gossiplanka image 1
 

මිනිසා වනාන්තරයේ ජීවත් වූ කාලයේ පටන් ම ඔහුගේ හොඳම මිතුරා වූයේ බල්ලා ය. සතුන් දඩයම් කර දීමත්, වෙනත් සතුන්ගෙන් දේපොළ ආරක්ෂා කර දීමත්, තනිකම මග හැරවීමෙනුත් බල්ලා මිනිසාට සේවය කළේ ය. මිනිසා ඇසුරේ බොහෝ කාලයක් රැඳී සිටීම නිසා උගේ හැසිරීම් රටා නිතැතින් ම අධ්‍යයන කිරීමට මිනිසුන්ට හැකි විය. බල්ලා තුළ අභිචාරි බලයක් ඇතැයි පැරණි මිනිසුන් සිනීමට පාදක වූ කරුණු කීපයක් විය. ඉන් එකක් වන්නේ ඌට තිබුණු තියුණු ඉවයි. මිනිසාට නොදැනෙන කරුණු බල්ලාට උගේ ඉවෙන් දැනගැනීමට හැකි විය. උගේ ඊළඟ හැකියාව වූයේ මිනිසාට නොපෙනෙන, නො ඇසෙන දර්ශන හා ශබ්ද ඌට දැකීමටත් ඇසීමටත් හැකිවීමයි. විද්‍යාත්මක සොයාගැනීම් අනුව ද බල්ලාට මිනිසාට නො ඇසෙන සියුම් කම්පන ශබ්ද ශ්‍රවණය කළ හැකි ය. අන්ධකාරයේ පවා ඌට ඇස් පෙනේ. මෙම හැකියාවන් අනුව  බල්ලා සමහර අවස්ථාවලදී මිනිසාට ග්‍රහණය කර ගත නොහැකි හේතුවක් නිසා බිරීමට පටන් ගනී. එසේ කරන්නේ ඌට හොල්මන් පෙනෙන නිසා යයි ගැමියෝ කියති.


මීට අමතරව පුරාවෘතවල අමනුෂ්‍යයන් බලු වෙස් ගෙන පැමිණි අවස්ථා ගැන සඳහන් වෙයි. විජය කුමරු ලක්දිවට පැමිණි අවස්ථාවේ කුවේණිය තම යක්ෂ සේකාවක බැල්ලියකගේ වෙස් ගන්වා වෙරළට එවූ බව වංශ කතාවල සඳහන් වේ. මෙම කරුණු මුල්කරගෙන බල්ලා සම්බන්ධයෙන් මිනිසුන් තුළ පවතින අධි විශ්වාස කීපයක් මෙසේ ය.


1. බල්ලා උඩුබුරුලෑමෙන් ප්‍රකාශ කරන්නේ මරණයක් හෝ එවැනි අවාසනාවන්ත දෙයක පෙර නිමිත්තකි.


බල්ලා සමහර අවස්ථාවල කිසිම හේතුවක් නැතිව මුඛය අහසට යොමුකරගෙන අඳනාවක විලාසයෙන් හඩක් නිකුත් කිරීමට පටන් ගනී. එහි ඇති කනට අමිහිරිකම හා හේතුවක් නොපෙනීම නිසා මෙම විශ්වාසයක් ඇති වූවා විය හැකි ය.


2. යමෙක් ගමනක් යාමට පිටත් වනවිට්ටබල්ලා කල්පොට ගැසුවොත් එම ගමන අසාර්ථක එකක් වෙයි.


බල්ලා හිස වේගයෙන් දෙපසට වැනීමෙන් උගේ කන් දෙක හිස දෙපස වැදීමට සැලැස්වීමෙන් නඟන හඩ කන්තොට ගැසීම නමින් හැඳින්වෙයි. ඌ හිස දෙපසට වැනීමෙන් ගමන යන්න එපා යයි සංඥා කරනවා යයි සිතීම නිසා මෙබඳු විශ්වාසයක් ඇති වුවා යයි සිතිය හැකි ය.


3. බල්ලාට පයින් ගසා කකුල උලුක් වුවොත් එය සුව වීමට බල්ලාට වැදීමට සිදු වේ.


බූතයකු ආරූඪ වී සිටින බල්ලාට පහර දීමෙන් බුතයා කෝප වී මෙවැන්නක් කිරීමට සිදුවන්නේ යයි විශ්වාස කරති. තවත් අතකට බැලුවොත් ස්වාමියාට හිතවත් ව ළඟම සිටිමින් සේවයේ යෙදෙන මෙම සතාට නින්දා අපහාස වන අන්දමට පහර දීම සුදුසු නැති බව මින් ප්‍රකාශ වෙතියි ද සිතිය හැකි ය. බල්ලාට බල්ලා නොකියා බලු උන්ද කීමට තරම් පැරැන්නන් පෙළඹුණු බව ප්‍රකට ය. ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිත කතාවට අයත් පුරාවෘතවල මෙවැන්නක් සඳහන් වෙයි.


4. පිස්සු බල්ලන් සපා කා සුව වූ තැනැත්තා කිසි දිනක ඌරු මස් නොකෑ යුතු ය. එසේ කෑවොත් නැවත රෝගය මතු වී මියයයි.


ඌරු මස් දැඩි කිල්ලක් ඇති ද්‍රව්‍යයක් හැටියට සැලකේ. බල්ලා සපා කා ඇත්තේ බූතාවේශයෙනි. එය සුව වුවත් ඌරුමස්වල කිල්ල නිසා බුතයා නැවත ආරූඪ වී ලෙඩා මරා දමනු ඇත යන විශ්වාසය නිසා මෙවැනි මතයක් ඇති වූවා යයි සිතිය හැකිය. වෛද්‍ය විද්‍යාව අනුව නම් ඌරුමල අනික් මලට වඩා විශේෂතාවක් ඇති බව සොයා ගෙන නැත.


5. බල්ලාගේ වලිගය උඩු අතට හැරී පිට දෙසට නැවී කවයක් ලෙස පිහිටා තිබීම ගෙදරට අසුභ ය.


 මෙහි අසුභ බව වැඩි වන්නේ එම කවය තුළින් මැස්සෙකු ගිය විට යයි තව දුරටත් කියනු ලැබේ. එක් එක් සතාගේ වලිගය එම සතුන්ගේ ක්‍රියාවන්ට බලපාන බව සත්ව විද්‍යාවේදීන් ප්‍රකාශ කර ඇත. බළලා වැනි සතුන්ට එලය ගැනීමට වලිගය පිහිට වෙයි.  බල්ලාට ද එවැනි ශක්තියක් ඉන් ලැබේ. උගේ වලිගය උඩ අතට හැරී තිබීමෙන් එවැනි වාසියක් ගත නොහැකි වෙයි. ඉහත කී විශා්වාසය ඇති වීමට එය හේතු වන්නට ඇත.


6. බල්ලා වාහනයකට මුත්‍රා කළොත් එම වාහනයට වාසනාව ළගා වෙයි.


මෙම විශ්වාසය මෑත භාගයේ ඇති වූවක් ලෙස සැලකිය හැකි  ය. එහෙත් දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ මෙය ප්‍රචලිතව පවතී.


වාහනයක් නැවත් වූ විට බල්ලන් එය ළඟට ගොස් රෝදවලට මුත්‍රා කිරීම සිරිතකි. සත්ත්ව චර්යා විමසුමට භාජනය කරන අය කියන්නේ බල්ලා එසේ කිරීමෙන් උගේ අයිතිය ප්‍රකාශ කරන බවයි. ඌට අයත් බල ප්‍රදේශයේ සීමාව දැක්වීම සඳහා එසේ කරන බව කියති. කෙසේ වුවත් බල්ලාගේ මෙම ක්‍රියාව අශෝභන එකකි. දඩුවම් ලැබිය යුතු වරදකි. එයින් බල්ලා ගලවා ගැනීම සඳහා කිසිවකු මෙවැනි විශ්වාසයක් නිපදවූවා දැයි සෙවිය යුතු ය.


7. බල්ලා පස්ස බිම උලාගෙන ගෙයින් පිට පැත්තට ගියොත් ගෙට අසුභ ය.


මෙම විශ්වාසයට පදනම් වූයේ කුමන කරුණක් දැයි සිතිය නොහැකි ය. මුලින් කී පරිදි උගේ අශෝභන ක්‍රියාවෙන් ගලවා ගැනීම සඳහා මෙබඳු විශ්වාසයක් ඇති වී යයි සිතිය හැකිය.


8 බල්ලා උගේ පාද ලෙවකමින් පිරිසිදු කරයිනම් ගෙදරට අමුත්තෙකු පැණෙන බව ඉන් කියැවේ.


බල්ලාට අනාගත අනාවැකි කීමට හැකිය යන විශ්වාසය අනුව මෙවැන්නක් ඇති වී ඇත. ගෙදරට අමුත්තන් එන විට සුදානම් වී සිටිය යුතු ය, යන අදහස ද ඉන් කියැවේ.


9. පාට කීපයක් ඇති බලාට වඩා තනි පාට බලා ගෙදරට සුබ ය.


මේ අනුව ගැමියන් කියන දෙයක් නම් බලු ආත්මය අවසන් වීමෙන් තනි පාටක් ඇතිව බලා උපදින බවයි. ඉන්පසු ඌ උපදින්නේ මිනිස් ආත්මයක් ඇතිවලු.