gossiplanka image 1
 

         

කතරගම දේවාලය බෞද්ධයන්ට, හින්දු ආගමිකයින්ට, මුස්ලිම් ආගමිකයින්ට සහ වැදි ජනතාවට එකසේ වැදගත්වන පූජනීය ස්ථානයකි.. කතරගම මහා දේවාලයේ පෙරහැර තුනකි. ඒවා බක් මහ පෙරහර, ඇසළ පෙරහර, ඉල් මහ පෙරහර වෙයි. බක් මහ පෙරහර අප්‍රේල් මාසයේ අවුරුදු දිනයේ දී දේවාලය ඉදිරිපිට කිරි උතුරුවා දේවාලය වසා පසුව එදිනම රාත්‍රී කතරගම දේවාලයෙන් පිටවන පෙරහර පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට පිවිස එදින විශේෂ පුද පූජාවන්ට සම්බන්ධ වී නැවතත් මහවීදිය ඔස්සේ කතරගම මහ දේවාලයට පිවිසීමෙන් නිමාවට පත් වේ. මෙය එක්දින පෙරහරකි. මෙම පෙරහරේ අරමුණ වන්නේ වර්ෂයේ මුල්ම පෙරහර ලෙස චාරිත්‍ර ඉෂ්ඨ කර දෙවියන් සතුටු කිරීමයි . කතරගම පුදබිමේ පැවැත්වෙන වාර්ෂික ආගමික උත්සව, පුද පෙරහර අතර ප්‍රමුඛත්වය හිමිවන්නේ ඇසළ උත්සවයටයි. දින 15කට ආසන්න කාලයක් පැවත්වෙන මේ උත්සවය පළමු අංගය වන්නේ කප් සිටුවීමයි. ඉන්පසු ඇසළ උත්සවය ආරම්භ වී පෙරහර 15ක් පැවැත්වීම, ගිනි පෑගීම, දිය කැපීම ආදී දේව පූජා විධි පිළිබඳ සියළු කාර්යයන් බුදු දහමට ප්‍රමුඛත්වයක් දෙමින් සිදුකිරීම පවත්වාගෙන එන සම්ප්‍රදායකි. මෙම පෙරහැර සියල්ල රාත්‍රි 7 ට ආසන්නව ඇරඹී රාත්‍රී 10 වන තුරු පැවැත්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ක්‍රි.පූ දෙවන සියවසේ සිට පැවත ආ බව පවසන මෙම ඇසළ උත්සවය වර්තමානයේ දී දින 15 ක් පුරා උත්සවශ්‍රීයෙන් සමරයි. වල්ලි අම්මා හා කතරගම දෙවියන් විවාහ වීමේ ප්‍රීතිය නිමිත්තෙන් මෙම උත්සවය සමරනු ලබන බවට මුඛ පරම්පරාගත පිලිගැනීමකි. ඇසළ උත්සවයේ සමාරම්භය සනිටුහන් වන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයෙනි. කප් සිටුවීමෙන් පසුව පෙරහැර ආරම්භ වීමට පෙර දින චාරිත්‍රානුකූලව සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පූජා භූමිය  තුළ පිහිටි සංඝාවාස භූමියේ පිරිත් මණ්ඩපයේ පැවැත්වේ. පසුදින ආරම්භවන පෙරහැර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දේවාශිර්වාදය ලබා ගැනීමත් සියලු රට වැසියන් සඳහා ආශිර්වාද ලබා ගැනීමත් මෙහි පරමාර්ථය වේ.ක්‍රි.පූ. 161 සිය පියාගේ මරණයෙන් පසුව රාජ්‍යත්වයට පත්වන ගැමුණු කුමරු එළාර සමග සටනට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරයට පිටත්ව යන අතර කතරගමට පැමිණියේ ය. එකල කතරගම වර්තමාන දෙවොල තිබෙන ස්ථානයේ තිබුණේ ගසක් වටා තිර ඇද තිබූ කුඩා ස්ථානයක් පමණි. එම ස්ථානයට පැමිණි ගැමුණු රජු තමාට මෙම යුද්ධයෙන් ජයග්‍රහණය ලබා දීමට ආශිර්වාදය කරන ලෙසත් එසේ ජය ලැබූ පසු කතරගම දෙවිඳුන් වෙනුවෙන් දේවාලයක් සාදා පූජා කරන බවත් බාර වූයේ ය. එළාර රජු සමඟ සටන්කොට ඔහු පරදවා රට එක්සේසත් කළ දුටු ගැමුණු රජතුමා කතරගම දෙවිඳුන්ට වූ බාරය ඔප්පු කිරීම  සඳහා කතරගම දේවාලය ඉඳිකරවා පූජාකොට උත්සව පවත්වා දේවාලයේ කටයුතු වෙනුවෙන් සන්නස් සකස්කොට ඒ අනුව කටයුතු කරන ලෙස නියෝග කර තිබුණි. එම සන්නසේ සඳහන් නියමයන්ට අනුව ප්‍රථම බස්නායක නිලමේ වන එතුමාගේ බෑනා ප්‍රථමයෙන් දෙවියන් උදෙසා දේව පෙරහර අංග ඇතුළත් කරමින් කොහොඹ කළ  පෙරහර මංගල්‍යයක් සිදු කර ඇති බව කතරගම පිළිබඳ ඉතිහාසගත කරුණු හෙළි කරයි. අද එය කාලානුරූපව වෙන්වී වර්තමානයට උචිත ආකාරයට දිනෙන් දින වෙනස් වෙමින් මහා දේව මංගල්‍යයක් ලෙස පැවැත් වේ.


සෑම දින ම පෙරහැර ආරම්භ කිරීමට ප්‍රථම කතරගම මහ දේවාලයේ පිරිත් නිළය භාර කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් පිරිත් දේශනා කර පිරිත් පැන් ලබා දෙන අතර උන්වහන්සේලා ආපසු වැඩම කළ පසු රකොත් මාලිගයේ සිට කරඬුව පිටතට වැඩමවනු ලබයි. පෙරහැර ආරම්භයේ දී දිනපතාම දේවාලයෙන් පිටත්වන්නේ කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේස්ලාගේ සෙත් පිරිත් සජ්ඣායනයෙන් ආශිර්වාද ලබාගැනීමෙන් පසුවයි. අතීතයේ දී තල්පතක ලියා භික්ෂූන් වහන්සේලාට පිරිතට ආරාධනාව කරනු ලැබිනි. අද තල්පත් භාවිතය නොමැති බැවින් කඩදාසියක මෙම ආරාධනා පත්‍රය සකස් කර පිළිගන්වනු ලබයි. එම ආරාධනාව අනුව නියමිත වේලාවට භික්ෂන් වහන්සේල්ලා මහ දේවාලයේ සඳුන් මණ්ඩලය නමින් හැඳින්වෙන ඇතුළු ගර්භයේ සිට ආගමික චාරිත්‍ර ඉටු කරයි.


පුරාවත


ස්කන්ධ කුමරු ඉන්දියාවේ තම බිරිඳ වූ තේවානී සමග ගැටුමක් ඇතිකර ගත්තේ ය. නැවක නැගුණ ඔහු ලංකාවේ දෙවුන්දර වරායට පැමිණියේ ය. එතැන් සිට මහ කැලයේ ඇවිදගිය ඔහුට වැද්දාහුන් කන්ද (වර්තමාන වැඩසිටි කන්ද) හමුවිය. ඔහු කඳුමුදුනේ තනියම ජීවත් විය. දිනක් දඩයමේ ගිය ඔහුට ප්‍රදේශයේ වැදි නායකයාගේ දියණිය වූ වල්ලි අම්මා දකින්නට ලැබුණි. ඔහු ඇයට විවාහ යෝජනාවක් කළවිට ඇය එය ප්‍රතික්ෂේප කළා ය. ඔහු තම සොහොයුරා වූ ගනේෂ්ගෙන් උපදෙස් ඉල්ලා සිටියේ ය. පසුදින බ්‍රාහ්මණයෙකු මෙන් වෙස්ගෙන ඔහු වල්ලි අම්මා සිටි හේනේ පැලට ගියේ ආහාර ටිකක් ඉල්ලමිනි. ඇය ඔහුට ආහාර ටිකක් දුන් අතර ඔහු තමාට වතුර ටිකක් බීමට ලිඳ පෙන්වන මෙන් ඉල්ලා සිටියේ ය. ඇය ඔහුව ලිඳ අසලට කැඳවාගෙන යන අතර ඔහු  විමසා සිටියේ පිරිමින් දඩයමේ ගිය අතරේ තනියම මෙලෙස හේනේ සිටින්නට බය නැති ද කියා යි. තමා අලින්ට හැර වෙනත් කිසි ම දෙයකට බිය නැති බව ඇය පැවසුවා ය. එකෙනෙහිම විශාල අලියෙකුගේ වෙස් ගත් ගනේෂ් එතැනින් මතුවිය. මහත්සේ බියට පවූ වල්ලි අම්මා ස්කන්ධ කුමරුගේ ඇගේ එල්ලෙමින් තමාව බේරාගන්නා ලෙස ඉල්ලා සිටියා ය. තමාව කරකාර බඳින්නේ නම් අලියාගෙන් බේරා ගන්නා බව ස්කන්ධ කුමරු ඇයට පැවසීය. ඇය එකගවිය. එසැනින් අලියා අතුරුදහන්ව ගියේ ය. පසුව ඔහු ඇයව නැවතත් පැලවෙත කැන්දාගෙන ආවේ ය. දඩයමේ ගොස් පැමිණි වල්ලි අම්මාන්ගේ නෑයින් මෙය අසා බෙහෙවින් කෝපයට පත්ව ඔහු සොයාගෙන ගියා. ඔවුන් දුටු ස්කන්ධ කුමාරයා ගසක් ලෙස වෙස්ගත්තා. ඒ දුටු වැද්දන් ගස කපා දැමීමට පොරෝ පහරක් ගසට එල්ල කලවිට ගසෙන් ලේ ගලන්නට වුණා. එයින් මේ සිටින්නේ දෙවි කෙනෙකු බව අවබෝධ කරගත් ඔවුන් මංගල්ලයට කැමති වුණා. ස්කන්ධ කුමරු සහ වල්ලිඅම්මා බොහෝ කල් සතුටින් ජීවත් වූ බව කියවේ. ටික කලක් තනිකඩව සිටි තේවානිට තනිකඩ ජීවිතය ඇති වූවා ය. එබැවින් ඇය ස්කන්ධ කුමරුගේ ගුරු වූ මුත්තුලින්ගම් සාමි සහ මොහොමඩ් නවී නම් දෙදෙනෙකු කඳකුමරුන් සොයා ලංකාවට එව්වේ ය. දින කිහිපයක් ඔහුව සෙවූ නමුත් හමු නො වූ තැන ආපසු යාමට සැරසෙත් ම කැලයේ ගසක් යට තිබූ කඳකුමරුන්ගේ දුම් පයිප්පය දැක ඔහු සිටින බව දැන යළි සොයන්නට පටන් ගෙන තිබේ. ඉන්පසු ඔහුව සොයා ගත් අතර ඔවුන් කඳකුමරුන්ට ඉන්දියාවට යාමට අඬගැසූවිට වල්ලි අම්මාව රැගෙන යාමට නොහැකි බව පැවසූයෙන් ගමන ප්‍රතික්‍ෂේප කර, මෙහි නවතින්නට මුස්ලිම් සාමිව කැමති කරගෙන තිබේ. නමුත් හොර රහසේම නැවතත් ඉන්දියාවට පැන ගිය මොහොමඩ් නවී තේවානිට සියලු විස්තර පවසා තිබේ. එයින් කිපුන තේවානි වහාම කතරගම බලා පැමිණියා ය. ඇය වල්ලි අම්මාගේ නිවස දෙපසින් මුත්තුලින්ගම්  සාමිට සහ මොහොමඩ් නවීන නිවාස දෙකක් සාදා දුන්නා ය. වර්තමානයේ වල්ලි අම්මා දේවාලයට කතරගම පෙරහැර ගෙවදින විට ඒ අසල ඇති තේවානිගේ කෝවිලේ මහ හඬින් ඝාණ්ඨාර ගසමින් සහ බෙර ගසමින් කරන්නේ වල්ලි අම්මා කෝවිලට කතරගම දෙවියන් ඒම ඇසීම මගහැරවීමට බව ජනප්‍රවාදයේ පැවසේ.


පෙරහැර ගමන් මග


පළමු පෙරහැර ගමන් කරන්නේ මහවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලයට ගොස් එම මාවත ඔස්සෙම මහා දේවාලයට පිවිසීමෙනි. මෙය නම් කර ඇත්තේ මංගල පෙරහරවශයෙනි. මින්පසු ගමන් කරන සියලුම පෙරහර පිටවීදිය ඔස්සේ ගමන් කර වල්ලි අම්මා දේවාලයට පිවිස මහවීදිය ඔස්සේ මහ දේවාලයට ගෙවදෙයි. පෙරහර පහක් ගමන් කිරීමෙන් පසු පෞරාණික චාරිත්‍ර ඉටු කිරීමක් සිදුවේ. එය ඉටු කරන්නේ කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තුමාගේ නිල නිවසෙහි ඇති ගොම මැටි ගා ඇති වරිච්චි බිත්තීන් සහිත සුවිශේෂි කාමරය තුළ ය. දුටුගැමුණු රජතුමාගේ සන්නසේ සඳහන් පරිදි සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන මෙම පෙරහර මංගල්‍යයේ පළමුවැනි පෙරහර පහ මගුල් පෙරහර වශයෙන් හඳුන්වනු ලැබේ. හයවැනි පෙරහරට පෙර බස්නායක නිලමේ තුමන්ලා විසින් කරනු ලබන රාජකාරින් සමූහයක් නියමය පරිදි කළ යුතු ය. හයවැනි දින සධාතුක කරඬුව සහිතව මහා සංඝරත්නය සඳහා දානයක් පිරිනමා සෙත් පිරිත් දේශනා කරවා ගනී. මෙම පින්කමේ මූලික දායකත්වය බස්නායක නිලමේතුමා විසින් දරනු ලැබේ. දානය දින ම මහා දේවාලය ඉදිරිපිට අතුපන්දලම නැමති කොටසට අලුතින් අතු දමා වසරකට වරක් කරන චාරිත්‍රමය කටයුත්ත ද සිදුවේ. මෙය ඉතා වැදගත් අංගයකි. මෙදින සිදුවන වැදගත්ම සිද්ධිය වන්නේ දේවාලයේ බස්නායක නිලමේතුමා සිය නිල ඇඳුම ඇද පෙරහරේ ගමන් කිරීමයි. මෙදිනම කඩොල් ඇතාගේ දළ යුගලය රන්කොත් මාලිගයෙන් පිටතට ගෙන ප්‍රදර්ශනය කෙරේ. කඩොල් ඇතා යනු දුටු ගැමුණු රජතුමාට යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා සහය දුන් හස්ති රාජයා වේ. මෙම දළ යුගලය බුත්තල පාරේ ගෝනගං ආර ප්‍රදේශයේ ඇත් දළ තැබූ ගල' යන ස්ථානයේ සගවා තිබී ඇති අතර කඩොල් ඇත් දළ යුගලය ගලක ඇණ සගවා තබා ඇති බව ද ජනප්‍රවාදයේ සඳහන් වේ.  එවකට දේවාලයේ තේවාව බාර ප්‍රධාන කපු මහතාට මෙම දළ යුගලය රැගෙනවිත් දේවාලයේ තැන්පත් කරන ලෙස සිහිනෙන් පවසා ඇතැයි සඳහන්වේ.


වේල් උත්සවය


චෙට්ටියාර්වරු දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ජන කොටසකි. ව්‍යාපාරික කටයුතු සඳහා පැමිණි මොවුහු සහල්, රෙදිපිලි ආදී වෙළ හෙලදාම්වල නිරත වූහ. එහෙත් ඔවුන්ගේ ප්‍රධානම ව්‍යාපාරය වූයේ උකස් ගැනීම හා පොලියට දීමය ඔවුන්ගේ ප්‍රධාන හා එකම අරමුණ වූයේ මුදල් ඉපයීම ය. ගාලු වරායෙන් මෙරටට පැමිනි චෙට්ටියාර්වරු මුලින් ම පදිංචි වූයේ කොළඹ වරායට නුදුරු හෙට්ටිවීදියේ බව ද පැවසේ. ඔවුන් ගාලු වරායෙන් ගොඩ බැස කළුවැල්ලේ කිතංගෙයි සිට ව්‍යාපාරික කටයුතු කරගෙන ගොස් ඇත. කිත්තංගෙය චෙට්ටියාර්වරුන් විසින් ආරම්භ කර ඇත. මුලින් සහල් ගබඩවක් වශයෙන් කිත්තංගෙය යොදාගෙන තිබෙනවා. ගාල්ල ටැල්බට් ටවුමේ චෙට්ටියාර්වරුන්ගේ භාණ්ඩ වෙළඳාම, බෙදාහැරීම සිදුකර ඇති අතර පසුව එම ආදායම් මාර්ගවලින් මුදල් පොලියට දීම, උකස් ව්‍යාපාරය මොවුන් ආරම්භ කර ඇත. කිත්තංගෙය හෙට්ටින්ගේ ඉපැරණි රන් රිදී භාණ්ඩ වෙළදපොලකි. ගාලු නගර වැසි යන් මෙන්ම පිට පළාත්වල ජනතාව ද කාලයක සිට ස්වර්ණාභරණ උගසට තැබුවෙත්, මිලට ගත්තේ ද, ණයට මුදල් ලබා ගතේ ද මෙතැනිනි. එකල සාප්පුවේ වැඩ කළ සේවකයින්ට මාසික වැටුප් ගෙව්වේ නැත. ඒ වෙනුවට සේවකයින්ට වසරකට වරක් දකුනු ඉන්දියාවට ගොස් පැමිණීමට ගමන් වියදම් හා දීමනාවක් ලබා දී ඇත. කිත්තංගෙය. තුළ රන් රිදී සාප්පු පවත්වා ගෙන ගිය චෙට්ටියාවරු දැඩි හින්දු භක්තිකයන් ය. කිට්ටුවරු ඥාතීන් වූහ. එහෙත් චෙට්ටියාර්වරුන්ගේ දරු පවුල් මෙහි පදිංචි වී නොසිටි අතර ඔවුන් සිටියේ දකුණු ඉන්දියාවේ ය. සැබැවින් ම එකල චෙට්ටියාර්වරු ට ආහාර පාන සකස් කිරීම සඳහා වෙනමම මුළුතැන්ගෙයක් ද කිත්තංගෙයි තුළ තිබිනි. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත්ය. නොඑසේ නම් කඩලය. එකල චෙට්ටියාර්වරු කිරි ලබා ගැනීම සඳහා කිත්තංගෙයි මැද මිදුල්ලේ බැඳ සිටි එළදෙන්නු දැක ගත හැකි ය.  ඔවුන් අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමට ලෝබ වුව ද, ආගමික කටයුතුවලට මුදල් වියදම් කිරීමට ලෝබ නැත. ආගමික කටයුතු සඳහා වැඩි වශයෙන් වියදම් කිරීමෙන් තම ව්‍යාපාර සඳහා ආශිර්වාද ලැබෙන බව ඔවූහු විශ්වාස කරති. කිත්තංගෙයි ඇති කදිරවෙලායුධ ස්වමි කෝවිලේ ගෝපුරය වැදගත් පුරා විද්‍යා ලක්ෂණවලින් යුක්ත වූවකි. මෙකී කෝවිල ඉදිකිරීම සඳහා බුරුම රටෙන් තේක්ක ලී ගෙනවිත් ඇති බව පැවසේ. කතරගම පැවැත්වෙන ඇසළ උත්සවය නිමිති කොට ගෙන ගලේ පැවැත්වෙන වේල් උත්සවය ආරම්භ කොට ඇත්තේ ද මෙකී කෝවිල මුල්කොට ගෙන ය. වේල් උත්සවය හින්දුවරුන්ගේ ප්‍රධාන උත්සවයකි. 



ගිනි පෑගීම


මෙම පෙරහරේ තවත් වැදගත් අංගයක් වන්නේ පෙරහර 12ක් ගමන් කිරිමේ පසුව එළඹෙන ගිනි පෑගීමේ උත්සවයයි. දොළොස්වනි පෙරහර දේවාලයට ගෙවදීමෙන් පසු මහා දේවාල ඉදිරිපිට රාත්‍රියේ විශාල ගිනි මැලයක් දල්වා අගුරු බවට පත්වීමෙන් පසු බැතිමතුන් ගිනි අගුරු මැලය මැදින් තරණය කර ගිනි පෑගීමෙන් මෙම චාරිත්‍රය ඉටු කරනු ලැබේ.


ආදීවාසික ජන අයිතිය


වැදි ජනතාව හෙවත් ආදිවාසීන් කතරගම උත්සවයට සම්බන්ධ වන්නේ වල්ලිඅම්මාගේ ඥාතිත්තවය මත ය. මුල් කාලයේ දී කපුමහතුන් වශයෙන් කටයුතු කළේ ද මෙම වැදිජනතාව බවට සාධක ඇත. වැදි ජනයා මෙම පෙරහරට සම්බන්ධ වන්නේ ගල් දෙයියෝ ඇදහීමට යයි කතාවක් ද පවතී. ගලේ දෙයියෝ වශයෙන් ඔහුව හඳුන්වන්නේ වැඩ සිටි කයේ ඔහු ජීවත්වූ නිසා බව ජනප්‍රවාදයේ ඇත. (ඌවේ හිටපු මහ දිසාපති ආර්.ඒ.ජි ෆෙස්ටින්ග් මහතාගේ වාර්තා ඇසුරිනි)