gossiplanka image 1
 


මළගෙදරක දී මරණය පිළිබඳව අවබෝධයෙන් තොර වූවන් පෙරළි පෙරළී වැළපෙමින් හඬයි. මරණය පිළිබඳව දැනුම තිබෙන පුද්ගලයා මැරුණ පුද්ගලයා සමග ගැටීමට නොයයි. කවුරු හෝ පුද්ගලයකු විසින් තමන්ගේ සමීපතමයකු මරණයට පත්කරනු ලැබුව හොත් දැනුමක් සහිත පුද්ගලයා භෞතික ද නොගැටී ඔහු ඒ සඳහා නීතිය තුළ ක්‍රියාත්මක වෙයි.  දැනුමක් සහිත බුද්ධිමත් පුද්ගලයන් ප්‍රශ්නයක් තුළ දී හැසිරෙන ආකාරයත්, දැනුම බුද්ධිය අඩු පුද්ගලයන් ප්‍රශ්නයකදී හැසිරෙන ආකාරයත් වෙනස් ස්වරූපයක් ගනී. පුද්ගලික බස් රථයක්, තවත් වාහනයක් සමග ගැටුන අවස්ථාවකදී මෙම තත්වය හොඳින් අවබෝධ කරගත හැකියි. දැනුවත් මිනිසුන් හැසිරෙන ආකාරයත්, නොදැනුවත් මිනිසුන් හැසිරෙන ආකාරයත් අතර වෙනස පවතින ඔවුන්ගේ හැසිරීම් රටාව තුළ දැකිය හැකියි. එනිසා ම ගිහියන් වන ඔබ සැම විටම සැම අවස්ථාවකදීම අලුත් දැනුමක්, අලුත් බුද්ධියක් අවබෝධයක් වර්ධනය කර ගැනීම සඳහා ඇප කැප විය යුතුයි. ඉස්සර මිනිසුන් එම දැනුම වර්ධනය කරගැනීම සඳහා හොඳ බණ දහම් අසනු ලැබුවා. වර්තමාන සමාජය  තුළ බණ දහම් ඇසීමට අමතර ව අන්තර්ජාල පහසුකම් පුවත්පත්,  හොඳ පොත පත පරිශීලනය කිරීමෙන් ද, දැනුම වර්ධනය කරගත හැකියි. ස්වාමීන් වහන්සේලාගෙන් බණ දහම් ඉගෙන ගන්නවා වගේම, ලෞකික විෂයයන් පිළිබඳව හොඳ දැනුමක් තිබෙන පිරිසගේ දේශනා සඳහා ද වැඩි වශයෙන් සහභාගි විය යුතුයි.


බිරිඳගේ කටයුතුවලදී සැමියා මෙවැනි ආකාරයෙන් ඉවසිය යුතු යැයි කියා සැමියාට කියනවාට වඩා, සැමියාගේ කටයුතුවල දී බිරිඳ මෙවැනි ආකාරයෙන් ඉවසිය යුතු යැයි බිරිඳට කියනවාට වඩා නිවැරැදිව ගිහි ජීවිතය ගත කරන දැනුමෙන් අවබෝධයෙන් යුතු ගිහියකු තුළින් එම අවබෝධය ඔබට ලබාගත හැකියි. ගිහි ජීවිතය තුළ සාර්ථක ගිහියකු වීමට නම්, සම්මුති සත්‍යයට අදාළ වන යහපත් මූලාශ්‍ර තුළින් දැනුම ලබාගත්තාය කියා වරදක් සිදුවන්නේ නැත.   ඔබ තාක්ෂණ මෙවලමක් පරිහරණය කරනවා නම්, එයට අදාළ වන බහුශ්‍රැත බව තිබිය යුතුයි. ඒ පිළිබඳව උපදෙස් පත්‍රිකාවක් කියවා අවබෝධයක් ලබාගත යුතුය. වාහනයක් පදවනවා නම්, එම වාහනය පිළිබඳව ඔහුට දැනුමක් තිබිය යුතුයි. එම දැනුම නැති පුද්ගලයන් වාහන පැදවුවහොත් විශාල ගැටලු රාශියක් පැන නගී.  මගියා කවුද? යන්න පිළිබඳව මගියා ම දැනුවත් විය යුතුයි. මගියා සතු විය යුතු අයිතිවාසිකම් මොනවා ද? මගියාට බලපෑම්  කළ හැකි සීමාව කුමක් ද? යන්න පිළිබඳව මගියා දැනුවත් විය යුතුයි. දැනුවත් මිනිසුන් සිටින සමාජයක් තුළ හදිසි අනතුරකදී බස් ගිනි

තැබීමට පවා පෙළඹෙන්නේ නැත. හදිසි අනතුරක් සිදුවුවහොත් එම බසය තුළ සිටි පිරිස එක්කාසු වී බසය ගිනි තැබීමට පෙළඹෙයි. බසය තුළ ඔවුන් විඳපු වද වේදනා පිළිබඳව මගීන් තුළ පවතිනු ලබන්නේ වෛරයකි.


මගියකුට තිබෙන අයිතීන් පිළිබඳව නොදැනුවත් කම නිසා කොන්දොස්තර මහතාගේ හිරිහැරවලට ලක්වේ. මගියාට මගියාගේ අයිතීන් පිළිබඳව නොදන්නාකම නිසා එම අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය නොහැකියි. කොන්දොස්තර මහතා ද මගියාට තිබෙන අයිතිවාසිකම් දන්නේ නැත. මිනිසුන් දැනුවත් නම්, නීතිය අතට ගැනීමට උත්සාහ නොකරයි.  යමෙකු සොරකම් කර අසුවූ විට මිනිසුන් එක්කාසු වී ඔහුට පහර දෙනු ලබයි. ඔහුට අනෙකාගේ දේ සොරකම් කිරීමට අයිතියක් නැතිවා සේ ම ඔහු සොරකම් කළා, කියමින් ඔහුට පහර දීමට ද, අපට අයිතියක් නැති බව අප දැනගත යුතුයි. ඔහුට දඬුවම් දීමට අයිතියක් අපට නැති බව අප වටහාගත යුතු කරුණක්. නීතිය අතට ගැනීමට ජනතාව පෙළඹිය යුතු නැත. ජනතාව විසින් නීතිය අතට ගෙන ක්‍රියාත්මක වුවහොත් ජනතාව ජීවත්වීමට තිබෙන අයිතිය පවා අහිමි වී යයි. මේ රට තුළ අළු සමදන් ම සැනසිල්ලේ ජීවත් විය යුතුයි.  බස් රථය ගමන් කරන වේගය අඩුවන විට බසය තුළ සිටින  අපට කේන්තියක් පැමිණෙනවා වගේම ඔහු වේගයෙන් ගොස් කවුරු  හෝ පුද්ගලයකු යටකරගෙන ගිය විට ඔහුට පහර දීමට, බසය ගිනි තැබීමට පවා අප පෙළඹෙනවා නම්, අපි කෙතරම් නපුරුයි ද? අපි අහිංසක ද? ඔබ ම සිතා බලන්න. එම නිසා සැම විටම ඔබ තුළ දැනුම වැඩිකර ගත යුතුයි.


නීතිය අතට ගැනීමට අපට අයිතියක් නැත. සොරකුට හෝ පොල්ලකින් පහරදීම අනුමත කළ නොහැකිය. දඬුවම් කළ යුත්තේ කුමන ආකාරයෙන් ද? යන්න පොලිසිය අධිකරණය තිරණය කරනවා මිස, එය අප කළ යුතු දෙයක් නොවේ. අපගේ නිවසට හොරකු පැමිණි විට ඔහු අල්වා පොලිසියට බාරදීම පමණක් කළ යුතු බවට අප තුළ දැනුම තිබිය යුතුයි. එසේ නොවුණ හොත් මිනිසුන් සොරු අල්වා ගන්නවා සේ ම, මිනිසුන් යුක්තිය පසිඳලන්නට ද පෙළඹෙයි.  අඩුම වශයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳව දැනුවත් වීමට පෙර සම්මුති ජීවිතය තුළ ජීවත්වන ආකාරය පිළිබඳව දැනුමක් ලබා ගත යුතු ය. සම්මුති ජීවිතය තුළ තමාට කළ හැකි, කළ නොහැකි දේ පිළිබඳව හා යමක් කළහොත් හානියක් වන ආකාරයත්  නොකළහොත් හානියක් නොවන ආකාරයත් පිළිබඳව දැනුවත් නම්, පුද්ගලයන් යහපත්ව ජීවත් වෙයි. එම බහුශ්‍රැත බව ගිහියාට අත්‍යවශ්‍ය කාරණාවකි.