
දේව නගරයක්, ඓතිහාසික රාජධානියක් බෞද්ධ සිද්ධස්ථානයක් සහ ශාස්ත්‍ර පීඨයක් හැටියට මෙන්ම වරාය නගරයක් ලෙස ද දෙවිනුවර බොහෝ ඈත අතීතයේ සිට ප්‍රසිද්ධියට පත්ව ඇත. ඇතැම් පැරණි ලිපි ලේඛන අනුව විදේශයන්හි පවා ශ්‍රී ලංකාවේ දෙවිනුවර නගරය සහ එම දෙවොල පිළිබඳ කීර්තිය පැතිර තිබී ඇත. දෙවියන්ගේ නගරය ලෙස අතීතයේ සිට අද දක්වා ම දක්නට ලැබෙන මෙම ප්‍රදේශය ඓතිහාසික වටිනාකමින් වැදගත් තැනක් ගනී. මේ පිලිබඳ ඉතිහාසය පැරිණි ලිපි ලේඛන දේශාටන වාර්තතා ජනප්‍රවාද පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධක මගින් ද තහවුරුව තිබේ. ක්‍රිස්තු වර්ෂ 661-664 අතර කාලයේ රජ කළ දප්පුල රජතුමන් විසින් උත්පලවර්ණ දේව මන්දිරය මෙහි ඉදිකර ඇතැයි සලකනු ලැබේ. කිහිරි ලියකට අරක් ගත් උත්පලවර්ණ (විෂ්ණු) දිව්‍යරාජයා ශ්‍රී ලංකාවේ දකුණු දිග කිරල වැල්ල වෙරළට ගොඩ ගසා ඇති අතර මෙම සිදුවීම හික්කඩුවේ සීනිගම දේවාලයේ කපුවාට සිහිනෙන් දැකගැනීමට හැකි වී ඇත. එහෙත් කපුවාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා කිහිරි කදට අරක් ගත් උත්පලවර්ණ දෙවියෝ ගිරිහෙලපුර සිංහසන වැල්ල සමීපයට රළ වේගයෙන් පැමිණ ඇති අතර ඒ වනවිට කිරල වැල්ලට පැමිණ සිටි කපුවා කිහිර ලීය නොදැක එතැනින් වහා කිහිරි කඳ තිබූ ස්ථානය සොයා ආවේ ය. ඒ වනවිට මෙය සිහිනෙන් දැනගත් දප්පුල රජු ද මහ පිරිවර කැටුව වෙරළට පැමිණ සිටි අතර මග පෙරහරකින් කිහිරි කඳ වැඩමවාගෙන යන ලදී. පසුව එම කිහිරි ලීයෙන් උපුල්වන් දේව රුව ද එම දේව බිරිය වූ චන්ද්‍රවතී රුව ද එම දේව පුත්‍ර වූ ධනුර්ධර රුව ද නිමවා දේවාලයේ තැන්පත් කර ඇත. උපුල්වන් දෙවිඳු කිහිරි කඳකට අරක් ගෙන මුහුදේ පාවී ආ හෙයින් කිහිරැලි නාමය වී යැයි මතයක් පවතී. කිහිරි ලී යන වචනයෙන් බිඳුණ ද පසුකලෙක සිට කිහිරැලි යන වචනය උපුල්වන් දෙවියන්ට ආවේණිකව භාවිත වේ. දප්පුල රජු ගිරිහෙල පුරට එන්න සිය ඇමතියන් ලවා දෙවිනුවර ගොඩනංවා මගුල්වැල්ලේ දේවාලයක් තනවා විමල්සිරි දෙවිනුවර යයි නම් කරවා දේවාල පෙරහැර කිරීමට බමුණන්ට නියම කොට ඇත.
ඔවුහු රෙදි කඩක ඒ දෙවිරුව අන්දවා දේව රාජපෙතිකඩ වහන්සේ යයි එයට නම් කරවා රන් ආයුධ ද එය ඉදිරියට අල්වා රාමචන්ද්‍ර නම් ප්‍රධාන බ්‍රාහ්මණයා ඇතුළු මහ සෙනග පෙරහරින් එම දේව රුව දේවාලය තුළ තැබූ බවත් පසුව මෙම කිහිරි රුව ද එහිම තැන්පත් කළ බවත් පුරාවිද්‍යාඥ එච්. සී. පී බෙල් මහතාගේ වාර්තාවේ සඳහන් කරයි. දෙවිනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පරාක්‍රමබාහු රජතුමා විසින් ආරම්භ කර තිබේ. ලංකාවේ වෙහෙර විහාරයන්හි සාමාන්‍යයෙන් උත්සවාකාරයෙන් පෙරහැර පවත්වනු ලබන්නේ ඇසල මාසයේ දී ය. කප් සිටුවීමේ චාරිත්‍රය සමගින් ආරම්භ වන පෙරහැර සති තුනක් පුරා නොකඩවා පැවැත් වේ. පේළි පෙරහැර හත අතුරින් අවසන් පෙරහැර වන රන්දෝලි පෙරහැර නිමාවත් සමගින් මහ සගරුවන විෂයයෙහි පැවැත්වෙන මහා දේව දානමය පිංකම සහ ලංකාවේ බුද්ධ ශාසනය සුරකි න ලෙස දෙවියන් වෙත උත්සවාකාරයෙන් කෙරෙන කන්නලවෙන් ඇසල පූජෝත්සවය අවසන් වේ. දෙවිනුවර ඇසල පෙරහැරේ පෙරටුව රැගෙන යන සූරිය සහ චන්ද්‍ර ධජයෙහි ආවාරිය පන්දම රැගෙන යන අතර සමස්ත පෙරහැර පූජෝත්සවය පුරාම එය නොනිවා තබාගනු ලැබේ. එය පිටුපසින් කස කරුවෝ ද ධජ පතාක රැගෙන යනෝ ද ගමන් කරති. ධජ පතාක රැගෙන යන්නන්ට පසුව පෙරහැරෙහි පැමිණෙන්නේ බෙරකරුවන්, දවුල් හා හේවිසි වාදකයන්, හොරණෑකරුවන් වේ. විචිත්‍ර ඇඳුමෙන් සැරසුණු සම්ප්‍රදායික නැටුම් කණඩායම් පාරම්පරික නාද රටාවන්ට අනුව සිය නර්තන ඉදිරිපත් කරමින් ඊළඟට පෙරහැර හා ඉදිරියට ගමන් කරයි. ඔවුන් පසුපසින් සන්සුන් ගමනින් දේව ස්තෝත්‍ර ගයමින් පැමිණෙන්නේ සත් දේවාලයන්හි ප්‍රධාන පූජකතුමන් ය. අලි ඇතුන්, කාවඩි නැට්ටුවන්, උඩරට නැටුම් කණ්ඩායම් සහ තවත් සංස්කෘතිකාංග මෙම ඇසල මංගල්‍යය කලාපයේ අසිරිමත් ඓතිහාසික මංගල්‍යය බවට පත් කරය. (දෙවිනුවර බස්නායක නිලමේවරුන්ගේ ලිපි ඇසුරිනි)
Comments
Post a Comment