gossiplanka image 1
 


වෛවාහක සබඳතා හේතුවෙන් හටගන්නා යුතුකම්වලට වෛවාහක යුතුකම් යන නම කියැවෙයි. එයාකාරයෙන්ම වෛවාහක අයිතිවාසිකම්ද ඇත. ශ්‍රී ලංකාවෙහි පොදු නීතියේ  වෛවාහක යුතුකම් හා අයිතිවාසිකම් සම්බන්ධව අදාළ වන්නේ  රෝම - ලන්දේසි නීතියෙන් පැන නැගුණු යුතුකම්ය. ඒ අනුව විවාහයකට එළැඹුණු පසු ස්වාමිපුරුෂයා විසින් බිරිඳ හා දරුවන් පරිපෝෂණය කිරිමේ වෛවාහක යුතුකමක් ඇත. විවාහයකට පරිබාහිරව උපන්නද තම දරුවන් පරිපෝෂණය කිරීමේ යුතුකමක් දෙමාපියන්ට පැවැරෙයි. ඒ අනුව ආහාරපාන සපයා දීම, ඇඳුම් පැලඳුම්, වාසස්ථාන සපයා දීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අයත් බෙහෙත් හේත් ආදියට අවශ්‍ය වියදම් දැරීමද පරිපෝෂණයේ යුතුකමට අයත්ය. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට අවශ්‍ය වියහියදම් සඳහාද දෙමාපියන් වගකිව යුතු වෙයි.


එකී පරිපෝෂණය පිළිබඳ වගකීම් කඩ කළ කල්හි නීතියේ මැදිහත්වීම නොවැළැක්විය හැකි අවශ්‍යතාවයක් විය. ඉංග්‍රීසි ජාතිකයන් විසින් මෙරටට අදාළ කළ මුල් නඩත්තු ආඥා පනතෙහි මූලික අරමුණ වූයේ දරුවන් සහ බිරින්දෑවරුන් පරිපෝෂණය කිරීමේ යුතුකම් කඩකළවිට නීතියේ පිළිසරණ ලබාදී එම වගකීම් බලගැන්වීමයි.  පසුකාලීනව හඳුන්වා දුන්1981 අංක 100 දරන පනතේ 3 වැනි වගන්තිය නඩත්තු පනත තුළ නීති තාක්ෂණික වශයෙන් වැදගත් ලක්ෂණ තිබුණි. ප්‍රමාණවත් හේතුවක් නොමැතිව ස්වාමියා හැර ගිය බිරිඳක් නඩත්තු කිරීමේ යුතුකමක් ඒ අනුව ස්වාමි පුරුෂයාට  නොවීය (1981 අංක 100 දරන පනත්තේ 3 වැනි වගන්තිය). එමෙන්ම තමන් නඩත්තු ගෙවීමට නොව නඩත්තු කිරීමට සූදානම් බව ස්වස්වාමි පුරුෂයා කියන විට බිරිඳට ප්‍රමාණවත් හේතුවක් නොමැතිව එය ප්‍රතික්ෂේප කර නඩත්තු ඉල්ලීමට නොහැකි විය. මේ හේතුව නිසා මුල් නඩත්තු ආඥා පනත බලාත්මකව පවත්නා අවධියේදී  නඩත්තු නීතිය ඉතා සුමටව ක්‍රියාත්මක විය. කෙසේ වෙතත් අසූවේ දශකය හා අනූවේ දශකය තුළ මෙරට නීති ක්ෂේත්‍රයේ ස්ත්‍රීවාදී රැල්ලක් ඇති විය. ස්ත්‍රියට සමාජය තුළ වැඩි ආරක්ෂක්ෂාවක් සහ වැඩි පිළිගැනීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ස්ත්‍රීවාදී ව්‍යවස්ථාකරණය ආරම්භ විය.


1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ පනත

විවාහ ලියාපදිංචි කිරීමේ පනතට එක් කළ සංශෝධනය මගින් විවාහ වීමේ වයස් සීමා ඉහළ දැමීම

1999 අංක 37 දරන නඩත්තු පනත

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත යනාදිය ස්ත්‍රීවාදී ව්‍යවස්ථාකරණයේ ප්‍රතිඵලයන් ලෙස සැලකිය හැකිය.


මෙම පනත් තුළින් එතෙක් ඒඒ නීති ක්ෂේත්‍රයන් තුළ තිබූ සමබර බව ගිලිහී ගිය අතර ඒ වෙනුවට විසඳුම් සෙවීමට අපහසු වියවුල් රැසක් නිර්මාණය විය. උදාහරණයක් ලෙස 1999 අංක 37 දරන නඩත්තු පනත සැලකුවොත් බැලූ බැල්මටම පුරුෂ පක්ෂය විසින් වුව තම යැපීම සඳහා නඩත්තු අයැදුම්පතක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඉන් ලබා දී ඇති බව පෙනෙයි. එනමුත් අයුක්තිසහගත ලෙස ස්වාමියාගෙන් වෙන්වී සිටින බිරිඳක් නඩත්තු කිරීමට තරම් නව පනත දුර දිග ගිය අයුරු පෙනෙන්නට ඇත.  දැනට ක්‍රියාත්මක වන නඩත්තු නීතිය වහ වහා සංශෝධනයන්ට ලක් නොකළහොත් විසඳුම් සෙවීමට නොහැකි පවුල් ප්‍රශ්න රැසක් මැද රටෙහි ජනතාවගෙන් සෑහෙන පිරිසක් අතරමං වීම වළකනු නොහැකිය.


නඩත්තු ඉල්ලුම් කිරීම


1999 අංක 37 දරන නඩත්තු පනතේ ප්‍රකාරව පුද්ගල කොට්ඨාස හතරකට අයත් වූවන් විසින් (හෝ වෙනුවෙන්) නඩත්තු අයදුම්පතක් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකිය.


කලත්‍රයන් (ස්වාමිපුරුෂයා හෝ භාර්යාව)

ළමයින්

වියපත් දරුවන්

ආබාධිත දරුවන්


පනතේ 2(1) වගන්තිය අනුව කලත්‍රයන් සඳහා නඩත්තු ගෙවීමේ වගකීම පැන නගින්නේ තම නඩත්තුව තමාට කරගෙන යා නොහැකි කලත්‍රයකු නඩත්තු කිරීම ප්‍රමාණවත් වත්කමක් ඇති අයකු විසින් නොසලකා හැරීමෙනි. ඒ අනුව මෙවැනි අවස්ථාවකදී මූලික වශයෙන් ඔප්පු කළ යුතු කරුණු තුනකි. එම කරුණු දෙක වනුයේ තමන්ට තමන් නඩත්තු කරගත නොහැකි බව, කලත්‍රයා තමන් නඩත්තු කිරීම පැහැර හැරීම හා අනෙකාගේ ආදායම් තත්වයයි. මෙම කරුණු ඔප්පු කළ කල්හි මාසික නඩත්තු දීමනාවක් ගෙවන ලෙස නියම කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. එම නියෝගය කිරීමේදී


ඉල්ලුම්කරුගේ ආදායම

පැහැර හැරි කලත්‍රයාගේ වත්කම්

අවස්ථානුගත කරුණු යන දේ සැලකිල්ලට ගනු ඇත


පනතේ 2(1) වගන්තියේ අතුරු විධානය අනුව පහත සඳහන් අවස්ථාවන්හිදී නඩත්තු ගෙවීමේ වගකීමක් පැන නොනගී.


ඉල්ලීම කරන කලත්‍රයා අනාචාරයේ ජීවත් වන්නකු නම්

කලත්‍රයන් දෙදෙනාම අන්‍යෝන්‍ය කැමැත්තෙන් එකිනෙකාගෙන් වෙන්ව ජීවත් වන්නේ නම්,


ඉල්ලුකාරිය අනාචාරයේ ජීවත් වන බැවින් තමන් නඩත්තු ගෙවීමට බැඳී නොසිටින්නේ යැයි වගඋත්තරකරු කියන්නේ නම් නඩත්තු අයදුම්පත ඉදිරිපත් කරන ලද කාලසීමාවේදී ඇය අනාචාරයේ ජීවත්වූ බව ඔප්පු කළ යුතුය. මේ සම්බන්ධව විජේසූරිය එදිරිව සිල්වා (38 නනිවා 425) දරන පැරණි නඩත්තු ආඥා පනත යටතේ විමසීමට ගත් නඩුවේදී සාකච්ඡාවට භාජනය

විය.


නඩත්තු ආඥාව


නඩත්තු අයදුම්පතක් විමසීමට ගන්නා මහේස්ත්‍රාත්වරයකු විසින් ස්වකීය ආඥාව නඩත්තු පනතේ 2 වැනි වගන්තියෙන් සලසා ඇති පරිදි නිකුත් කළ යුතුය. එය මාසික දීමනාවක් හැටියට මුදලක් ගෙවීමට නියම කිරීමකි. නඩත්තු පනතේ 2(5) වගන්තිය අනුව නඩත්තු මුදල් ගෙවිය යුත්තේ අධිකරණය විසින් අන්‍යාකාරයකින් ආඥා කළහොත් හැරුණු කොට නඩත්තු ඉල්ලීම කළ දින පටන්ය. මෙම විධානය පිළිබඳව නොදන්නා කමින් නඩත්තු නඩුවල වගඋත්තරකරුවෝ බොහෝ දෙනෙක් අසීරුතාවන්ට පත්වෙති. සමහරවිට නඩත්තු ආඥාවක් නිකුත් කරන්නේ නඩුව පවරා මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගත වූ පසුය. එවන් අවස්ථාවක නඩුව පැවැරූ දින සිට නඩත්තු මුදල් ගෙවීමට අනකිරීමෙන් පසු වගඋත්තරකරු විසින් ගෙවිය යුතු හිග නඩත්තු මුදලක් නිර්මාණය වෙයි. සමහර විට එම මුදල රුපියල්  ලක්ෂ ගණනක් විය හැකිය.


එබැවින් තමන්ට විරුද්ධව නඩත්තු නඩුවක් පවරා ඇති විටෙක වගඋත්තරකරුවන් ප්‍රමාණවත් මුදලක් අත ඉතිරිකර තබා ගැනීම සුදුසුය. නොඑසේ නම් සිදුවන්නේ හිග නඩත්තු මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාරගත වීමය.  අධිකරණය විසින් නඩත්තු ගෙවීම සඳහා ආඥාවක් නිකුත් කර ඇති විට තැපැල් කාර්යාලය මගින් හෝ බැංකුව මගින්  නඩත්තු මුදල් ගෙවීමට අවසර දෙන ලෙස7(1) වගන්තිය අනුව ඉල්ලීමක් කළ හැකිය.  බාලවයස්කරුවකුට නඩත්තු ගෙවන ලෙස අධිකරණයෙන් ආඥා කර ඇති විට එම දරුවාට වයස 18 සම්පූර්ණ වූ පසුවද තවදුරටත් නඩත්තු ගෙවිය යුතු බව අධිකරණයට පෙනී යන්නේ නම් මුල් නඩත්තු නියෝගය මත තවදුරටත් නඩත්තු ගෙවන මෙන් නියම කළ හැකි වෙයි. මේ කරුණු තිලකරත්න එදිරිව මඩවල (ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු අංක-102/2007) දී පැහැදිලි කරනු ලැබීය.



 නඩත්තු අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම


නඩත්තු අයදුම්පතක් ඉදිරිපත් කරන ආකාරය නඩත්තු පනතේ 4 වැනි වගන්තියෙන් විස්තර කෙරෙයි. මේ අනුව පහත සඳහන් අය විසින් නඩත්තු ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම නීත්‍යනුකූලය.


ළමයකු හෝ ආබාධිත දරුවකු සඳහා ළමයා හෝ ආබාධිත  දරුවා හෝ ඔහුගේ භාරකාරත්වය දරන කෙනකු විසින්


වියපත් දරුවකු වෙනුවෙන් ඒ දරුවා විසින් හෝ කවර හෝ තැනැත්තකු විසින්


කලත්‍රයකු වෙනුවෙන් කලත්‍රයා හෝ කවර හෝ තැනැත්තකු විසින්


පනතේ 4(2) වගන්තිය අනුව ඉල්ලීම ඉදිරිපත් කළ යුතු මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ යුතු මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කල හැකිය.  ඒ අනුව ඉල්ලුම්කරුගේ හෝ වග උත්තරකරුගේ පදිංචියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ සම්බන්ධව නඩු පැවැරිය හැකිය. නඩත්තු පනතේ 10 වැනි වගන්තිය අනුව නඩත්තු ඉල්ලීම් මුද්දර ගාස්තුවෙන් නිදහස්ය. මෙහි මුද්දර ගාස්තුව යනු නඩු  පැවැරීමට අය කරනු ලබන ගාස්තුවයි. එබැවින් පාර්ශ්වකරුවන්ට  ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන කැඳවීම් සඳහා මුද්දර සහිත  ලිපිකවර අවශ්‍ය අවස්ථාවලදී ඒවා සැපයිය යුතු වෙයි. පනතේ 11 වැනි වගන්තිය අනුව සෑම නඩත්තු අයදුම් පතක්ම දිවුරුම් ප්‍රකාශයක් සමග ඉදිරිපත් කළ යුතු අතර වග උත්තරකරුට යවන සිතාසිය සමඟ දිවුරුම් ප්‍රකාශයේ පිටපතක්ද නිකුත් කළ යුතු වෙයි. නඩත්තු ඉල්ලීමේදී ඇතිවන යම් දෝෂයක් හෝ අක්‍රමිකතාවකින් අනෙක් පාර්ශ්වකරු අගතියට පත් වන්නේ නම් මිස අධිකරණය එම දෝෂය හෝ අක්‍රමිකතාව මත නඩත්තු අයැදුම්පතක් ප්‍රතිෂ්ප නොකළ යුතුය (11(2) වගන්තියේ අතුරු විධානය).



නඩත්තු ආඥා බලාත්මක කිරිම


මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නඩත්තු ආඥාවක් නිකුත් කළ කල්හි එය අධිකරණය විසින් අවලංගු හෝ නිරබල කරන තෙක් වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉල්ලුම්කාර පාර්ශ්වය වෙත නඩත්තු මුදල් ගෙවිය යුතු වෙයි. යම්කිසිවකු නඩත්තු ආඥාව කඩකළ විටෙකදී ඉල්ලුම්කාර පාර්ශ්වය විසින් නඩුව කැඳවා ඒ බව මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දිය හැකිය. එලෙස දැනුම් දුන් කල වග උත්තරකරු අධිකරණයේ පෙනී නොසිටියේ නම් ඔහු අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරිමට 5(2) වගන්තිය ප්‍රකාරව වරෙන්තුවක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත. නඩත්තු නොගෙ වීමක් පෙනී යැයි නම් පනතේ 5(1) වගන්තිය ප්‍රකාරව නඩත්තු නොගෙවන ලද මාසයකට හෝ මාසයකින් කොටසකට මාසයක කාලයක් බැගින් ලිහිල් හෝ බරපතළ වැඩ සහිත සිරදඬුවමකට වග උත්තරකරු යටත් කිරිමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.


එසේම වග උත්තරකරු මාස දෙකකට වැඩි කාලයක් නඩත්තු ගෙවීම පැහැර හැර ඇත්නම් වග උත්තකරුගේ වැටුපෙන් නඩත්තු මුදල් අඩු කර ලබා දීමේ ආඥාවක් පනතේ 6(1) වගන්තිය ප්‍රකාරව නිකුත් කළ හැකිය. මෙහිදී වැටුප් විස්තර සපයන ලෙස වගඋත්තරකරුට නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා වෙත බලය ඇත. (6(1) වගන්තිය) 6(2) වගන්තිය ප්‍රකාරව ලබා දුන් වැටුප් විතර ප්‍රකාශයක් අධිකරණයේ නීති කෘත්‍යවලදී සාක්ෂි ලෙස භාරගත හැකිය. (6(3) වගන්තිය) තවද වග උත්තරකරු හිතාමතා නඩත්තු ගෙවීම පැහැර හැරීමක් සිදු කර නැත්තම් වැටුප් තහනම් කර නඩත්තු මුදල් අයකර ගැනීමේ ආඥාවක් අධිකරණය විසින් නිකුත් නොකළ යුතුය. (6(1) වගන්තිය) වැටුපෙන් අඩු කළ යුතු නඩත්තු මුදල් ප්‍රමාණය තීරණය කිරීමේදී පහත සඳහන් දේ සැලකිල්ලට ගත යුතුය (6(5) වගන්තිය).



වගඋත්තරකරුගේ සම්පත් සහ අවශ්‍යතා

නඩත්තු මුදල් ලැබිය යුතු තැනැත්තාගේ අවශ්‍යතා


වැටුප් තහනම් කිරීමේ ආඥාවක් බලාත්මක වන්නේ එය යොමු කරන ලද තැනැත්තාට භාර දී දින 14ක් ඉක්මවූ පසුය. (6(6) වගන්තිය) එමෙන්ම ඉල්ලුම්කරුගේ හෝ වගඋත්තරකරුන්ගේ ඉල්ලීම මත වැටුප් තහනම් කිරීමේ ආඥාවක් ඉවත් කළ හැකිය. (6(7) වගන්තිය)  පනතේ 22 වැනි වගන්තිය අනුව වැටුප යනු සියලු දීමනා ඇතුළත්ව වැටුපයි. නඩත්තු මුදල් තැපෑලෙන් හෝ බැංකුව මගින් ගෙවීමට නියම කර ඇති විටෙක එය ගෙවීම පැහැර හැර ඇත්නම් පනතේ  7(2) වගන්තිය අනුව සිරගත කිරිමේ ආඥාවක් නිකුත් කළ හැකිය.



නඩත්තු අයැදුම්පත් විමසීම


නඩත්තු අයැදුම්පතක් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති විට පනතේ 11(1) වගන්තියේ අතුරු විධානය අනුව මහේස්ත්‍රාත්වරයාගේ අභිමතය අනුව මාසික නඩත්තු මුදලක්  ගෙවීමේ අතුරු ආඥාවක් නිකුත් කිරීමට බලය ඇත. එවන් අතුරු ආඥාවක් නිකුත් කළ විට ස්ථිර ආඥාවක් කරන තුරු හෝ අතුරු ආඥාව අවලංගු කරන තුරු එය බල සහිතය. පනතේ 12(1) වැනි වගන්තියේ විධාන කර ඇති පරිදි නඩත්තු අයදුම්පතක් විමසීමේ කාර්යයට සාක්ෂිකරුවන් කැඳවීමේ බලය මහේස්ත්‍රාත්වරයා වෙත ඇත. තවද වග උත්තරකරු නොපැමිණ සිටි විටෙක වුව පනතේ 12(2) වගන්තිය අනුව අපරාධ නඩුවකදී මෙන් නඩුවේ විමසීම පවත්වා ගෙන යා හැකිය. පනතේ 13 වැනි වගන්තිය අනුව නඩුවේ විමසීමේදී දිවුරුම් පිට සාක්ෂිය වාර්තාගත කළ යුතුය.  මෙවැනි නඩුවකදී එක් එක් කලත්‍රයා අනෙක් කලත්‍රයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂිකරුවෙක් වෙයි.


නඩත්තු ආඥාව


නඩත්තු අයදුම්පතක් විමසීමෙන් අනතුරුව නඩත්තු ගෙවීමට ආඥා කරනු ලබන්නේ පනතේ 2 වැනි වගන්තියට අනුකූලවය. නඩත්තු ආඥාවකට එරෙහිව අභියාචනා කරන්නේ නම් පනතේ 14 වැනි වගන්තිය අනුව අපරාධ නඩුවක අභියාචනා කරන ආකාරයට පළාත්බද මහාධිකරණය වෙත අභියාචනා කළ යුතුය. මේ සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 320-330,357,358 දරන වගන්ති අදාළ වෙයි. මතක තබා ගැනීමේ පහසුව තකා නඩත්තු නඩුවක අභියාචනයකදී ඉදිරිපත් කළ යුතු ලේඛන මෙසේ දැක්වෙයි.  


පළාත්බද මහාධිකරණය අමතමින් කරන ලද අභියාචන පෙත්සම

මෝසම

රුපියල් 5ක මුද්දරයක් සැපයිය යුතුය


තවද අභියාචනා පෙත්සම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු අභියාචනය ලේඛනගත කර ඉදිරි පියවර සඳහා පළාත්බද මහාධිකරණය වෙත යොමු කෙරෙනු ඇත. පළාත්බද මහාධිකරණය විසින් අභියාචනය විමසා දෙනු ලබන තීන්දුවකින් අතෘප්තියට පත් වූ කල පළාත්බද මහාධිකරණයේ අවසරය මත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. නැතහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය මත ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ හැකිය (14(2)). නඩත්තු නඩුවක අභියාචනා ඉදිරිපත් කිරිමේදී පහත සඳහන් කරුණු සිහිතබාගැනීම වැදගත්ය.


පළාත්බද මහාධිකරණය වෙත අභියාචනා කිරීමේ දී සිද්ධිමය හෝ නීතිමය කරුණක් මත අභියාචනා කළ හැකිය.


පළාත්බද මහාධිකරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ හැක්කේ නීතිමය ප්‍රශ්නයක් මත පමණි.


මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් තීරණය තුළ බරපතළ දෝෂයක් ඇත්නම් පළාත්බද මහාධිකරණය වෙත ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර එය හැකි ඉක්මනින් ඉදිරිපත් නොකළහොත් අනවශ්‍ය ප්‍රමාදයට වරදකරු ලෙස සලකා එය ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකියි. තවද පළාත්බද මහාධිකරණය විසින් ආඥා කළහොත් මිස අභියාචනා කළ පමණින් නඩත්තු මුදල් ගෙවීමේ වගකීම නවතින්නේ නැත. මහාධිකරණය විසින් නඩත්තු මුදල් ගෙවීම නවතන මෙන් ආඥා කළොත් මිස පමණින් නඩත්තු මුදල් ගෙවීමේ වගකීම දිගටම පවතියි (14(1) වගන්තිය අතුරු විධානය).


දීප්ති ලක්මාලි එදිරිව ජනකසිරි ප්‍රනාන්දු (ශ්‍රේෂ්ඨාධිකරණය නඩු අංක එල්.එල්. 21/2011) නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ අවසරය ලබාගෙන අභියාචනා ඉදිරිපත් කළ අවස්ථාවකි. කෙසේ නමුත් මෙම නඩුවේ අවසර ඉල්ලීම ප්‍රතික්ෂේප විය. පුෂ්පා රාජිනී එදිරිව රුහුණුගේ සිරිසේන  ( ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 117/2010) නඩුවේ අභියාචක සිය අභියාචනය ඉදිරිපත් කළේ මහාධිකරණය විසින් සිය ආදායම වැරැදියට ගණන් ගත් බව කියමිනි. මෙම අවස්ථාවේදී නීතිමය ප්‍රශ්න පමණක්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සැලකිල්ලට ගත යුතුව ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබීය. තවද නඩත්තු පනත අනුව තම  ආදායම් හෙළිදරව් කරන ලෙස වග උත්තරකරුට නියම කිරිමේ අභිමතයක් පනත අනුව මහේස්ත්‍රාත්වරයාට ඇති බව තීරණය කරන ලදී. ඒ අනුව මහාධිකරණයේ ස්ථාවරය නිවැරැදි බව තීරණය විය.