
බළලා ද බල්ලා තරම්ම කාලයක සිට මිනිසා සමග ජීවත් වන බව සැලකිය හැකි ය. ගොවියාගේ ධාන්‍ය කෑමට එන මීයන් විනාශ කිරීම උගේ සේවය විය. බළලා ද විශේෂ චර්යා ඇති සතෙකි. බළලාගේ එක් විශේෂ ලක්ෂණයක් වන්නේ ඌ පහසුවෙන් මරණයට පත් නොවන සනෙකු වීම ය. බළලාට පණ හතක් ඇතැයි මතයක් පහළ වී ඇත්තේ එම නිසා ය. සත්ව විද්‍යාවේදීන් කියන්නේ බළලා පහසුවෙන් නොමැරෙන්නේ උගේ පණ හයිය නිසා නොව උගේ ශරීරය පිහිටා ඇති ආකාරය අනුව බවයි. බළලාට ඇත්තේ නම්‍යශීලී ශරීරයකි. පහරක් වැදුනත් ඌට තුවාලයක් සිදු නොවන්නේ එම නැමෙන සුලු ගතිය නිසා ය. බළලා උඩක සිට වැටුනත් පොළොවේ ගැසුවත් අනතුරක් නොවන්නේ උගේ පාදවල ඇති කොට්ට හේතුවෙනි. බළලා කොයි තරම් උඩක සිට වැටුනත් උගේ පා සතර බිම තබා ගැනීමට ඌ සමත් ය. එයින් ඌට අනතුරක් සිදු නොවේ. බළලාගේ ඇස් දෙකද පැරණි මිනිසුන්ට විස්මයක් ගෙන දීමට සමත් විය. දවල් කාලයට උගේ කළු ඉංගිරියාව රේඛාවක් තරම් වන අතර රාත්‍රි කාලයට එය සම්පූර්ණ රවුමක් බවට පත් වෙයි. එබැවින් බළලාට රාත්‍රි කාලයට හොඳින් ඇස් පෙනේ.
බළලා කොටියාට/ දිවියාට/ බෙහෙවින් සමාන ලක්ෂණ ඇති බැවින් මිනිසුන්ගේ තවත් විශ්වාසයක් වන්නේ බළලා කොටියාගේ ගුරුවරයා බව ය. ඒ අනුව කොටියාට ගස් නැගීමට ඉගැන්වූයේ බළලා ය. එහෙත් කොටියාට ගසින් බසින අන්දම බළලා උගන්වා නැත. එබැවින් කොටියා බළලාට වෛර බැද්දේ ය. මෙම වෛරය නිසා යම් අවස්ථාවක කොටියාට බළලා හමු වුවොත් බළලා මරා පසුව බළල් කුණට වඳින බව කියති. මරන්නේ ගසින් බැසීමට ඉගැන්නුවේ නැති නිසාය. වඳින්නේ ගුරුවරයා නිසා ය. අවතාර හෙවත් හොල්මන් වෙස්ගත් අමනුෂ්‍යයන් ද බළල් වෙසින් පැමිණෙතියි විශ්වාසයක් පවතී. එසේ සිතීමට තුඩු දී ඇත්තේ කිසියම් ස්ථානයක ශබ්දයක් හෝ සෙලවීමක් ඇති වූ විට එය පරීක්ෂා කළොත් බොහෝ විට එතැන සිටින්නේ බළලෙකු බව දැකිය හැකි නිසා ය. එම බළලා තමන් නොහඳුනන එකෙකු නම් එය බළල් අවතාරයක් ලෙස සලකනු නියත ය. බළලුන් සම්බන්ධ අධි විශ්වාස කීපයක් මෙසේ ය.
1. බළලුන් පොරකෑම කිසියම් අවාසනාවන්ත සිද්ධියක පෙර නිමිත්තකි.
බළලුන් පොරකන්නේ රාත්‍රී කාලයේ ය. උන්ගේ හඩ බෙහෙවින් අප්‍රිය ජනක ය. මෙසේ උන් කෑගසන්නේ අමනුෂ්‍යයින් ආරූඪ විමෙන් යයි මිනිස්සු සිතති.
2. කෙතරම් දුර ඈත ගෙන ගොස්දෙමුවබළලාට පාර සොයාගෙන ආපසු සිටි තැනට පැමිණිය හැකි ය.
මෙය ද බළලාගේ ඉව බලවත් බව පෙන්වන ලක්ෂණයකි. එහෙත් පැරැන්නන් විශ්වාස කළේ බළලා සතු ගුප්ත බලයක් නිසා මෙසේ කළ හැකි වී ඇති බවයි.
3. බළලකු අසූ වූ වාහනය තබා ගැනීම අනතුරු සහිත ය.
මෙය මෑත කාලයේ ඇති වූ විශ්වාසයක් ලෙස සැලකිය හැකි ය. මෙම විශ්වාසය තදින් අදහන රියැදුරෝ තම වාහනයට බළලකු යට නොකර පැදවීමට හැකි තරම් උත්සාහ ගන්නා අතර එසේ වාහනයට බළලෙකු යට වුවොත් එම වාහනය ඉක්මනින් අඩු මුදලකට හෝ විකුණා දැමීමට උනන්දු වෙනි.
4. බළලා උගේ පාදයෙන් මුණ පිරිසිදු කරයි නම් ගෙදරට අමුත්තෝ එති.
බල්ලා පිළිබඳව ද මෙම විශ්වාසය මෙසේ ම පවතී. යම් සිදුවීමක් කලින් දැන ගැනීමේ හැකියාවක් බළලාට ඇතැයි යන විශ්වාසය අනුව මෙය ඇති වී ඇත.
Comments
Post a Comment