ඉකුත් සෙනසුරාදා දිනයක ඇය ගමේ කඩමණ්ඩියට පැමිණියේ කලබල විලාශයක් පෙන්නුම් කරමිනි.
මුදලාලි බටර් බිස්කට් තියනව ද ඇය මුදලාලිගෙන් විමසීය. මොහොතක් නිහඬව කල්පනා කළ මුදලාලි “බටර් බිස්කට්” යයි නැවතත් විමසමින්, “නෝනා, ඒවා කොහේද මේ ගමේ කඩවල, ටවුමටම ගියොත් තමා ගන්න පුළුවන්” යැයි පැවසීය.
ඒ ආසන්නයේ වූ තවත් වෙළෙඳ සැළක් වෙත ගිය ඇය මුහුණ ඇඹුල් කරගෙන නැවත් පෙර කී කඩය වෙත එද්දී , නෝනා ත්‍රීවීල් එකකින් ටවුමට යන්න. එහෙන් තමා ගන්න පුළුවන් යයි පැවසීමත් සමග කඩමණ්ඩියේ තිබූ ත්‍රීවීල් රථයක් ඇය අසලම නැවැත්වීය.
තලාතුඔය ටවුමට යමු, ඇය රියැදුරුට කීවාය. ඒ යන අතරමග කිහිප ස්ථානයකදීම බටර් බිස්කට් තිබේදැයි විපරම් කර ඇති අතර ඇයට ලැබී ඇති පිළිතුර වූයේ “නැත” යන්නය. කිලෝමීටර පහක පමණ දුරක් ගෙවා නගරයට ගිය ඇය අවසානයේ බේකරියක් අසල නැවතී බටර් බිස්කට් සොයාගෙන තිබේ.
බේකරි හිමිකරු සිලි සිලි මල්ලක ඇයට උවමනා බටර් බිස්කට් පැකැට්ටුව දමා දී තිබේ. එය ද රැගෙන නැවත ගමේ කඩමණ්ඩියට පැමිණි ඇය ත්‍රීවිලරයෙන් බැස මුදල් ගෙවද්දී පෙර කී මුදලාලි ඇයගේ අතෙහි වූ විස්කෝතු පැකැට්ටුව දෙස බලා, “හත්තිලව්වයි නෝනා... හුළං විස්කෝතු කියලා කිව්වා නම් මම දෙනවා නේ.... මේ තියන්නේ බෝතල් පුරවලා” යනුවෙන් පවසමින් කඩය තුළ ඇති ලොකු වීදුරු බෝතලය පෙන්වා තිබේ.
එහෙත් ඒ වනවිට නෝනා රුපියල් පනහේ හුළං විස්කෝතු පැකැට්ටුව සඳහා රුපියල් තුන්සිය පනහක් වැයකර අවසන් ය.
රට පමණක් නොවෙයි. දැන් හුළං විස්කෝතුවෙත් නම වෙනස් වෙලා යි. මුදලාලි කඩමණ්ඩියට පැමිණෙන තැනැත්තන්ට නිතර පවසනු ඇසේ.
Comments
Post a Comment