
පුරාතන ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් බල පැවැත්වුණේ සිංහලයන්ගේ චාරිත්‍රානුකූල නීතියයි. සිංහලයන්ගේ පුරාතන චාරිත්‍ර විධි අනුව විවාහ ලේඛනගත කිරීමේ ක්‍රමයක් හෝ විවාහ සංස්ථාව තුළ දැඩි සීමා පැනවීමේ අවශ්‍යතාවක් නොවීය. වසර දහස් ගණනක් තිස්සේ මෙරට පැවැති ස්වංපෝෂිත ආර්ථික ක්‍රමය තුළ දරුවන් හෝ භාර්යාව නඩත්තු කිරිමේ බරපතළ වගකීමක් ස්වාමිපුරුෂයා වෙත නොවීය. දැනට ක්‍රියාත්මක න්‍යෂ්ටික පවුල පිළිබඳ සංකල්පය වෙනුවට විස්තෘත පවුල් ක්‍රමයක් පෙරකල ක්‍රියාත්මක විය. කිසියම් යුවළකට දරුවකු උපන් පසු ඒ දරුවා පවුලේ අයගේ රැකවරණය යටතට පත්විය. විස්තෘත පවුල් ක්‍රමය තුළ ප්‍රධානීන් වූයේ දරුවාගේ මුත්තා සහ මිත්තණිය වීම තවත් සුවිශේෂී දෙයකි. දරුවා සම්බන්ධ තීරණවලට එළැඹීමේ තනි බලයක් විස්තෘත පවුල් ක්‍රමය තුළ දෙමාපියන්ට නොවීය.
විස්තෘත පවුල් ක්‍රමය තුළ විවාහ බිඳවැටීම් අවම විය. දරුවන්ට නොසලකා හැරීම් අවම විය. නූතන ඉතිහාසඥයන් පවා පුදුමයට පත්කරවන තරම් සංහිඳියාවක් ශ්‍රී ලංකාවේ ඉපැරණි පවුල් සංස්ථාවන් තුළ විය. මේ හේතුකොට දික්කසාදය, නඩත්තුව වැනි නීතිමය ප්‍රතිකර්මයන්ගේ වර්ධනයක් අපේක්ෂක්ෂා කළ නොහැකි වූ බව පැහැදිලිය. ශ්‍රී ලාංකිකයන්ගේ විවාහ චාරිත්‍ර පිළිබඳවද ඒ හා බද්ධ වූ චාරිත්‍රානුකූල නීති පිළිබඳවද තරමක විස්තරයක් රොබට් නොක්ස් නම් දේශගවේෂකයා විසින් රචනා කර 1681 වර්ෂයේදී එළිදක්වන ලද යන An Historical Relation of the Island Ceylon in the East Indies කෘතියෙහි ඇතුළත්ය. එහි 7 වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි සිංහලයන් අතර විවාහ වීම සහ දික්කසාද වීම විශාල ගැටලුවක් ලෙස නොසලකනු ලැබීය. කැමැති වාර ගණනක් විවාහවීමේ හෝ දික්කසාද වීමේ හැකියාව එකල විය. එකල පැවැති නීතිය අනුව දික්කසාදයේ දී පිරිමි දරුවන් පියාටද ගැහැනු දරුවන් මවටද අයිති විය. ක්‍රිස්තුවර්ෂ 17 වැනි සියවස වන විට එනම් රොබට් නොන්සේ ලංකාවට පැමිණි අවධිය වන විට බහු භාර්යා සේනයට නීතියෙන් ඉඩක් නොලැබුණි. එනමුත් බහු පුරුෂ සේවනය රටේ පිළිගත් හා ප්‍රකට චාරිත්‍රයක් විය. බහු පුරුෂ සේනයෙන් උපන් දරුවාට පියවරුන් දෙදෙනකු වීම විශේෂිත වරප්‍රසාදයකි. නොක්ස්ගේ අවධිය වන විට ජ්‍යොතිෂයට සමාජය තුළ ඉහළ මට්ටමේ පිළිගැනීමක් හිමිව තිබුණි. යම් පවුලක දරුවකු උපන් කල පවුලේ වැඩිහිටියන් වහාම දුව යන්නේ නැකැත් කරුවන් වෙතය.
අලුත උපන් දරුවාගෙන් පවුලට අපල ඇතිවන බව කීවොත් දරුවා මරා දැමීමට වැඩිහිටියෝ පසුබට නොවූහ.පුරාතන ශ්‍රී ලංකාවේ පැවැති පෙරකී සංහිඳියාව පිළිබඳ කදිම විස්තරයක් පිරීතියක් නම් විදේශිකයා විසින් රචනා කරන ලද A History of Ceylon - from the earliest period to the Year 1815 නම් ග්‍රන්ථයෙහි දැක්වෙයි. ඔහු පවසා ඇති පරිදි පුරාතන ශ්‍රී ලංකාවේ විවාහ සංස්ථාව තුළ අපූර්ව ලක්ෂණ කිහිපයක්ම තිබී ඇත. පොදු භාර්යා ක්‍රමයක් ක්‍රියාත්මක විය. දරුවන් පවුලේ පොදු අයිතියක් විය. දරුවන් හා පවුල අතර බැඳීම කෙතෙක්ද යත් කිසිම දරුවකු තම මව කදැයි නොදන්නා තරමට පවුල් සංස්ථාව විහිදී තිබුණි.
ඉහත විස්තර පිලීතියස් විසින් සපයාගෙන ඇත්තේ ඔහුට වඩා පෙර කාලයකදී ශ්‍රී ලංකාවට පැමිණි දේශගවේෂකයන් විසින් රැස්කරගත් තොරතුරු ඇසුරෙනි. පිලීතියන්ගේ පෞද්ගලික නිරීක්ෂණයන් අනුව 19 වැනි සියවස වන විට සිංහලයන් විසින් අනුදත් අපූර්ව චාරිත්‍ර විධි රැසක්ම විය. ඒ අනුව කාන්තාවකගේ පතිවෘතාව ආරක්ෂ කිරීම පිළිබඳ පැහැදිලි උනන්දුවක් එකල නොවීය. නිවෙසට පැමිණෙන හිත මිතුරන් කායිකව සතුටු කිරීම සඳහා සිය දියණිය හෝ බිරිඳ ලබා දීමේ සම්ප්‍රදායක් එකල මිනිසුන් අතර විය. කෙසේ නමුත් අවිවාහකයන් කාම සේවනයේ යෙදීම වරදක් ලෙස සලකනු ලැබීය. පුරාතන ශ්‍රී ලංකාවේ බලපැවැත් වූ නීති අනුව පරදාර සේවනය වරදක් නොවීය. එනමුත් තම බිරිඳ සොර සැමියා සමග එබඳු ක්‍රියාවක නියැළෙමින් සිටියදී දෙදෙනාම මරා දැමීමේ අයිතියක් ස්වාමිපුරුෂයාට විය. වැඩිදුර අධ්‍යයනය සඳහා A History of Ceylon - from the earliest period to the Year 1815 නම් ග්‍රන්ථයෙහි 37 වැනි පරිච්ඡේදය බලන්න.
පිලීතියස් විසින් කර ඇති ඒ විස්තර දකින නූතන පාඨකයන් පුදුම වනවාට සැක නැත. එනමුත් පිලීතියට සමකාලීන ලේඛකයන් කිහිප දෙනකුම ඒ හා සැසඳෙන විස්තර දක්වා ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. 19 වැනි සියවස විසූ උඩරට සිංහලයන්ගේ සාම්ප්‍රදායික පවුල් නීති ගැන තවත් මෙවැනිම විස්තරයක් ජෝන් ඩේවිගේ An account of the interior of Ceylon and its inhabitants, With travels in the Island යන ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි. එහි හයවැනි පරිච්ඡේදය වෙන්වනුයේ සිංහලයන්ගේ සාම්ප්‍රදායික නීති විස්තර කිරීමටය. ඒ අනුව පරපුරුෂ සේවනය කර අසුවන ස්ත්‍රියකට දඩුවම් ලබා දීමේ පරම අයිතිය ස්වාමි පුරුෂයා සතු විය. බිරිඳගේ සොරසැමියා තම නිවෙසේ සිට අසුවන තැන ඔහුට නොසෑහෙන තරම් පහර දීමට පමණක් නොව ඔහුගේ කන් කැපීමට පවා පුරුෂයාට අවසර ලබා දී තිබුණි. බිරිඳගේ අනාචාරය මත ඈ දික්කසාද කළ හැකි අතර දික්කසාදය යන්නෙන් අදහස් වනුයේ ඇයව ප්‍රතිෂ්ප කර ඇගේ නිවෙසට යැවීමයි. පුරාතන ශ්‍රී ලාංකිකයන්ගේ චාරිත්‍රනුකූල විවාහ නීති ඉංග්‍රීසි පාලකයන් විසින් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මත වෙනස් කරන තෙක්ම පවත්වාගෙන ආ බව මැනවින් නිරීක්ෂණය කළ හැකිය. විවාහය සිදුකිරීම හුදෙක් ආකාර දෙකකින් එකකට සිදු කරනු ලැබීය. ඉන් එකක් නම් බින්න විවාහයයි. බින්න විවාහයේදී ස්වාමියා බිරිඳගේ නිවෙසේ පදිංචියට යන අතර පවුල තුළ ප්‍රධානත්වය බිරිඳට හිමි විය. උඩරට වංශාධිපතියන් තම දියණිවරුන් විවාහ වීමෙන් පසුවද නිවෙසේ තබාගෙන සිටීමට කැමැති වූ බැවින් බින්න විවාහ ක්‍රමය උඩරට පළාත්වල පමණක් බහුලව සිදුවිය.
දීග විවාහ ක්‍රමයේදී කාන්තාව සිය දෙමාපියන්ගෙන් වෙන්වී ස්වමියාගේ නිවෙසෙහි පදිංචියට පැමිණීම සාමාන්‍යයෙන් සිදුවිය. බිරිඳ දරු ප්‍රසූතියට ආසන්න වන විට ඇය සිය දෙමාපියන්ගේ නිවෙසට ගෙනගොස් ඇරලවීමේ සිරිතක් එකල දීග විවාහයට පත්වූවන් අතර විය. තවමත් පිටිසරබද පෙදෙස්වල ඒ චාරිත්‍රය නොනැසී පවත්වාගෙන යන අයුරු දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රමය පිළිබඳ අතිශය විස්තරාත්මක අධ්‍යයනයක් කළ මහාචාර්ය නන්දසේන රත්නපාලයන් විසින් මෙරට චාරිත්‍රානුකූල විවාහයන්හි සුවිශේෂී ලක්ෂණෙ කිහිපයක් පෙන්වා දී ඇත. නන්දසේන රත්නපාලයන් විසින් දක්වා ඇති පරිදි චාරිත්‍රානුකූලව විවාහ යෝජනා මත එකිනෙකා මුණගස්වා විවාහ උත්සව පැවැත්වීමේ සිරිත පැවැතියේ ප්‍රභූ යැයි සම්මත පැලැන්තියේ අය සහ යමක් කමක් කරකියා ගත හැකි අය අතර පමණි. දරිද්‍රතාවයෙන් පීඩා විඳි සාමාන්‍ය ජනතාව අතර ඊට වඩා විසුළු ස්වරූපයේ විවාහ ක්‍රම ක්‍රියාත්මක විය. කිසියම් තරුණයකු තරුණියක ගැන ඇල්මක් පහළ වූ කල ඇය තනිමග යද්දී පැහැරගෙන ගොස් ඇය සමග බලහත්කාරයෙන් රති කෙළියේ යෙදීමේ අතිභයානක සිරිතක් පෙර කල විය. මෙවැනි සිද්ධියකින් අනතුරුව දෙපාර්ශ්වයේ ඥාතීන් විසින් විවාහ උත්සවයක් පවත්වා නව යුවළට පිළිගැනීමක් ලබා දීම සිදු විය. සිංහලයන්ගේ චාරිත්‍රානුකූල විවාහ ක්‍රමය අනුව විවාහ ලියාපදිංචි කිරිමක් සිදු නොවූ අතර පෝරුවේ නංවා අතපැන් වත්කිරිමේ චාරිත්‍රය මගින් විවාහය නීත්‍යනුකූලව සිදු වූ බව පිළිගනු ලැබීය. සිංහලයන්ගේ ජනප්‍රවාදයන්හි කියැවෙන පරිදි පෝරුවේ නංවා අතපැන් වත් කිරීමේ චාරිත්‍ර විධිය මහාසම්මත රජුන්ගේ පටන් පැවැතගෙන එන ක්‍රමයකි.
සිංහලයන්ටම උරුම වූ එකගෙයි කෑම හෙවත් බහුපුරුෂ සේවනය ඉතාම මෑතක් වනතුරුම උඩරට ප්‍රදේශවල පැවැතගෙන ආ බව දක්නට හැකිය. වඩාත්ම සුවිශේෂී කරුණ වනුයේ සිංහලයන්ගේ ආදිතම ඥාතීන් වාසය කළ උතුරු ඉන්දියානු භූමියෙන් බහුපුරුෂ සේවනය පිළිබඳ ප්‍රකට උදාහරණ හමු නොවීමයි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ පවුල් අතර බහු පුරුෂ සේවනය පිළිබඳ සම්ප්‍රදායක් පැවැති බව හඳුනාගෙන ඇත. ඒ අනුව එක ගෙයි කෑම හෙවත් බහු පුරුෂ සේවනය යනු සිංහලයන්ගේ සම්මත චාරිත්‍ර විධියක් නොව කලක් තිස්සේ පැවැති ද්‍රවිඩ බලපෑම් හේතුවෙන් උඩරට සිංහලයන් විසින් ආරෝපණය කරගත් චාරිත්‍රයක් බවට තර්ක කර ඇත. කෙසේ නමුත් උඩරට සිංහල පවුල්වල සාමාජිකයන් අතර දේපළ බෙදී ගොස් ඉඩකඩම්වල වටිනාකම අඩුවීම වැළැක්වීමට බහු පුරුෂ සේවනයෙන් පැහැදිලි විසඳුමක් ලබා දෙන ලදී. එමෙන්ම උඩරට ප්‍රදේශවල පමණක් නොව ගාලු දිස්ත්‍රික්කයට අයත් හිනිදුම් පත්තුව තුළ පවා බහු පුරුෂ සේවනය චාරිත්‍රයක් තුළ පිළිගෙන තිබූ බවට සාධක ඇත. සිංහලයන්ගේ චාරිත්‍රානුකූල පවුල් නීති බැලූ බැල්මටම යල් පිනූ හා ප්‍රාථමික සමාජයකට සුදුසු ඒවා බව පෙනෙතත් පුදුමයකට මෙන් අද මෙන් සංකීර්ණ පවුල් ප්‍රශ්න එකල සමාජයෙහි නොවීය.සිංහලයන්ගේ චාරිත්‍රානුකූල නීතිවල ප්‍රායෝගිකත්වය එයින් යම් තරමකට ඔප්පු වන නමුත් එදා පැවැති සමාජය තුළ අවශ්‍යතාවන් අඩුවීම පෙර පැවැති සංහිඳියාවට ප්‍රබල හේතුවක් විය. සිංහලයන් 1815 වර්ෂයේ දී දෙවෝපගත ලෙස ඉංග්‍රීසින්ට සිය රජු පාවා දීමත් සමඟම මුළු රටෙහි පාලන බලය අතට ගත් ඉංග්‍රීසි ආණ්ඩුව වරින් වර ආඥා පනත් සහ සංශෝධන ගෙන එමින් සිංහලයන්ගේ චාරිත්‍රානුකූල නීති අවලංගු කර නැතහොත් යටපත් කර දැමීය. පහතරට සිංහලයන්ට එක් නීතියකුත් උඩරැටියන්ට තවත් නීතියකුත් ආදේශ කරමින් විවාහ නීතියේ විකාර රූපී නීති ප්‍රතිසංස්කරණයන් සිදු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ කුමන කලක හෝ භාවිත නොවූ රෝම, ලන්දේසි පවුල් නීති අප මත බලෙන් පටවනු ලැබීය. එමෙන්ම ඉංග්‍රීසි සභ්‍යත්වයට පදනම වූ කිතු දහමට අදාළ වටිනාකම් විවාහ නීති තුළට බලෙන්ම එක් කරනු ලැබීය. මේ සියල්ල ප්‍රතිඵලය ලෙස අදවන විට මෙරට පවුල් නීතිය කැකෑරෙන තෙල් කටාරමක තත්වයට පත්ව ඇත. මන්දයත් නීතියේ පිළිසරණ පතන්නට යෑම තුළින් නිමක් නැති ප්‍රශ්න ඇතිවන තරමට මෙරට පවුල් නීතිය අවුල් කර දමා ඇති බැවිනි.
Comments
Post a Comment