gossiplanka image 1
 


දැනට වසර කිහිපයකට පෙර දිනක උදෑසනම කඩිමුඩියේ ගමනක් යමින් සිටි අපේ ගම් පළාතේ වැඩිහිටි කාන්තාවක් මට හමුවිය. කොහේද යන්නේ. මම නිකමට මෙන් ඇයගෙන් ඇසුවෙමි. තාත්තා හොයාගන්න බැරි අම්මත් අත් ඇරල දාල ගිය අවුරුදු පහක විතර කොලු පුංචෙක් මට හම්බ වුණා. මම මේ යන්නේ පොලිසියේ පොත්තේ ලියල ඒ දරුව කිරිත්තං කර ගන්න. ඈ මට කීවාය. කිරිත්තං කිරිම යනුවෙන් සිංහල ගැමියන් අදහස් කරන්නේ මෙයාකාරයෙන් දරුවන් දරුකමට හදා ගැනීමටයි. ලංකාවේ ග්‍රාමීය පරිසරය තුළ ජීවත් වන්නන්ගේ සැලකිය යුතු පිරිසක් අද වනතුරු කල්පනා කරනුයේ දරුවකු කුලවද්දා ගැනීමට පොලිස් පොතේ ප්‍රකාශයක් ලියා තැබීම ප්‍රමාණවත් බවයි.


මෙයාකාරයෙන් පොලිස් පොතේ සටහන් කර දරුකමට හදා ගැනීමේ ක්‍රමයක් නැති බව මම අසල්වැසි කාන්තාවට පැහැදිලි කර දුන්නෙමි. අනුන්ගේ දරුවකු නීත්‍යනුකූලව දරුකමට හදා වඩා ගැනීමට නම් දිසා අධිකරණය වෙත අයැදුම් කර කුලවද්දා ගැනීමේ නියෝග යක් තමන්ගේ නමට ලබාගත යුතුය. මේ හැර අනුන්ගේ දරුවන් නීතියේ අවසරයකින් තොරව තමන්ගේ භාරයේ තැබීම තුළින් නීතිමය ගැටලු රැසකට මැදිවීමට සිදුවනු ඇත. සාමාන්‍ය නීතිය යටතේ දරුවකු කුලවද්දා ගැනීම සම්බන්ධව මූලික නීති රීති ඇතුළත්වන්නේ 2001 අංක 61 දරන පනතෙන් සංශෝධිත කුලවද්දා ගැනීමේ පනතෙහිය. දරුකමට හදා ගැනීමේ  පනත යනුවෙන් හැඳින්වෙන්නේ ද එයයි.


දරුකමට හදා වඩා ගැනීමට සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා


යම්කිසිවකු දරුවකු නීත්‍යනුකූලව තමන්ගේ නමට හදා වඩා ගැනීමට අයදුම් කරන්නේ නම් දරුකමට හදා වඩා ගැනීමේ පනතේ 13 වැනි වගන්තියේ කියැවෙන ආකාරයෙන් අයදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතුය.දරුකමට හදා වඩා ගැනීමේ පනතේ 2(2) වගන්තිය අනුව දෙදෙනකුට එක් දරුවකු හදා වඩා ගැනීමට අවසර දෙනුයේ ඒ දෙදෙනා ස්වවාමිපුරුෂයා සහ භාර්යාව වන්නේ නම් පමණි. පනතේ 3 වැනි වගන්තිය අනුව ඉල්ලුම්කරුවන් සහ හදාවඩා ගැනීමට අපේක්ෂක්ෂා කරන දරුවා අතර පහත සඳහන් වයස් පරතර සම්පූර්ණ විය යුතුය.


ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25 හෝ ඊට වැඩි විය යුතුය.


ඉල්ලුම්කරු දරුවාට අවුරුදු 21කින් වත් වැඩිමහල් විය යුතුය (3(1) වගන්තිය).


අධිකරණය සෑහීමට පත් කරන සුවිශේෂී කරුණු නැත්නම් තනි පිරිමියකුට ගැහැනු දරුවකු දරුකමට හදා වඩා ගැනීමට නොදිය යුතුය (3(2) වගන්තිය).


දරුවාගේ දෙමාපිය හෝ භාරකරුවන්ගේ භාරයේ සිටීනම් ඔවුන්ගේ කැමැත්ත නැතිව දරුකමට හදා වඩා ගැනීමට නොදිය යුතුය (3(3) වගන්තිය).


විවාහක යුවළක එක් අයකු දරුවකු හදාවඩා ගැනීමට ඉල්ලන්නේ නම් අනෙක් කලත්‍රයාගේ කැමැත්ත අවශ්‍යය (3(4) වගන්තිය).


වයස අවුරුදු 10කට වැඩි දරුවකු හදාවඩා ගැනීමට නම් දරුවාගේ කැමැත්ත සලකා බැලීම අනිවාර්යය (3(5) වගන්තිය).


ලංකාවේ ස්ථිර පදිංචිය නොමැති අයකුට දරුකමට හදා වඩා ගැනීමට අවසර නොදිය යුතුය (3(6) වගන්තිය).


ලංකාවේ ස්ථිර පදිංචිය නැති දරුවකු සම්බන්ධයෙන් දරුකමට හදා වඩා ගැනීමේ නියෝගයක් ලබා නොදිය යුතුය (3(6) වගන්තිය).



කුලවැද්දීමේ නියෝගයක් කිරීමේදී සැලකිය යුතු කරුණු


දරුකමට හදාවඩාගැනීමේ අයදුම්පතක් ඉදිරිපත් කළ විට ඉල්ලුම්කරුවන්ගේ ඉල්ලීමට ඉඩ දීමට පෙර අධිකරණය විසින් පහත දැක්වෙන අවශ්‍යතා ගැන සෑහීමට පත් විය යුතුය.


දරුවාගේ ස්වභාවික මාපියන් නඩුවට අනවශ්‍ය යැයි අධිකරණය තීරණය කළහොත් හැර ඔවුන් කුලවද්දා ගැනීමේ නියෝගයෙන් පසු දරුවාගේ අයිතිවාසිකම් අත්හැර දමන බව ඔවුන් දැනුම්වත් වීය යන්න පිළිබඳව අධිකරණය සෑහීමට පත් විය යුතුය. (4(අ).


නියෝගයෙන් දරුවාගේ සුබසිද්ධිය ඇතිවන බවට සෑහීමට පත් විය යුතුය (4(ආ).


දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධව මුදල් හුවමාරුවක් හෝ ත්‍යාගයක් හෝ එබඳු පොරොන්දුවක් සිදු නොවූ බව සෑහීමට පත් විය යුතුය (4(ඇ).


තවද පනතේ 5 වැනි වගන්තියෙන් ඉඩ සලසන පරිදි දරුකමට හදා ගැනීමේ නියෝගයක කිසියම් කොන්දේසි ඇතුළත් විය හැකිය.


තවද දරුවා ඉල්ලුම්කරුවන්ගේ භාරයට ඉක්මනින් පත් කළ යුතු විට පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව අතුරු නියෝගයක් මගින් දරුවා ඉල්ලුම්කරුවන්ට භාර දිය හැකිය. එනමුත් දරුවාගේ සහජ දෙමාපියන්ගේ කැමැත්ත අනවශ්‍ය බව අධිකරණය තීරණය කරන විට හැර අනෙක් විට ඒ සම්බන්ධව සහජ දෙමාපියන්ගේ කැමැත්තද අවශ්‍ය වෙයි (71) වගන්තිය).



කුලවැදුම් අයදුම්පත්  ඉදිරිපත් කිරීම


දරුකමට හදා ගැනීමේ අයදුම්පත් දිසා අධිකරණය වෙත ලඝු කාර්ය පටිපාටිය අනුව පෙත්සමකින් හා දිවුරුම් පෙත්සමකින් ඉදිරිපත් කළ යුතුය. පනතේ 13(1) වගන්තිය අනුව ඉල්ලුම්කරුවන්ගේ පදිංචියට අදාළ දිසා අධිකරණය වෙත හෝ දරුවා රඳවා ගෙන සිටින ප්‍රදේශයේ දිසා අධිකරණයට ඉල්ලුම්පත ඉදිරිපත් කළ යුතුය. මෙයාකාර අයැදුම්පත් ඉදිරිපත් කිරීමේදී පහත දැක්වෙන කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.


අධිකරණය විසින් අයැදුම්පත ඉදිරිපත් වූ පසු පරිවාස  වාර්තා කැඳවනු ලැබේ. එබැවින් පරිවාස වාර්තා කැඳවීමට අදාළ නොතීසි පිළියෙල කර නඩුවට ඉදිරිපත් කළ යුතුය.


දරුවාගේ සහජ මාපිය භාරකරු ආදීන් වේ නම් ඔවුන් නඩුවට වග උත්තරකරුවන් කළ යුතුය.


දරුවා ළමා නිවාසයක සිටී නම් ළමා නිවාස පාලක තැනද නඩුවට වග උත්තරකරු කළ යුතුය.  


අධිකරණයෙන් අතුරු නියෝගයක් මත දරුවා ඉල්ලා සිටී  නම් ඒ ඉල්ලීම පෙත්සමේ සඳහන් කර ආයාචනයේද එය දැක්විය යුතුය.


දරුවාට උප්පැන්න සහතිකයක් නිකුත් කර නැත්නම්  ඉල්ලුම්කරු කැමැති නමක් දරුවාට ලබා දිය හැකිය.


තවද දරුවකු දරුකමට හදා වඩා ගැනීමට ඉල්ලුම් කිරීමට පෙර එම දරුවා ළමා රෝග විශේෂඥයකු වෙත යොමුකර දරුවා හදා වඩා ගැනීමට සුදුසු තත්වයක සිටී දැයි පරික්ෂ කර ගැනීමට උත්සාහ කිරීම අගනේය.