බුදු පිළිම කලාවේ ආරම්භ කෙසේ සිදු වී ද? යන්න පැහැදිලි කරගෙන ම මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඔබ වහන්සේට ආරධනා කරනවා.  බුද්ධ ප්‍රතිමා කලාව භාරතයේ ගාන්ධාර, මථුරා, ප්‍රදේශයේ විසූ කලා ශිල්පීන්ගෙන් ඇරැඹුණු බව පුරාවිද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ගාන්ධාර වැසියන් ග්‍රීක ඇපලෝ දේව ප්‍රතිමාවේ ඇතැම් ලක්ෂණ ආරෝපණය කර ගාන්ධාර සම්ප්‍රදායේ බුදු පිළිමයත්, මථුරා වැසියන් මථුරා ප්‍රදේශයේ එවකට පැවැති ඔවුන්ගේ ප්‍රතිමාවල ඇතැම් ලක්ෂණ ඇතුළත් කර මථුරා සම්ප්‍රදායේ බුදු පිළිමයත් නිර්මාණය කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ගාන්ධාර - මථුරා යන සම්ප්‍රදායයන් දෙක ම එක් කොට තැනු අපුර්වතම නිර්මාණය වන්නේ ප්‍රකට සාරානාත් ධර්මචක්‍ර මුද්‍රා බුද්ධ ප්‍රතිමාව යි. දුටුවන්ගේ බොදු බැතියත්, සැදැහැවත් බවත් වැඩි කරන මේ බුද්ධ ප්‍රතිමාව භාරතීය කලාකරුවන් අතින් නිම වූ විශිෂ්ටතම නිර්මාණයක් බව අද මුළු ලොව ම පිළිගන්නවා.


ලංකාවට බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමේ කලා ආභාසය ලැබුණේ කෙසේ ද?


ලංකාවට බුද්ධ ප්‍රතිමා කලා ආභාසය ලැබෙන්නේ දකුණු ඉන්දියාවේ අමරාවතී හෙවත් ආන්ද්‍රා ප්‍රදේශයෙන්. අශෝක අධිරාජ්‍යයාගේ සමයෙහි මිහිඳු හිමියන් සමග දහ අට ශ්‍රේණියක කලා ශිල්පීන් මෙරටට පැමිණි බව ඉතිහාසයෙහි සඳහන් වෙනවා. මේ ශිල්පීන් අතර සිටි ප්‍රතිමාකරණයෙහි හා කැටයම් කලාවෙහි නිපුණතා ඇති ශිල්පීන්ගෙන් අපට ද ප්‍රතිමා හා කැටයම් කලාව ලැබුණ බව පැහැදිලි යි. ඉන්දීය ආභාසය ඇතිව මුල් යුගයේදී බුද්ධ ප්‍රතිමා ඉදි කළ බව ලංකාවේ පැරැණිම බුද්ධ ප්‍රතිමාව වන අනුරාධපුර මහඉලුප්පල්ලම බුද්ධ ප්‍රතිමාවෙන් සහ රුවන්මැලි සෑය අසලින් සොයාගත් බුද්ධ ප්‍රතිමාවලින් පැහැදිලි වෙනවා. මේ ප්‍රතිමාවල අමරාවතී ශෛලීය මනාව ප්‍රකාශ කෙරෙනවා. මේ ආකාරයට ආරම්භයේදී භාරතීය සම්ප්‍රදායයන් අනුකරණය කරමින්, ලංකා ශිල්පීන් ප්‍රතිමාකරණය කළත් නොබෝ කලකින් ම ඔවුන්ට ප්‍රතිභාපූර්ණ දක්ෂතා ඇති කලා ශිල්පීන් වීමට හැකි වුණා. තාක්ෂණික ඥානය සහ ප්‍රතිමා නෙලීමට අවශ්‍ය භෞතික සම්පත් ඔවුන් දේශීයත්වයට පත් කරගත්තා. බුදුරදුන් ගේ ආධ්‍යාත්මික ලක්ෂණ පිළිබිඹු වන සේ සීල, සමාධි, ප්‍රඥා මහා කරුණා ආදි අපිරිමිත ගුණස්කන්ධයන් අන්තර්ගත කර විවිත්‍ර  බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමට ඔවුන්ට හැකි වුණා..


බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේදී සැලකිය යුතු කරුණු කවරේ ද?


පිළිමයක් ඉදිකිරීමේදී සම්මත මිනුම් ක්‍රමයක් තියෙනවා. බුදු පිළිමයක නම් මුහුණ මෙන් නව ගුණයක් හෝ එයට වැඩි  ප්‍රමාණයක් උස තිබීම අවශ්‍යය යි. ඒ ආදි වශයෙන්. ඒ වගේ ම පිළිමයකින් කිසියම් හැඟීමක් ප්‍රකාශ වෙන්නට ඕනැ. හැගීම් ප්‍රකාශ කිරීමේ වැදගත් ම අංශය වන්නේ මුහුණ යි. අදාළ අයගේ චරිතය, ගුණාංග මුහුණෙන් පිළිබිඹු වෙන්නේ නැති නම්, එය සාර්ථක නිර්මාණයක් වෙන්නේ නැහැ' බුද්ධ ප්‍රතිමා නෙළීමේදී ප්‍රධාන වශයෙන් ඉරියවු හතරක් පිළිබඳ අවධානය යොමු කිරීම අවශ්‍යයයි. හිඳි පිළිම, හිටි පිළිම. සැතපෙන පිළිම, සක්මන් ඉරියවු ඒවා වෙනවා. මීට අමතරව හිඳි පිළිමයක ස්වරූප කීපයක් දකින්න පුළුවන්. මේවා ආසන්න වශයෙන් හැඳින්වෙනවා. මේ අතරින් වීරාසන ක්‍රමය සහ පද්මාසන ක්‍රමය ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන් ම බුද්ධ ප්‍රතිමා සකස් කිරිමේදී බුද්ධ චරිතය දැක්වීමට විවිධ මුද්‍රා උපයෝගි කරගන්නවා. මේ අතරින් ධර්ම චක්‍ර මුද්‍රාව, ධ්‍යාන මුද්‍රාව, චිතක මුද්‍රාව, අභය මුද්‍රාව, වර මුද්‍රාව භූමි ස්පර්ශ මුද්‍රාව යන මේවා ප්‍රධාන තැනක් ගන්නවා.


වර්තමානයේ විකිණීමට තබා ඇති බුදු පිළිමවල මේ සුවිශේෂී ලක්ෂණ තිබෙනවා ද?


බුදුරදුන්ගේ මහා පුරුෂ ලක්ෂණ දෙස එක එල්ලේ බලාගෙන බුදුරුවක් නිර්මාණය කිරීමට අපහසු වූ භාරත ප්‍රතිමා ශිල්පීන් පරිනිර්වාණයෙන් වසර දෙසිය තිස් හයක් පමණ ගත වන තුරු ම බුදුරුවක් නිර්මාණය කළේ නැහැ. ඒ යුගයේ බුදුරදුන් දැක්වීමට භාවිත කළේ ධර්ම චක්‍රය, සිරි පතුල, ඡත්‍රය, බෝධිය ආදි සංකේත. බුදු පිළිමයක් ආවාට ගියාට හදන්න බැහැ. බුදු පිළිම නිර්මාණ ශිල්පියා තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතු පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම ත්‍රිපිටකය මැනවින් අධ්‍යයනය කරලා බුදුරදුන්ගේ ගුණ පිළිබඳ වැටහීමක් තියෙන්න ඕන්නේ. එමෙන් ම ප්‍රතිමා නිර්මාණය කරන්නට කලින් ඒ ශිල්පය මැනවින් හදාරන්නට ඕනේ.  ඒත් දැන් බුදු පිළිම හැදීම ව්‍යාපාරයක් වෙලා. දැන් හන්දියක් ගානේ කොන්කීට් වැඩපොළවල බුදුන් මැවුවත්, ඔය කියන කාරණ සිද්ධ වෙන්නේ නැහැ.


මහා පුරුෂ ලක්ෂණයක් වශයෙන් බුදුරදුන්ගේ බාහු දීර්ඝ යි. නොනැමී දෙදණහිස් පිරිමැදිය හැකියි. උන් වහන්සේ දෙඅත් දෙපසට දිගහැරිය විටදී, එහි දිග ප්‍රමාණය බුදුන් වහන්සේන්ගේ උසට සමාන විය යුතුයි. ඇතැම් ස්ථානවල විකුණන්නට තබා ඇති බුදු පිළිම වල දෙඅත් දිගහැරිය හොත් බුදුරදුන්ගේ ඒ මහා පුරුෂ ලක්ෂණ පෙනෙන්නට නැහැ. එම වරද බොහෝ විට පෙනෙන්නේ හිටි පිළිමවල යි. මහා පරිමාණයෙන් බුදු පිළිම නෙළන ඇතැම් ශීල්පීන්, බුදුරදුන්ගේ පුරුෂ ලක්ෂණ තබා පරිමාණ ලක්ෂණවත් රැකගන්නට අපොහොසත් ව ඇති බව හන්දියක් ගත් ඇතැම් පන්සල්වලත් තබා ඇති බුදු පිළිම දෙස බැලීමේදී ප්‍රකට වෙනවා.


බෞද්ධ පුනරුදය උදෙසා මංසන්ධියක් ගානේ බෝ ගස් සිටුවීමෙනුත් බුදු පිළිම ඉදි කිරිමෙනුත් ලැබිය හැකි සමාජ වටිනාකම කුමක් ද?


සුළු ජාතීන්ට රිදවීම සහ කෙණෙහිලි කිරිම සඳහා ප්‍රසිද්ධ මංසන්ධි ආදිය බලා බුදු පිළිම ඉදි කිරීම දැන් බොහෝ මහා මාර්ගයන්හි දැකිය හැකි යි. වෙනත් ආගමික සංකේතයක් අනාගතයේ හෝ ඉදි කිරීම වැළැක්වීමේ යටි අභිලාසයෙන් ඇතැම් වටරවුම් ආදියේ හිටපුගමන් බුදු පිළිම පහළ වෙනවා. හදිස්සිය නිසා බොහෝ විට සුදු හුනු ගෑව තාර බැරලයක් මත බුදු පිළිමය තබා, පිළිමයට ගැට ගැසූ කහ කුඩයක් පසුගිය කාලයේ අගනුවර ප්‍රධාන මාර්ගයක් අසල දක්නට ලැබුණ. ඒ වගේම භූමියේ අයිතිය තහවුරු කරගැනීමේ පරමාර්ථයෙන් සිදු කරන ලදැ යි පැහැදිලිව ම පෙනෙන, කන්ටේනර් දෙකක් මත පසුගිය දා බුදුපිළිම තබා තිබුණේ කොළඹ ප්‍රධාන නගරයක මහ පාරේමයි. එපමණක් නොවෙයි. මංසන්ධි අසල කුණු කසළ දැමීම නවතා ගැනීමට බැරි වූ විට බුදු පිළිම ඉදි කිරීම සාර්ථක අත්දුටු ප්‍රතිකර්මයක් ලෙස දැන් ක්‍රියාත්මක වෙනවා.


ත්‍රීවිලර් රියැදුරන් වැඩිපුර ගැවසෙන කුඩා හන්දිවලදී දැන් ඔවුන්ගේ මූලිකත්වයෙන් බුදු පිළිම ඉදි කරන බව පෙනෙනවා. කෙසේ වෙතත් නිසි ගෞරවය නොලැබෙන ආකාරයට අගෝචර ස්ථානවල බුදු පිළිම ඉදිකිරීම බුදු රදුන්ට කරන අගෞරවයක්.  අද ඇතැම් විහාරස්ථානවල අපේ බුදු පිළිම පසෙකින් තබා, තායි බුදු පිළිමවලට මුල් තැන දී තිබෙනවා. ශ්‍රී ලංකා බුද්ධ ප්‍රතිමා කලාවට තරමක පහරක් වැදුණේ  තායිලන්ත බුද්ධ ප්‍රතිමා ලංකා ආක්‍රමණය නිසයි. බුද්ධ ප්‍රතිමාව කොයික වුණත් කමක් නැහැ. ඒත් දේශීය කලාවටත්, කලාකරුවාටත් උදා වන කලදසාව ගැන සතුටු වෙන්න බැහැ. තායි බුද්ධ ප්‍රතිමාව සැකසී තියෙන්නේ තායි කලාකරුවාට උචිත අයුරිනුයි. එහි ලක්ෂණ මෙන් ම සම්ප්‍රදායත් ඒ රටේ ආකාරයට යි. එහි ඇත්තේ අමුතුම සිරස් කේතු මාලාවක්. අත්වල ඇඟිලි කාන්තාවකගේ මෙන් දිගු යි. ඇස් දිගැටි යි. ඇස් බැම කාන්තාවකගේ මෙන් දෙකක් දක්වා සමානව සකසා තිබෙනවා. ඇස් විවෘත යි. ඉග සිහින්. උකුළ පුළුල් පොදුවේ ගත් කල කාන්තාවක ගේ වගේ සුලලිත ලාලිත්‍යයක් මේ බුදු පිළිමවලින් පෙන්නුම් කරනවා. දුටුවන්ගේ භක්තිය ඇති වෙනවා. ඒත් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. තායි බුද්ධ ප්‍රතිමාව තද රන්වන් පාටින් යුක්ත යි. නමුත් කලක් යන විට රන් පැහැය නැති වී කහ පැහැ ගන්නවා.


නොමිලේ විදේශයකින් ලැබෙන ලෝහ ප්‍රතිමාවක් නිසා සමහර විහාරස්ථානවල පිවිසෙන දොරටුව අබියස ද ඇතැම් විහාරස්ථානවල වීදුරු ආවරණය සහිත කුටිවල ද දහස් ගණන් තායි බුදු පිළිම තැන්පත් කර ඇති අයුරු අප දැක තිබෙනවා. නමුත් ශ්‍රී ලාංකික ප්‍රතිමා කලාව හා සසඳා බැලීමේ දී මේ තායි පිළිම ගව් ගණනක් පිටුපසින් සිටින බව පැහැදිලිව ම පෙනෙන කරුණක්.  ශ්‍රී ලංකා බුද්ධ ප්‍රතිමාව සුදු පැහැයෙන් කහ තැඹිලි පැහැයෙන් ද වරෙක තඹ පැහැයෙන් ද යුක්ත යි. හුණු බදාම, මැටි හෝ සිමෙන්තියෙන් හා වෙනත් නව රසායනික අමුද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කෙරෙනවා. මිලත් අධික යි. අපේ සම්ප්‍රදාය තිබෙන සැදැහැවත් බව වැඩි කරනවා. එහෙත් ලබාගැනීම අපහසු යි.


අපේ බුද්ධ ප්‍රතිමා කලාව ආරක්ෂා කරගැනීමට ඔබ වහන්සේ යෝජනා කරන වැඩපිළිවෙළ කෙබඳු ද?


තායිලන්තයේ ජනතාව ඔවුන්ගේ කලා සම්ප්‍රදාය සුරැකීමට උත්සාහ ගැනීමේ කිසිදු වරදක් නැහැ. වරද තියෙන්නේ අපි වසර දෙදහස් ගණනක් පැරැණි අපේ අතිවිශිෂ්ට කලා සම්ප්‍රදායක් පසෙකට දමා ක්‍රියා කිරීමයි.  මේ තත්වයට පිළියමක් විදිහට විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වත් නැති විහාරස්ථානවලට බුද්ධ ප්‍රතිමා නොමිලේ පූජා කිරීමේ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා බෞද්ධ දානපතියන්ගේ සහ කලාකරුවන්ගේත් සහයෝගය අපේක්ෂා කරනවා.