gossiplanka image 1
 

වෙනත් සියලුම ඇසළ පෙරහර දෙවියන් උදෙසා පැවැත්වෙන නමුත් බෙල්ලන්විල රජමහා විහාරය මගින් පවත්වනු ලබන අලංකාරවත් ඇසළ පෙරහර පවත්වනු ලබන්නේ බුද්ධ වන්දනාව සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙමිනි.මෙම පෙරහැර පුණෝත්සවය 66 වසරක් පුරා මෙම ශ්‍රී ලංකාවේ ජන හදවත් (විශේෂයෙන්ම මුල් කාලයේ දී මෙය බස්නාහිර පලාත ආශ්‍රිත ජනයාගේ ජනහදවත් දිනාගත් අතර පසු කාලීනව ලංකාවේ නන් දෙසින් මේ පෙරහැර නැරඹීමට පිරිස් පැමිණීමට පටන් ගත්හ.) ආමන්දානන්දයට පත්කර ඇති බව නොරහසකි. බෙල්ලන්විල රජමහා විහාරය ශ්‍රී ලංකාවේ ඓතිහාසික සිද්ධස්ථාන අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා පුණ්‍ය භූමියකි. විශේෂයෙන් ම කෝට්ටේ රාජධානි සමයේදී බෙල්ලන්විල විහාරයට ප්‍රමුඛස්ථානයක් ලැබුණි. පෞරාණික දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේත් එම බෝ සෙවනේ පිහිටි ශ්‍රී විෂ්ණු මහා දේවාලය ප්‍රධාන දේවාල සමූහයත් නිසා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට බෙල්ලන්විල පුණ්‍යභූමියකි. විහාරස්ථානය ජනතාවගේ ලෞකික හා ලොව්තුරා සැප සළසන කේන්ද්‍රස්ථානය විය යුතු බව දුරාතීතයේ සිට ම භික්ෂූන් වහන්සේත්ලාගේ පිළිගැනීමයි.  ඒ අනුව පන්සල ආගම දහමටත්, අධ්‍යාපනයටත්, කලාවටත්, සංස්කෘතියටත් කේන්ද්‍රීය වූ මධ්‍යස්ථානයක් වේ. 


මෙම මතයෙහි ඉතා තදින් එළම සිටි බෙල්ලන්විල රාජමහා විහාරාධිපතිව වැඩ සිටිමින් අපවත් වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන ස්වාමීන් වහන්සේ විසින් 1950 දී බෙල්ලන්විල ඇසළ මහා පෙරහර ආරම්භ කරන ලදී. ඒ වන විටත් සාමාන්‍ය දුරුතු පෙරහරක් වශයෙන් කාලාන්තරයක් මුළුල්ලේ මෙම පෙරහැර පැවති බව සැලකේ. මෙය සාමාන්‍ය පෙරහැර සංදර්ශනයක් නොව පෙරහැර පූජෝත්සවයක් බවට පත් කර ඇත. මෙහි ප්‍රමුඛත්වය හිමි වන්නේ බුද්ධ වන්දනාව සඳහා ය. ප්‍රථමයෙන් තෙරුවන් පිළිබඳ කෙරෙන උපහාරයක් වශයෙනුත් අපවත් වී වදාළ ඇසළ පෙරහැර නිර්මාතෘ වන පූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමිපාණන් වහන්සේට කෘතවේදීභාවය පලකිරිම සඳහා ගුණානුස්මරන පින්කමක් මෙහි කටයුතු ඇරඹීම 1985 වර්ෂයේ සිට අරඹන්නට යෙදුනි. ඉන් අනතුරුව සති පිරිත් දේශනයයි. එම සති පිරිත් දේශනාව පැවැත්වෙන අතර සුබ මොහොතින් කප් සිටුවීම සිදු කෙරෙන අතර සති පිරිත් දේශනයේ දේවදූත පෙරහර පැවැත්වෙන්නේ ඉන් පසුවය. කුඹල් පෙරහැර ගෙවදීම සිදුවන්නේ ද මෙදිනම ය. ඉන් අනතුරුව විහාර භූමිය තුළ ගමන් ගන්නා මල් පෙරහර දින හතරක් මුළුල්ලේ පවත්වමින් රත්නත්‍රය සඳහා පූජා පවත්වා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම සිදු කෙරේ ඉන් අනතුරුව පාවඩ පෙරහරේ සිට මාලිගාවේ පෙරහැර හෙවත් සර්වඥධාතු වහන්සේ අඩංගු සධාතුක කරඬුව පෙරටු කොටගත් ධාතු පෙරහැර ඉදිරියෙන් ගමන් ගනී. දේවාභරණ රැගත් සතර මහා දේවාලවලට අයත් පෙරහැර සතරකින් ද, යුතු ව පංච මහා පෙරහැර බෙල්ලන්විල ඇසළ පෙරහර සමන්විත වේ. අවසාන රන්දෝලි මහා පෙරහරින් පසුව දවල් පෙරහැර හෙවත් දියකපන පෙරහැර පවත්වා දිය කැපීමේ චාරිත්‍රය කොට ගරායක් නැටුමෙන් හා දේව දානයෙන් පසු ඇසළ පෙරහර නිමාවට පත්වේ.