gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, අධ්‍යාපනයේ අගය පිළිබඳව බුදුරජාණන්  වහසේ දේශනා කර ඇති කරුණු මොනවා ද?


වර්තමානයේ අධ්‍යාපනය' යන සංකල්පයේ පුළුල් අර්ථය සලකා බැලුවොත්, අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයෙකුගේ භෞතික සහ ආධ්‍යාත්මික යන දෙඅංශයෙන්ම දියුණුවක් ඇති කිරීම යි. මෙහිදී දැනුම, අවබෝධය, නිපුණතා, ආකල්ප, සංජානනය සහ සංවේදනය ආදී සියලු අංශවල ස්ථිර සාර වෙනසක් අපේක්ෂා කරනවා.  බුදුරජාණන් වහන්සේන්ගේ ඉගැන්වීම අනුවත් අධ්‍යාපනය අර්ථ දක්වා තිබෙන්නේ පුද්ගලයෙකුගේ දෙලොව ම දියුණුව සලසාගත හැකි මගක්” ලෙස යි. ඒ නිසා ආගමික වශයෙන් හෝ

සංකල්පයක් වශයෙන් හෝ අර්ථ දැක්වුවත්, අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයෙකු තුළ ස්ථිරසාර වශයෙන් ඇතිවෙන්නා වූ වෙනස්වීම් තුළින්, සමාජ ප්‍රගමනය ඇතිකිරිමයි.


අද මේ යහපත් වෙනස සිදු වෙනවා ද?


ඇත්තට ම නැහැ. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය විවිධ අංශ ඔන්සේ ගැටලු සහ අභියෝග රැසකට මුහුණ දුන්නා. ඊට ප්‍රධාන හේතුව වී තිබුණේ අපි ඉහතින් සඳහන් කළ පුළුල් භාවිතය දක්නට නොතිබීම යි. වර්තමාන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. ඊට ආසන්තම උදාහරණයක් ගනිමු. අපේ පාසල් අධ්‍යාපන මට්ටම මනින මිනුම් ඒකකයක් ලෙසට විභාග යන නිර්ණායකය පාවිච්චි කරනවා. අද නිතර අසන්නට ලැබෙන චෝදනාවක් වගේ ම, එක්තරා විදියක අවලාද නැගීමක් තියෙනවා. සෑම වසරක ම අපේ දරුවන්ගෙන් සා/පෙළ සහ උ/පෙළ විභාගවලින් සුදුසුකම් ලබන්නේ සියයට 50කට අඩු පිරිසක්. 2007දී උ/පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතයෙන් පෙන්නුම් කරන්නේ අපේ අධ්‍යාපනයේ සාධනීය මට්ටමට ළඟා වීමට දරුවන්ට නොහැකි වූ බව යි.


එසේ වීමට බලපෑ හේතු සාධක මොනවා ද?


බොහෝ අය චෝදනා කරන්නේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මානව සම්පත් සහ භෞතික සම්පත් ප්‍රමාණවත් නැහැ කියලයි. ඒත් මේ කාරණයේ දී මීට වඩා බලපාන සමාජගත තත්වයන් කිහිපයක් තිබෙනවා.  මා දකින ආකරයට 'විභාග' සීමාවෙන් මිදිලා, නිදහස් මානසික තත්වයක් ඇති කිරීමට නොහැකි වීම තුළ අපේ අධ්‍යපනය සිර වෙලා තියෙනවා. ගුරුවරයා නම් වූ සම්පත කෙරෙහි ම යැපීම කියන මානසිකත්වයට, මවුපිය -දූදරු දෙපාර්ශ්ව ය ම නැඹුරු වෙලා. ඒ එක කාරණයක්. ඒ වගේම, දැනුම ගිල්ලවීමේ සංකල්පය අද අපේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතිනවා. සතියේ දවස් පහ ම පාසල් හමාර වූ පසුවත්, සමහර විට දවස් හතමත් බාහිර පන්ති යන ළමයි ඉන්නවා.


මේවාට අමතරව නැටුම් හෝ සංගීත පන්තියකට ළමයගේ දක්ෂතාව කැමැත්ත නොවිමසා ම මවුපියන් විසින් බලහත්කාරයෙන් පන්ති අරක්ගෙන යන අවස්ථා තියෙනවා. මේ බලෙන් පැටවීමේ ආකල්පය නැත්නම් ගිල්ලවන්න උත්සාහ කිරීම වැරැදි සංකල්පයක් හැටියටයි මා දකින්නේ. මේ නිසා කුඩා කල පටන් ම තරගකාරිත්වය ළමා සිත ආක්‍රමණය කරනවා. පන්ති ගිහිල්ලා ඉගෙනගැනීම, විභාගයට මුහුණදීම, එයින් ලබාගන්නා ප්‍රතිඵල ඔස්සේ රැකියාවක් ලබාගැනීම   මේ ආදි සියල්ල ම තරගයක්. මේ නිසා ශිෂ්‍යයා තුළ ආත්මාර්ථකාමී බව නැගී සිටීමත්, ආධ්‍යාත්මික වශයෙන් පිරිහීමට පත් වීමත් වැළැක්විය නොහැකි යි.


අප ජීවත් වන පරිසරය තුළ යහපත් අධ්‍යාපනයක් ලැබිය හැකි ද?


ළමයෙකුගේ අධ්‍යාපනය ඉහළ නංවන්න පවුල් පරිසරය බලපානවා. අ.පො.ස (සා.පෙළ) දක්වා වයසේ සිටින ළමයින්ට අධ්‍යාපනය ලබාදීමේ දී සියයට 50ක පමණ දායකත්වයක් තමන්ගේ පවුල් පරිසරය තුළින් ම ලබාදිය යුතුයි. විෂය කරුණු කියා මා කියන්නේ නෑ. ළමයෙකුගේ ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කිරීමට සුදුසු ආකල්ප, සිරිත් විරිත් පුරුදු කළ හැක්කේ පවුල් පරිසරය තුළිනුයි. එහිදී සාකච්ඡාවට, ඇහුම්කන් දීමට, ප්‍රශ්න කිරීමට අවස්ථාව ලැබෙනවා. සෑම නිවෙසක ම සති අන්තයේ පැයක  හෝ දෙකක කාලයක් කාල සටහනකට අනුව කියවීමට අවශ්‍ය පරිසරයක් ගොඩනැගුණොත් ඉහත කරුණු සම්පූර්ණ කරගැනීමට ඒක ලොකු පිටිවහලක් වෙනවා.  බුදුරජාණන් වහන්සේ මවුපියන්ට 'පුබ්බාචරිය' කියලා විශේෂ නමක් පාවිච්චි කරනවා. පාසලේ ගුරුවරයාට කලින් මුණගැහෙන මුල් ම ගුරුවරයා තමයි අම්ම තාත්තා. ඒ නිසා අපේ ආධ්‍යාත්මික ශික්ෂණයේ මුල් ම අඩිතාලම දමන්නේ ඔවුන් දෙදෙනායි.


වර්තමානයේදී පාසල් සිසුන්ගේ විනය විරෝධි ක්‍රියාවල වැඩී වීමක් දක්නට ලබෙනවා.


වර්තමානයේදී ගුරු-සිසු දෙපාර්ශ්ව යේ ම විනය සම්බන්ධ ගැටලු පවතිනවා. ශිෂ්‍ය විනය පිරිහීම සම්බන්ධයෙන් මෑතකදී සිදු වූ බොහෝ කනගාටුදායක සිදුවීමක් සිහිපත් වෙනවා.

මෙවර පාසල් නිවාඩුව ආරම්භ වූ දිනයේදී ජල ප්‍රහාරයකින් බේරීමට පාර හරහා ගමන් කල විශාඛා විදුහලේ අධ්‍යාපනය ලැබූ, පවුලේ එක ම දරුවා, මවගේ දෑස් ඉදිරිපිට ම බසකට හැපී මරණයට පත් වුණා. පාසල් සිසුන්ගේ විනය විරෝධී ක්‍රියා වැඩි වීමට තොරතුරු තාක්ෂණයේ දියුණුව අනිසි විදියට බලපා තිබෙනවා. මේ තත්වයට වැටබඳිමින්, අසභ්‍ය චිත්‍රපට, වීඩියෝ දර්ශන, අන්තර්ජාලය හරහා ලබාගැනීමේ අවකාශ පසුගිය දා රජය මගින් තහනම් කළා.

මෙය ඉතාමත් හොඳ තීරණයක්. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අප ස්තුතිවන්ත විය යුතු යි. මේ තීරණය නිසා ආර්ථික වශයෙන් පාඩු වූවත් රටේ ආධ්‍යාත්මික සහ සමාජ වත්කම් ඉහළ යනවා. "


දරුවන්ට වරදට දඬුවම් කරන්න එපා කියලා අද විශාල ජන මතයක් ගොඩනැගෙමින් පවතිනවා. ඔබ වහන්සේ මේ අදහස එකග වෙනවා ද?


ඇතැමුන් දඬුවම් කිරීම පිළිබඳ බටහිර සංකල්ප හිසේ තියාගෙන කතා කළාට, අපේ ඉතිහාසය පුරා ම දඬුවම් ක්‍රියාත්මක කළ අවස්ථා තිබුණා. . බුදුරජාණන් වහන්සේත්තේ දඬුවම් විධි ක්‍රම අනුමත කළා. ඡන්න හාමුදුරුවන්ගේ මාන්නය බිඳීමට බ්‍රහ්ම දණ්ඩනය පැනෙවුවා. අපේ සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමය තුළ ජනප්‍රිය කවියක් තියෙනවා.


වේවැල් කෝටු නාරං සියඹලා අතු

කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය  අතු

මේ හැම ඉපල් මගේ දෑසට නොපෑ යුතු

පමා නොවී එමි අකුරට මෙයින් මතු


ශික්ෂාකාමී අධ්‍යපනයක් පවත්වාගෙන යන්න නම්, සමහර දඬුවම් ක්‍රම අවශ්‍ය බව එදා සිට ම පිළිගත් මතයක්.  අපි හිතමු, අකුරු ලියන්න පුරුදු  වෙන වයසේ ළමයෙක්  බිත්තියේ හැම තැන ම ඉරි අඳින්න පටන් ගත්තත්  මවුපියන් එකට ඉඩදෙන්නේ නැහැ. මනෝ වෛද්‍යවරුන් පවා අද කියන්නේ දරුවාගේ දක්ෂතා වැඩිදියුණු කරගන්න චිත්‍ර අවස්ථාව දෙන්න ඕනෙ කියලයි. කුඩා දරුවන්ගේ නිපුණතා වැඩිදියුණු කරගැනීමට චිත්‍ර අඳින්න ඉඩ දිය යුතු බවට වෛද්‍යවරු පවා පවසනවා. නමුත් මෙහිදී වෙන්නේ ඒ ළමයට සම්මතය කඩා බිඳ දමන්න.  අලංකාරය නැති කිරීමට, පරිසරයට හිතකාමී නොවෙන්න අවස්ථාව ලබාදීමකුයි. මේ සියල්ල නැති කරගෙන අපි ළමයගෙන් එක දෙයක් පමණක් අපේක්ෂා කරනවා. ඒ තමයි කුසලතා, නිපුණතා ඇති කිරීම. ඒ ළමයා පුරුදු වෙන්නේ මොකක් ද? සමාජයේ සම්මත හොඳ නරක නොතකා කටයුතු කිරීමට යි. ටිකක් වැඩිහිටි වුණාට පස්සේ පිරිසක් මැද්දේ ඇඳුම් ගලවා දමන්න වුණත් ඒ ළමයට පුළුවන්. මොක ද, ළමයට ඒකට ඉඩදීලා තියෙනවා.  යමක් කරන්නට අවශ්‍ය විනය වැදගත්කොට සලකලයි අකුරු  ලියන්න ඕනැ. හැබැයි බිත්තිය තියෙන්නේ ඒකට නොවෙයි.   සමහරු කියන්නේ ටිකක් ලොකුවෙලා නම් තේරුම් ඇති වයසෙදී ඔය වගේ දේවල් කරන එකක් නැහැ කියල. ඒක වැරදියි.


 

ජීවිතයකට පුරුද්දක් ඇති වූ පසු වළක්වාගන්න අපහසු යි.  අද ගුරු විනය පිරිහිලා. ඇතැම් ගුරුවරු ළමයින්ට වීඩියෝ චිත්‍රපට පෙන්වා අපචාරවලට පොලඹවාගැනීමට උත්සාහගත් අවස්ථා අසන්නට ලැබුණ.  ගුරුවරුන්ට විවිධාකාරයේ චෝදනා පසුගිය කාලය පුරා ම එල්ල වුණා. ළමයින්ට වීඩියෝ චිත්‍රපට පෙන්වා අපචාරවලට පොලඹවා ගැනීම. අයථා ආකාරයට වැඩ ගැනීම. තමන්ගේ බලය පාවිච්චි කරලා, මවුපියන්ගේ වැරදිවලට ළමයින්ගෙන් පලි ගත් අවස්ථා තිබුණ. මේවායින් අපට පෙනෙන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ විනයේ බිඳවැටීම යි.

ගුරුවරයා කියන්නේ ළමයා එදිනෙදා දකින පරමාදර්ශී චරිතයක්. ගුරුවරයා අනුගමනය කරන්නයි දරුවන් උත්සාහ ගන්නේ. ඒ නිසා ගුරු - සිසු සබඳතාව වඩාත් අර්ථවත් වන්නේ ඒ ගුරුවරයාගේ පෞරුෂය, හැකියාව, දැනුම, උගන්වන ආකාරය යන සමාජ හිතකාමි සංකල්පනා මත යි.


ගුරු - සිසු සබඳතාව පිළිබඳව බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේ ඉතාමත් පැහැදිලිව දේශනා කර තිබෙනවා. ගුරුවරයා තම අයිතිවාසිකම් ගැන කතා කිරිමට පළමුව, ශිෂ්‍යයා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් පහක් පෙන්වා දී තිබෙනවා. ඒ තමයි ශිෂ්‍යයා හික්මවීම, ඉගැන්වීම, මනාව දැනුම ලබාදීම, ලෝකයට හඳුන්වා දීම සහ ආරක්ෂා කිරිම.


මේ යුතුකම් සමුදාය අද අපේ ගුරු පරපුරෙන් ඉෂ්ට වෙනවා ද?


අද ඇතැම් පාසල් අවම සාධන මට්ටම් සහ ඉහළ සාධන මට්ටම් තියෙන, දක්ෂ සහ අදක්ෂ ගුරුවරු සිටින, ජනප්‍රිය සහ වැසී යන යනුවෙන් වර්ගීකරණයකට ලක් වෙලා! සමහර ළමයි පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන් ම දෙවෙනියට දාලා, අමතර පන්තිවලට යනවා. ගුරුවරයාගේ වගකීම් සමුදාය නිසියාකාරව ඉටු වුණා නම්, ඇත්තටම අපේ රටේ මේ වගේ තත්වයක් ඇති වන්නේ නැහැ.


ඇතැම් පාසල්වල ගොඩගැසි ඇති පෙළපොත් නැවතත් කඩදාසි සංස්ථාවට යැවීමට සුදානම් කර ඇති  බවක් පසුගියදා අසන්නට ලැබුණා. මෙවැනි ත්ත්වක් ඇති වීමට හේතුව කුමක් ද?


අපේ අසල්වැසි ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය වැනි රටවල් සමඟ සංසන්දනය කිරීමේදී අපේ රට අධ්‍යාපනය සඳහා විශාල මුදලක් වැය කරන රටක්. ඒ වගේ ම හොඳ පළපුරුදු ගුරුවරු පිරිසක් අපට ඉන්නවා. ඒත් ගැටලු ඇති වී තිබෙන්නේ පරිපාලනයේ දුර්වලකම යි.  රජය වසරකට පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන  1000ක් පමණ වැය කරනවා. නමුත් පෙළ පොත් නොලැබුණු  ළමයි බොහෝ පිරිසක් සිටින බව අපට පසුගිය දා අසන්නට ලැබුණා. ඒ අතර ඇතැම් පාසල්වල පෙළපොත් ගොඩගැහිලා.  ඒවා නැවතත් කඩදාසි සංස්ථාවට යවන්න සූදානම් කරලා.  මෙහි වැරැද්ද ඇත්තේ කොතැනද?

අධ්‍යාපනයට පහසුකම් සැලසීමේ චින්තනය ඉහළ මට්ටමක තිබුණත්, ඒවා ක්‍රියාත්මක කිරීමේදී විවිධ නිලධාරින් සම්බන්ධයෙන් අඩුපාඩු තියෙනවා. ඔවුන්ගේ සේවය හරිහැටි ඉටු නොවීම තුළ යි මෙවැනි චෝදනා අසන්නට ලැබෙන්නේ.