
ස්වාමීන් වහන්ස, වර්තමානයේ අමනුෂ්‍යයන්ගෙන් මිනිසුන්ට බලපෑම් ඇති වෙනවද?
වර්තමානයේ ජීවත් වන මිනිසුන් දිහා බලද්දී, සියයට අසූවකටත් වඩා වැඩි පිරිසකට අමනුෂ්‍යන්ගෙන් බලපෑම් ඇති වන බව පැහැදිලියි. සමහර අමනුෂ්‍යයන් මිනිසුන්ගේ ශරීරයට ඇතුළු වෙලා ජීවත් වෙනවා. සමහර අමනුෂ්‍යයන් පිටින් ඉඳගෙන මිනිසුන් අනුව යමින් ජීවත් වෙනවා. මේ ප්‍රතිශතය අනාගතයේදී එන්න එන්න ම වැඩි වෙනවා. බුද්දක නිකායේ පේත වත්ථු කියන කොටසේ අමනුෂ්‍ය ජීවිත ලබල නොයෙක් දුක් දොම්නස් විඳින අමනුෂ්‍යයන් ගැන සඳහන් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දිනක් මුණගැසුණු ප්‍රේතියක් තමන්ට පින් අනුමෝදන් කරන්න යැ යි ඉල්ලා සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා, ප්‍රේතිය, නුඹ මෙච්චර කලක් ආහාර ලෙස අනුභව කළේ මොනවද?" කියලා. ඒ ප්‍රේතිය කියනවා, 'මිනිසුන්ගේ ශරීරවලින් බැහැර කෙරෙන කෙළ, සොටු, සෙම, පිලිස්සෙන මළමිනීවලින් උතුරන වුරුණු තෙල්, දරුවන් වදන කොට ගලන ගැබ් මල, මිනිසුන්ගේ ශරීරවල ලේ තමයි අපි ආහාරයට ගන්නේ කියාලා. සමහර අමනුෂ්‍යයන් ඉන්නවා මිනිසුන්ගේ ඇඟට ඇතුළු වෙලා ලේ උරන්න බැරි නම්, පිටතින් ඉඳගෙන අනතුරු කරනවා. තුවාල කරනවා. පොඩි වැඩක් කරන්න ගියත් අතපය තුවාල වෙනවා. අන්න එතකොට ගලන ලේවල තියෙන ඕජාව උරා බොනවා.
අමනුස්සයන් මිනිසුන් ඇසුරු කරන්ගෙන ජීවත් වීම නිසා ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ද?
සාමාන්‍යයෙන් අමනුෂ්‍යයන් ශරීරවලට ඇතුළත් වීම නිසා එකිනෙකා තුළ නොයෙක් ලෙඩ රෝග, චර්යා රටාවන්ගේ වෙනස්කම් ඇති වෙනවා. සමහර අයට වෙනදට වඩා ඉක්මනින් තරහ යනවා. එකිනෙකා රුස්සන්නේ නැහැ. නිතර ම අඬදබර ඇති කරගන්නවා. නිතරම නොසන්සුන් ස්වභාවයෙන් තමයි හැසිරෙන්නේ. සමහර අමනුෂ්‍යයන් මිනිසුන්ගේ ඇඟට ඇතුළු වෙලා ලේ බොනවා. සමහර අය ඒ බව නොදන්නාකම නිසා ලියුක්බියාවට බෙහෙත් කරනවා. ලියුක්බියාව කියලා හිතාගෙන හිටපු සමහර අයගේ ඇගවල්වල හිටපු දරුණු අමනුෂ්‍යයන් ඉවත් කළාට පස්සේ ඒ රෝගය සුවපත් වෙලා තියෙනවා. එහෙම සුවපත් වුණු අය මට මුණගැහිලා තියෙනවා. ඒකෙන් කියන්නේ නෑ ලියුකේමියා රෝගය අමනුෂ්‍යන් නිසා ම හැදෙනවා කියලා. නමුත් කලාතුරකින් ලේ බොන දරුණු අමනුෂ්‍යයන් නිසා ලියුකේමියාව කියලා රැවටිලා ප්‍රතිකාර ගන්න අයත් ඉන්න පුළුවන්... ඒ අතර සමහර අමනුෂ්‍යයන් ඉන්නව, ශරිරයට ඇතුළු වුණාට පසසේ ශරීරයේ තැන් තැන්වල විටින් විට වේදනා ඇතිවෙනව. බඩ ඇතුළෙන් මිරිකනව වගේ දැනෙනව, පපුව හිරවෙනව වගේ දැනෙනව, කොඳු ඇට පේළිය රිදෙන්න ගන්නව, නිතර හිසේ කැක්කුම ඇතිවෙනව..
මේ කායික රෝග වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි ද?
ඇත්තෙන් ම මෙවැනි ශාරීරික වෙනස්කම් දිහා භෞතික විද්‍යාත්මකව බලන කෙනෙකුට මේ සියල්ල කායික රෝග හැටියට පෙනෙන්න පුළුවන්. මනෝ විද්‍යා ඇසින් පමණක් බලන කෙනෙකුට සමහර අමනුෂ්‍යයන් නිසා ඇති වන වෙනස්කම් මානසික රෝග හැටියට පෙනෙන්න පුළුවන්. ඇත්තෙන් ම කායික රෝග කියල අවුරුදු ගණන් බෙහෙත් බීපු අය, ස්නායු ආබාධ කියල විදුලි සැර අල්ලපු අය පසුව අමනුෂ්‍යයන් නිසා හට ගත් රෝගයක් කියල දැනගැනීම තුළ අමනුෂ්‍යයා ඉවත් කරගැනීම නිසා සම්පුර්ණයෙන් ම සුවය ලබලා තියෙනවා. පැරණි මිනිස්සු මේ ගැන දැනගෙන හිටපු නිසා තමයි වෙදකමත්, හෙදකමත් දෙක ම සිදු කළේ.
දවසක් කුරුණෑගල ප්‍රදේශයේ අවුරුදු 45ක් පමණ වයස ඇති රෝහල් සේවිකාවක් මාව හමුවෙන්න ආවා. ඇයට අවුරුදු 20කටත් වැඩි කාලයක ඉඳන් යටිබඩේ අමාරුවක් තියෙනව කියල කිව්ව. නොයෙක් පර්යේෂණ කරල, ශල්‍යකර්මයකටත් මුහුණ දීල, ගර්භාෂයේ පිළිකාවක් කියල සැක කිරීම නිසා ගර්භාෂය පවා ඉවත් කරලා. කොයි තරම් ප්‍රතිකාර කළත් තවමත් යටිබඩ රිදෙනව කිව්ව. මම කිව්ව 'කායික රෝගයක් කියල වෛද්‍යවරුන්ට හොයාගන්නත් බැරි නම්, අමනුෂ්‍යයෙක් ඇතුළු වෙලා කුස තුළ තෙරපීමක් ඇතිකරනවා වෙන්න පුළුවන් කියල. නමුත් පිළිගත්තේ නැහැ. ඊට පස්සේ මම සරල භාවනාවක් කියලා දුන්නා. හැමදාම තුනුරුවන් වන්දනා කරලා මේ විදිහට භාවනා කරන්න පටන් ගන්න කියල. ටික දවසක් භාවනා කරගෙන යද්දි මේ කාන්තාවට ම දැනෙන්ට පටන් ගත්ත අමනුෂ්‍යයෙක් තමන්ගේ ශරීරයට ඇතුළු වෙලා බඩ මිරිකගෙන ඉන්නවා කියලා. ඇය උත්සාහයෙන් වීරියෙන් දිගට ම භාවනා කරන්ගෙන යද්දි අමනුෂ්‍යයා ඒ කාන්තාව අතහැරල ගියා. ඊට පස්සේ ලෙඩෙත් සනීපයි.
දේවාලවල ගොස් හිරිහැර පීඩා දුරු කරගන්න දෙවි පිහිට යදිනවා. අමනුස්සයන්ගෙන් ඇති වන කරදරවලට දෙවියන්ට පිහිට වෙන්න පුළුවන් ද?
බොහෝ දෙනෙක් කරන්නේ, අමනුෂ්‍ය උපද්‍රවවලින් බේරෙන්න ධර්මානුකූලව ජීවත් වෙන්න උත්සාහ කිරීම නොවෙයි. සුපුරුදු විදිහේ දුස්සීල ජීවිත ගත කරමින් ඒ පැමිණිල්ල අරගෙන ගොස් දෙවියන්ට පවසනවා. ඒ දේවාලයේ ඉන්නවා බලගතු අමනුෂ්‍යයෙක්. ඒ අමනුෂ්‍යයා ඉදිරියේ මේ පැමිණිල්ල කරලා තමන්ව බේරල, ආරක්ෂා කරල දෙන්න කියල බැගෑපත්ව ඉල්ලා සිටිනවා. ඒ ප්‍රශ්නයට මැදිහත් වෙන්න නම්, මේ වගේ දේවල් අරගෙන ඇවිත් පූජාවක් තියන්න ඕනි කියලා බඩු ලැයිස්තුවක් ආවේශයෙන් ම කියාගෙන යනවා. බොහෝ විට ඔය ලැයිස්තුවල තියෙන්නේ ගොඩ මස්, දිය මස්, කුකුළෙක් නැත්නම් කුකුල් ලේ බිත්තර ආදි නොයෙක් පුලුටු වර්ග, පලතුරු, කැවිලි වර්ග සමහර තැන්වල අමනුෂ්‍යයන් කැමති දේවල් තියල කසිප්පු, අරක්කුත් ඉල්ලනව. ඉතිං වෙන වෙන ම ගොටුවල තියල පූජා කරනවා.
කාට ද මේ පූජා කරන්නේ? පූජා කරන කෙනා හිතාගෙන ඉන්නේ, දෙවියන් මේව භාර ගන්නව කියලයි. දිව්‍ය භෝජන මිසක් දෙවියන් පුලුටු ජාති කන්නේ නැහැ. ඒ දේවාලයට අරගෙන සිටින බලගතු අමනුෂ්‍යයන් මේ පුලුටු පිළිඅරගෙන සතුටු වෙල අර පැමිණිල්ල අරගෙන ආපු මිනිස්සුන්ට කරදර හිරිහැර කරන ඥාති ප්‍රේතයව පන්නල දානවා. සමහර විට දේවාලයට අරක්ගෙන සිටින අමනුෂ්‍යයාට වඩා බලගතු අමනුෂ්‍යයෙක් ඉන්නවා නම්, එවැනි අවස්ථාවල මිනිස්සු රවට්ටල පුද පූජාවන් ගෙන්න ගෙන ඔවුන් මඟ අරිනවා. බොරු කරනවා. ඔන්න ඔය වගේ අවස්ථාවලදී තමයි අමනුෂ්‍යයන්ගෙන් වන ආරවුල් විසඳගන්න රටේ තියෙන දේවාල ගානේ ගියපු අය "අපි මේචර වියදම් කළා, නොගිය දේවාලයක් නෑ. මුං ඔක්කොම අපි රැවැට්ටුවා” කියමින් බැන බැන යන්නේ.
අමනුස්සයන් නිසා සිදු වුණු සිදුවීම් සාක්ෂි ඇතිව ඔප්පු කරල පෙන්නන්න පුළුවන් මට්ටමේ තියෙනවද?
ලක්ඛණ සූත්‍රයේ ප්‍රේතයන් ගැන කියවෙන දේශනා කිහිපයක්ම තියෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ලක්ඛණ මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයේ ඉඳන් රජගහ නුවරට පිණ්ඩපාතය වැඩම කරද්දී මුගලන් මහරහතන් වහන්සේ ඇටසැකිල්ලක හැඩය ඇති ප්‍රේතයෙක්ව දැකල සිනහ පහළ කළා. ලක්ඛණ මහරහතන් වහන්සේ ඒ පිළිබඳ විමසුවා. මුගලන් මහරහතන් වහන්නේ කියා සිටිනා 'ඒ ගැන දැන් මගෙන් අහන්න එපා. බුදුන් වහන්සේ ළඟදී ඒ ගැන විස්තර කියන්නම්කියලා. පසුව මුගලන් මහරහතන් වහන්සේ මේ ගැන බුදුන් වහන්සේන්ගෙන් විමසුවා. එවිට බුදුන් වහන්සේ වදාළා, 'මහණෙනි, ඔය සත්වයාව මම කලින් දැක්කා. නමුත් මම ඒ ගැන ප්‍රකාශ කළේ නැහැ. මම ඔය ගැන ප්‍රකාශ කෙරුවා නම් ශ්‍රද්ධාව නැති උදවිය විශ්වාස නොකරන්න තිබුණා' කියා, අතීත විස්තරයක් හෙළිදරවු කළා. බුදුන් වහන්සේ එවැනි අත්භූත සත්වයන් ගැන දැනගෙන හිටියත් සාක්ෂි ඉදිරිපත් වන තෙක් හෙළිදරවු කළේ නැහැ.
දැනට අවුරුදු තුනකට විතර කලින් මාතලේ ප්‍රදේශයේ එක්තරා නිවෙසක අවුරුදු විසිපහක් පමණ වයසැති තරුණ කාන්තාවකට සිදු වුණු සිදුවීමක් තියෙනවා. මේ කාන්තාවගේ ශරීරයට අසූචි දමනවා. නමුත් වටේ සිටින කිසිම කෙනෙකුට දමන කෙනෙකුත් පෙනෙන්නේ නැහැ. ඔළුව කහනවා කියලා, ඔළුව කහල අත බලද්දි ඇඟිලිවල අසූචි තැවරිලා. අසූචි ගෑවෙන ගෑවෙන තැන් කසනවා. බෙල්ල කැසුවත්, අතපය කැසුවත්, බඩ පපුව කැසුවත්, කසල අත දිහා බලද්දි ඇගිලිවල අසූචි තැවරිලා. කෑම කන්න අරගෙන බත් එක දිහා බලද්දී බත් එකටත් වැලි දාලා. නාලා පිරිසුදු වෙලා එළියට එනකොට ඇඟ පුරා ම අසූවි ගඳයි. ඇග පුරාම කසනවා. මේ වගේ තවත් බොහෝ සිදුවීම් තියෙනවා. නමුත් මෙවැනි සිදුවීම් අමනුෂ්‍යයන් නිසා සිදු වුණ සිදුවීම් හැටියට ඔප්පු කරල සාක්ෂි ඇතිව පෙන්වන්න කිසිම විද්‍යාවකට තවමත් හැකියාවක් ලැබිල නැහැ. යම් දවසක මෙවැනි සිදුවීම් පිළිබඳ ලෝකයට හෙළිදරවු කරන්න හැකියාව ලැබුණොත් ධර්මය කෙරෙහි මීට වඩා වැඩි නැඹුරුවක් මිනිසුන් තුළ ඇතිවෙන්න පුළුවන්.
අමනුස්සයන්ගෙන් සිදු වන හිරිහැර පීඩාවන්ගෙන් ධර්මානුකව, නිදහස් වෙන්න යම් අයෙක් කල්පනා කරනවා නම්, ඒ සඳහා ගත යුතු පියවර කවරේ ද?
අමනුෂ්‍ය උවදුරුවලින් ආරක්ෂා වීම පිණිස අපි කාගෙත් ජීවිත තුළ තිබෙන හොඳ ම ආරක්ෂිත රැකවරණය තමයි මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරගැනීම. නිරන්තරයෙන් මෙත්‍රී සිතක් පුරුදු කරනව නම් කිසි ම අමනුෂ්‍යයකුට එවැනි කෙනෙක්ව වෙහෙසවන්න බැහැ ගොදුරක් බවට පත් කරගන්න බැහැ. භාවනා ඔන්සේ සිත දියුණු කිරීම තුළ චිත්ත බලයෙන් ඕනැ ම අමනුස්සයෙක් දමනය කරන්න පුළුවන්කම තියෙනවා.
Comments
Post a Comment