gossiplanka image 1
 


ශ්‍රී ලංකාවේ බලපාන රෝම - ලන්දේසි නීති මූලධර්ම මත වලංගු විවාහයක් විසුරුවා හැරීම සඳහා විරුද්ධ පාර්ශ්වයේ  වෛවාහක වරදක් ඔප්පු කළ යුතු වෙයි. මෙරට දිසා  අධිකරණයන්හි පවරනු ලබන දික්කසාද නඩුවලින් වැඩිම ප්‍රමාණයක වෙවාහක වරද ලෙස දක්වනුයේ ද්වේෂසහගත හැර දැමීමයි.  නීති තාක්ෂණික භාවිතය අනුව ද්වේෂසහගත ලෙස හැර දැමීම යන කරුණු දෙකක් ලෙස විග්‍රහ කර ඇත. ඒ අනුව ද්වේෂසහගත ලෙස හැර දැමීම යනු අසාධාරණ හා අවසානාත්මක ලෙස තම වෛවාහක පාර්ශ්ව කරු හැර දැමීමකි. මෙහිදී අදාළ හැර දැමීම තුළ එකී ලක්ෂණ දෙකම පවතින බව දික්කසාදය ඉල්ලා සිටින පාර්ශ්වකරු විසින් ඔප්පු කළ යුතු වෙයි. ද්වේෂ සහගත ලෙස හැර දැමීමක් ඔප්පු වීමට නම් විවාහ බන්ධනය අවසන් කිරීමේ චේතනාවෙන් හැර ගිය බව සාක්ෂි මගින් ඔප්පු කළ යුතු බව ගුණවර්ධන එදිරිව වික්‍රමසිංහ ( 34 නනිවා 5) නඩුවේ දී පෙන්වා දී ඇත.


මේ කරුණු රාමලිංගම් එදිරිව රාමලිංගම් (35 නනිවා 174) දරන නඩුවේ දී අවධාරණය කර ඇත. එබැවින් ද්වේෂසහගත ලෙස‍ෙ හැර දැමීම මත දික්කසාදයක් ඉල්ලා සිටින පාර්ශ්වකරුවකු විසින් හැර දැමීම අවසානාත්මක ලෙස සිදුවිය යන්න හා අසාධාරණ ලෙස  සිදුවීය යන්න සාක්ෂි මගින් ඔප්පු කිරීමට උත්සාහ කළ යුතුය.  කෙසේ නමුත් ද්වේෂසහගත ලෙස හැරදැමීම යන වෛවාහක වරද ඔප්පු කළ යුත්තේ සාක්ෂි වැඩි බර මතය. එනම් සිවිල් නඩුවක සම්මත ඔප්පු කිරීමේ භාරය ද්වේෂසහගත ලෙස හැරදැමීම ඔප්පු කිරීමට අදාළ කරගනු ඇත. රාජේශ්වරරානී එදිරිව සුන්දරරාසා (64 නනිවා 366) නඩුවේ දී ඉදිරිපත්වූ සාක්ෂි අනුව එක් පාර්ශ්වයක් එක ස්ථානයක වෛවාහක නිවෙස පවත්වා ගෙන යෑමට කැමැත්ත පළකළ අතර අනෙක් පාර්ශ්වයට වෙනත් තැනක වෛවාහක නිවෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය විය. මේ හැර බරපතළ නොහොඳ නෝක්කඩුකම් දෙපාර්ශ්වය අතර ඇති නොවීය. මෙම අවස්ථාවේ දී ද්වේෂසහගත ලෙස හැර දැමීමක් සිදු වී නැති බව අධිකරණයේ මතය විය.


සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ කෙනකුට දික්කසාදයක් ලබා ගත හැක්කේ වෛවාහක වැරැදි තුනකින් එකක් හෝ ඔප්පු කිරීමෛන් බව පැහැදිලි කරුණකි. දික්කසාදයක් ලබා දීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී ඇති අවස්ථාවන්හි දී වෛවාහක වරද යන්න පුළුල් අර්ථ දැක්වීමට අධිකරණය කටයුතු කර ඇති ආකාරය පෙනී යයි.  මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණු වනුයේ වලංගු විවාහයක් සිදුවීමට දෙපාර්ශ්වය විවාහයට විධිමත්ව අත්සන් තැබීම ප්‍රමාණවත් බවයි. සංවාසයේ යෙදීම හෝ විවාහ මංගල්‍ය  උත්සවයක් පවත්වා විවාහය පරිපූර්ණ කිරීම අතිරේක ක්‍රියාවකි.


සංවාසයේ යෙදිම හෝ විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වීම තුළින් පර්යාප්ත කළ විවාහයක් හා පර්යාප්ත නොකළ විවාහයක් අතර වෙනසක් නීතීය නොදකියි. එනමුත් විවාහය පර්යාප්ත කිරීම වෛවාහක යුතුකමකි. විවාහය පර්යාප්ත නොකිරීම වෙවාහක යුතුකමක් කඩකිරිමකි. ඒ අනුව සංවාසයේ යෙදීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ද්වේෂසහගත ලෙස හැර දැමීමේ වෛවාහක වරද සිදුවන බව මොහොට්ටි අප්පු එදිරිව ඩිංගිරි බණ්ඩා (25 නනිවා 221) නඩුවේදී තීරණය කර ඇත.  ජයරත්න එදිරිව ජයරත්න (2002 - 3 ශ්‍රීලනිවා 331) යන නඩුවේ දී මුල් නඩුව පවරන ලද්දේ ද්වේෂසහගත ලෙස හැර දැමීමේ හේතුව මතය. පසුව හෙළිදරව් වූ අනාචාර ක්‍රියාවක් ද ඇතුළත් කර පැමිණිල්ල සංශෝධනයට උත්සාහ කළ නමුත් එම ඉල්ලීම නීත්‍යනුකූල එකක් නොවන බව තීරණය විය. මීට හේතුව නඩු නිමිත්ත පැන නැගුණු පසු සිදු වූ ක්‍රියාවන් මත අලුතෙන් නඩු නිමිති එක් කළ නොහැකි වීමයි.