gossiplanka image 1
 

ස්වාමීන් වහන්ස, වර්තමාන තරුණ පරපුර නොමගට යොමු වී ඇති බව බොහෝ අය පවසනවා. මේ ගැන පැහැදිලි කරමින් සාකච්ඡාව ආරම්භ කරමු.


"දැන් ඉන්න තරුණ පරපුර හොඳ නැහැ” කියලා ප්‍රතිකේෂ්ප කරන්න සමාජයේ බහුතරයක් පුරුදු වී සිටිනවා. අද අපට ඇහිල තියෙනවා. ඇතැම් වැඩිහිටියෝ කියනවා "මගෙ දෑහට පෙන්නන්න බැරි කෙල්ලක්, මගෙ දෑහට පෙන්නන්න බැරි කොල්ලෙක්" කියලා හංවඩු ගහනවා. ඒත් මට එක දෙයක් පැහැදිලි ව කියන්න පුළුවන්. ඒ තමයි, අද ඉන්න වැඩිහිටියන්ගේ තරුණ කාලයට වැඩිය, අද ඉන්න තරුණ පරපුර හොඳයි කියන එක. අද අපට පෙනෙනවා ඇතැම් තරුණයන් විවිධ මෝස්තරවලට කොන්ඩේ කපාගෙන, ඩයි කරගෙන, රැවුල් වවාගෙන, කරාබු දාගෙන කලාභවනක් වගේ ඉන්නේ. ඒත් ඒ අයගේ ජංගම දුරකතනය අරගෙන බැලුවොත් බුදුන්වහන්සේ ගේ පිංතුරයක් ඉදිරියෙන් ම තියෙන්නේ. ඔවුන් දුරකතන ඇමතුමක් අවසන් කරන්නේ, මිතුරකුගෙන් සමුගෙන යන්නේ "බුදු සරණයි" කියලා. මෙවැනි ගුණාංග තවමත් ඔවුන් අතර තියෙනවා. එහෙම නම්, අද අප කළ යුතු වන්නේ තරුණයන් සතු මේ ගුණාංගවලට පණ දීලා, වැටිල ඉන්න මේ ලිං කටෙන් උඩට ඇදල ගන්නවද? නැති නම් හොඳ නැහැ කියලා ප්‍රතික්‍ෂේප කරලා, පයින් ගහලා, වළට දානවද කියලා හිතන එකයි.


මේ චෝදනාව එල්ල කරන්නේ කාට ද?

 

මේ චෝදනාව ඍජුව ම එල්ල කරන්නේ මේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටයි. මේ අය කරපු විනාශයේ ප්‍රතිඵල තමයි අද අප භුක්ති විඳින්නේ. අදත් මේ අය රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමින් ඇතැම් විට මුදල් වියදම් කරලා. ආචාර්ය, මහාචාර්ය පදවි ලබාගෙන යහතින් වැජඹෙනවා. ඒත් මේ චෝදනාව එල්ල වෙන්නේ සමස්ත ජ්‍යෙෂ්ඨ පරපුරට ම නෙමෙයි. මේ රටේ තරුණ පරපුරට ආලෝකය ලබා දෙන සිය ජීවිත කාලය ම කැප කරපු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒත් අපේ අවාසනාවකට මේ හිත හොඳ මිනිසුන්ට මේ රටේ අනාගතය සැලසුම් කරන්න ලැබුණේ නැහැ. අපේ රටේ 80-90 දශකවල මුල් භාගයේ උපන් දරුවන්ගේ අධ්‍යාපන සැලසුම් තීරණය කළේ හිත හොඳ මිනිස්සු නෙමෙයි. විදේශ රටවල වසර ගණනාවක් අධ්‍යාපනය ලබලා කුමාර ජීවිත ගත කරපු මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියො තමයි එදා ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කළේ. විදේශ රටවල අවිධිමත් අධ්‍යාපන ක්‍රම, සිරිත් විරිත් තමන් ගේ උදාර පෝෂණය සඳහා මේ රටේ බොහොම සාරවත් ව වගා කළා. ඒ වගා කරපුවා තමයි අද අපි මේ නෙළන්නේ මේකට කියන්නේ "සුදු කර පටි” අධ්‍යාපනය ක්‍රමය කියලයි. සුදු කර පටි අධ්‍යාපන ක්‍රමය නිසා තමයි අද ලංකාවේ රැකියා වියුක්තියක් ඇතිවෙලා තියෙන්නේ.


මොකක්ද මේ "සුදු කර පටි” අධ්‍යාපන ක්‍රමය?


ඕනෑ ම රටක සැලසුම් හදනකොට ඒ රටේ සංස්කෘතිය, ජන විඥානය, ඓතිහාසික විකාශයේ ස්වරූපය මේ හැම දෙයක් ම හදාරන්න ඕනෑ. මේ කිසිවක් දන්නේ නැති පිරිසක් ගුවන් තොටුපළෙන් බැහැපු ගමන් ම ලංකා සමාජය මෙහෙයවන සංස්ථාවල මුල් පුටුවලට පත් වෙනවා. මේ අයගේ අම්මා, තාත්තා ඇතුළු හතර වරිගය මැති ඇමැතිවරු. ඒත් ඔවුන්ගේ ම සිතිවිලි, චර්යා රටා, ශරීර කෘත්‍යයන් කරන්නේ බටහිර සංස්කෘතියට අදාළව යි. අනුරාධපුරය, හම්බන්තොට කොයි වගේ ද කියල දන්නේ නැහැ. එංගලන්තේ, වොෂිංටන්වල පුළුවන් නම් ඇයි මෙහෙ බැරි කියලයි එයාල හිතන්නේ. පසුගිය කාලය තුළදී ලංකාව තුළ රැකියාවන් සඳහා පරිගණක අධ්‍යාපනය අනිවාර්ය කළා. එය නගරයට ගැළපෙන්න පුළුවන්. ඒත් අතිදුෂ්කර පළාත්වලට ඒක හරියන්නේ නැහැ. ඒක කරන්නම ඕන කියලා කොළඹ ඉඳන් දැඩි නීති රීති පනවනවා. මේ කිසිවක් නොතකා බටහිරින් උගත් දේ එදා ලංකාවට ආදේශ කළා. එහි ප්‍රතිඵල ලෙස අංගවිකල වුණු මානසිකත්වයකින් හෙබි යෞවන පරපුරක් අපට උරුම වෙලා තියෙනවා. අද ඉන්න තරුණ-තරුණියන් දිහා බලල කියන්න බැහැ මෙයා සිංහල ද, ජර්මන් ද, ඇමරිකන් ද කියලා. ඒ මොක ද, ඔළුව එක සංස්කෘතියක්. අග පසග, ඇඳුම් පැලඳුම තවත් සංස්කෘති විසි පහක විතර සංකලනයක්, අන්න ඒ තැනට මේ සමාජය පත් කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ යි. මේ චෝදනාවෙන් ගැලවෙන්න ගිහි - පැවිදි කාටවත් ම බැහැ.


තරුණ පිරිස පාතාල ලෝකයට සම්බන්ධ වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ තත්වයට හේතුව කුමක් ද?


"පාතාලය” කියලා උපසංස්කෘතියක් අද බිහි වෙලා තියෙනවා. 'පාතාල ලෝකයක්බිහි වෙන්නේ කුමක් නිසා ද? ඒ සඳහා අවශ්‍ය පරිසරය දරුවාට කුඩා කල සිට ම නිවසේදී නිර්මාණය කර දී තිබෙනවා. සමාජ විද්‍යාත්මක ඉගැන්වීමට අනුව ප්‍රචණ්ඩ දරුවකු බිහි වීමේ ප්‍රධානතම හේතුව 'මාතෘ විනකරණය සහ පීතෘ විනකරණය' යි. දරුවාට ක්සෙනෙහස සහ ඇගැයීම” ලැබිය යුතු අවස්ථාවේදී මවගෙන් හෝ පියාගෙන් එය

නොලැබෙනවා නම් එය යි, මාතෘ විනකරණය සහ පිතෘ විනකරණය' මෙයට ප්‍රධානත ම හේතුව ලෙස අප දකින්නේ මවු පියන් විදේශ ගතවීම සහ රැකියාවන්හි නියැලීමයි. දරුවාට මුල් ම ඇගැයීම ලබා දෙන්න ඕනෑ. තමන්ගේ ඇඳුම අපවිත්‍ර කරගන්නේ නැතිව ශරීර කෘත්‍යයක් කරන්න ඕන කියලා කියන්න පුළුවන් කාලයක් එනවා. අන්න ඒ දවසේදී පුදුම ඇගැයීමක් කරන්න ඕනෑ. ඒ ඇගැයීම තමයි ශ්‍රේෂ්ඨ මිනිහෙක් බිහිවෙන්න කවදා හරි හේතු වෙන්නේ. අද ඇතැම් නිවෙස්වල නිතර ම ඇගැයීමට පාත්‍ර වන්නේ එක දරුවෙක් පමණයි. පන්තියේ පළමුවැනියා, ශිෂ්‍ය නායකයා වන දරුවාට විතරයි මවුපියෝ ආදරේ. කඩේ යවන, ගෙදර දොර පවිත්‍ර කරන දරුවාට නෑ කිසිම සැලකිල්ලක්. මෙන්න මෙතැනයි වරද තියෙන්නේ. ලේ දරුවන් බිහි වීමේ පදනම දමන්නේ වැඩිහිටියෝ. නිවෙසින් නිසි රැකවරණය, ආදරය, ඇගැයීම සොයා බැලීම තිබෙනවා නම් දරුවන් නොමනා ක්‍රියාකාරකම්වලට පෙලඹෙන්නේ නැහැ. අද තරුණයෙක් නිර්මාණාත්මකව වැඩක් කළොත් ඒක සමච්චලයට ලක් කරනවා. මේ නිසා අද තරුණයො මවුපිය සෙනෙහස ප්‍රතික්ෂේප කරලා නොවෙයි තියෙන්නේ පුද්ගලයන් ප්‍රතිකේෂ්ප කරලයි තියෙන්නේ. මේ නිසා අද සමාජයට අවශ්‍ය මහලු නිවාස නොවෙයි, අනාථ වුණු තරුණ-තරුණියන්ටයි නිවාස අවශ්‍ය වෙලා තියෙන්නේ..


තරුණ භික්ෂූන් වහන්සේ අද "සිවුරු හැර" යනවා. මේ තත්ත්වය ශාසනයේ පැවැත්මට විශාල අභියෝගයක්?


තරුණ හාමුදුරුවරු අද විශාල වශයෙන් සිවුරු හැර යනවා. ඒකට එක හේතුවක් තමයි ඇගැයීමක් නැතිකම. මේ ගිහි සමාජයට වගේ ම පැවිදි සමාජයටත් පොදු යි. පුංචි හාමුදුරුවන්ගේ දක්ෂතා සමහර විට පන්සලේ ලොකු හාමුදුරුවෝ වත් ඇගැයීමට ලක් කරන්නේ නැහැ. කොළොම්පුරේ ජීවත් වෙන, මාධ්‍ය මගින් හුළං ගහගත්ත භික්ෂූන් වහන්සේ කිහිප නමක් ධර්ම දේශනාවලදී පුංචි හාමුදුරුවරු දැඩි ලෙස විවේචනය කරනවා. පොඩි හාමුදුරුවරුන්ට බනින්න අවශ්‍ය නම් ඒකට ක්‍රමයක් තියෙනවා. පිරිවෙනකට ගිහිල්ලා හාමුදුරුවනේ, මෙන්න මේ වැරැද්ද නිවැරැදි කරගන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැතිව මිනිස්සු ඉදිරියේ භික්ෂුව විවේනය කිරීම සතර අපාගත වෙත වැඩක්, ගුරු උපාධ්‍යයයන් වහන්සේ නමක් නැති, හික්මීමක් නැති කිහිප නමක් තමයි මේ දේ කරන්නේ. මේ භික්ෂූන්ට විරුද්ධව අද ලොකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පොඩි හාමුදුරුවරු සූදානමින් ඉන්නවා. පුංචි හාමුදුරු නමකට අද ජනමාධ්‍යයක ඉඩක් දෙනවද බලන්න. පිරිවෙනක් මගින් හෝ ධර්ම දේශනා පැවැත්වීම පුහුණු කරවල, මේ පුංචි හාමුදුරුවන්ගේ දක්ෂතා රටට ම පෙන්වන්න බැරි ඇයි?


අද ශාසනය වෙනුවෙන් දරුවෙක් පූජා කරන්න මවුපියන්ගේ ඉදිරිපත් වීම අඩු වෙලා තියෙනවා. මෙයත් ශාසනයේ පැවැත්මට විශාල ප්‍රශ්නයක්. දරුවෙක් ශාසනයට පූජා කළත්, ඒ මවුපියන්ට නිසි ඇගැයීමක් නැහැ.  මෙවැනි වාතාවරණයක ශාසන භාරධාරි හිමිවරුන්ගේ කාර්ය කෙබඳු විය යුතු ද?


ලංකා සමාජයේ පරමාදර්ශය හාමුදුරුවරු. එතැන නිවැරදි කරන්නේ නැතිව පහළ සමාජය නිවැරදි කරන්න බැහැ. අද පන්සල් යන්නත් පන්ති භේදයක් ඇති වෙලා තියෙනවා. මැති-ඇමැතිවරුන්ට, ධනවතුන්ට පිරිත් නූල් ගැටගහන්න වෙන ම පන්සල් තියෙනවා. එයා කෝටිපතියෙක් නම්, ප්‍රාඩෝ එකෙන් ඇවිත් බැන්දොත් පිරිත් නූල් ගැටගහනවා. එහෙම නැතිව දුප්පත් අසරණ මනුස්සයෙක් ඇවිත් අත දික් කළාට, ඒ අතට පිරිත් නූලක් ගැටගහනවා තියා පස්ස හැරිලා බලන්නේ නැති ශ්‍රමණ වේශධාරින් පිරිසක් ඉන්නවා. මෙන්න මෙතැනයි වෙනස් කරන්න ඕනැ. ඉබි යතුරු දාලා වහගෙන ඉන්න මහේශාක්‍ය පන්සල, ඉබි යතුරු ඇරෙන්න ඕනෑ කාලය ඇවිල්ලා. සංඝ සමාජය අද කප්පිත්තෙක් නැති නැවක් වගෙයි. මහා සංඝයා සමග සුහදව කටයුතු කළ හැකි, අල්පේච්ඡාතාවෙන් යුතු, අත් දෙක එකතු කරලා, දණගහලා, වඳින්න පුළුවන් සංඝ රාජයන් වහන්සේ නමක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේ ම සංඝාධිකරණයක් පිහිටුවීමට සුදුසු කාලය එළඹ තිබෙනවා.