ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඇය දොර ළඟට ගොස් බැංකුව තුළට එබී බැලුවාය. මේ දිනවල රටේ පවතින අයහපත් වාතාවරණය නිසා වරකට බැංකුව ඇතුළට ගන්නේ සීමිත පිරිසක් නිසා එහි වූයේ දිගු පෝලිමකි. එපමණ දිගු පෝලිමක රැඳී සිටින්නට ඇය අකමැති වූවාය. එනිසා පෝලිම අඩුවූ විට එන අදහසින් ඇය පාරට බැස්සාය. ඒ සමගම ඇයගේ පරණ මිතුරියක් හමුවිය. මිතුරියට අවුරුදු දෙකක තරම් වයසේ පසුවන කුඩා දියණියක්ද වූවාය.
“හා කොහොමද ඉතින්, කොච්චර කාලෙකින්ද දැක්කේ? මේ බබාත් වඩාගෙන කොහේද යන්නේ“ ඇය මිතුරියගේ දුක සැප විමසමින් දිර්ඝ පිළිසඳරක යෙදෙන්නට වුවාය.
“ඉතින් ආරංචි වුණා ඔයා රටගියා කියලා. ළඟදිද ආවේ?’’ මිතුරියද ඇගේ විස්තර විමසුවාය.
“ඔව් ගිය සතියෙ ආවේ, බැංකුවට ආව සල්ලි ටිකක් ගන්න, අපෝ එතැන පෝලිම දැක්කම එපා වෙනවා. වරුවක් විතර ඉන්නවෙයි. මේ බබා පොඩ්ඩක් මට වඩා ගන්න දෙන්න’’
ඇය මිතුරියගේ බබා වඩාගෙන බැංකුවේ දොර ළඟට ගියාය. බබා “අම්මා අම්මා’’ කියමින් කෑ ගසන්නට විය. දොර ළඟ සිටි ආරක්ෂකයාද කුඩා දරුවා වඩාගෙන සිටි නිසා ඇය බැංකුව ඇතුළට ගත්තේය. බබා වඩාගෙන බැංකුවට ඇතුළුවූ ඇය දිගු පෝලිමේ මුලටම ගොස් කවුන්ටරයේ සිටි නිලධාරිනියට පොත ඉදිරිපත් කලාය. පෝලිමේ සිටි අයගෙන්ද බාධාවක් නොවූයේ දරුවාද මහ හඬින් අම්මා අම්මා කියමින් අඬන්නට වූ නිසාය. මේ අතර කවුන්ටරයේ සිටි නිලධාරිනියද කඩිනමින් ඇයගේ මුදල් ලබා දුන්නාය. බැංකුවේ දොරකඩටවී දරුවාගේ අම්මාද බලා සිටියාය. එලියට පැමිණි ඇය දරුවා මිතුරියට දුන්නාය.
“ඉන්න මම බබාට චොක්ලට් ගේන්නම්’’ කී ඇය අසල කඩයකට ගොස් රුපියල් දහයක චොක්ලට් පෙත්තක් ගෙනැවිත් දරුවා අත තැබුවාය. එහෙත් දරුවා එය ප්‍රතික්ෂේප කරමින් අම්මාගේ පපුවට තුරුල් විය.
“හරි හරි අපි යන්නම්’’ කියමින් ඇය ඉක්මන් ගමනින් ගියේ මිතුරියට හිතින් දොස් පවරමිනි.
Comments
Post a Comment