gossiplanka image 1
සමහර රෝගවල දී වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට වෛද්‍යවරු නියම කරති. රෝග සහ වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ යම් දැනීමක් ඇති අය වෛද්‍යවරයා නියම නොකළත් සිය කැමැත්තෙන් තමන්ට වැලදෙන රෝග සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගන්නා අවස්ථා ද තිබේ. කෙසේ හෝ දැන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම ඉතා බහුලව සිදුවන්නකි. 



රෝග සඳහා ප්‍රතිකාර කිරිමේ දී වෛද්‍ය පරික්ෂණ අත්‍යවශ්‍යම ද?



සමහර රෝගවලට වෛද්‍ය පරික්ෂණ අත්‍යවශ්‍යය. තවත් සමහර රෝගවලට වෛද්‍ය පරික්ෂණ කොහෙත්ම අවශ්‍ය නොවේ. නිදසුන් ලෙස “ඉරුවාරුදාව" නමින් පොදු සමාජය හඳුන්වන මිග්රේන් රෝගයට මොනම වෛද්‍ය පරීක්ෂණයක්වත් නැත. රෝගය සම්බන්ධයෙන් වෛද්‍යවරයා නිශ්චයකට එළඹෙන්නේ  රෝගියා විසින් කරනු ලබන විස්තරවලට අනුවය. නමුත්, සමහර රෝගවලට ප්‍රතිකාර නියම කිරීමට පෙර වෛද්‍යවරායට රෝගය නිවැරැදි ලෙසම තහවුරු කර ගැනීමට වෛද්‍ය පරීක්ෂණ අත්‍යවශ්‍ය වේ. හේතුව එවැනි ඇතැම් රෝගවලට තිබෙන ප්‍රතිකාරවල ද යම් අවදානමක් ඇති බැවිනි. ඒවා ආරම්භ කළ යුත්තේ හරියටම නිවැරැදි ලෙස රෝගය නිශ්චය කර ගැනීමෙන් පසුවය. මීට එක් උදාහරණයක් වන්නේ පිළිකා රෝගයයි. එසේම යම් කෙනෙකුට සමහර රෝග වැලඳෙන්නට ඉඩ ඇති බවට අවදානමක් වෛද්‍යවරයාට දැනුනොත් එවිට ද වෛද්‍ය පරීක්ෂණ කරන ලෙස නියම කෙරේ. ඒ එම රෝගය හට ගැනීම වළක්වන්නටය. කොලෙස්ටරෝල් පරික්ෂණ, හෘදයාබාධයක් ඇති වීමට අවදානමක් ඇතැයි හැගෙන විට කරන පරීක්ෂණ ආදිය මීට නිදසුන්ය. 



පැතොලොජිකල් ටෙස්ට් යනුවෙන් හඳුන්වන්නේ මොනවා ද?



පරික්ෂණ වර්ග විශාල ප්‍රමාණයක් තිබේ. ලේ, මුත්‍ර, අසූචි, සෙම වැනි පරීක්ෂණවලට අමතරව ශරීරය තුළට කැමරාවක් යවා රෝගය ඇති ස්ථානය පරික්ෂවට ලක් කර එම ස්ථානයෙන් කොටසක් ගෙන සිදු කරන පටක පරීක්ෂණ හෙවත් බයොප්සි පරීක්ෂණ පැතොලොජිකල් ටෙස්ට් වශයෙන් හැඳින්වේ. මේවා පැතොලොජිස්ට් හෙවත් රසායනාගාර වෛද්‍යවරුන් මෙන්ම තාක්ෂණ ශිල්පීන් විසින් සිදු කෙරේ. මුඛයෙන් උදර ප්‍රදේශයට කැමරාවක් සහිත කාලයක් යවා කරන එන්ඩොස්කොපි පරීක්ෂණය. අධෝ මාර්ගයෙන් එවැනි කැමරාවක් සහිත කාලයක් යවා කරන කොලනොස්කොපි පරීක්ෂණය, සන්ධි තුළට එලෙස කරන ආතරොස්කොපි පරීක්ෂණය, මුත්‍ර මාර්ගයෙන් එලෙස කැමරාව සහිත නාලයක් යවා කරන සිස්ටෝකොපි පරීක්ෂණය, පියයුරුවල ගැට, තයිරොයිඩ් ග්‍රන්ථියේ ගෙඩි ආදී වශයෙන් සමට යටින් ගෙඩියක් තිබෙන විට වේදනාවක් ඇති නොවෙන තරම් ඉතාම සිහින් ඉඳිකටුවක් එතුළට යවා ගෙඩිය තුළ ඇති සෛල පරීක්ෂණ සඳහා පිටතට ගන්නා එෆ්.එන්.ඒ. පරික්ෂණ ආදිය මීට අයත්ය. 



වෛද්‍ය පරීක්ෂණ වාර්තා සීයට සීයක්ම නිවැරැදි ද?



එසේ නොවන අවස්ථා තිබේ. ඒ හේතු ගණනාවක් උඩය. පරික්ෂණ ප්‍රතිඵල වැරැදීමට රෝගියාගේ පැත්තෙන් සිදුවන වැරැදිත් බලපානු ඇත. නිදසුනක් ලෙස ලේවල සීනි පරික්ෂා කිරීමට පැය දහයක කාලයක් කිසිවක් නොකා නොබී එන්නැයි වෛද්‍යවරයා නියම කරන කල සමහර රෝගීන් මෙන්ම නොකා තේ කෝප්පයක්වත් නොබී තැඹිලි වතුර ටිකක් පානය කර පැමිණෙන අවස්ථා තිබේ. මෙහි දී ශරීරයට තැඹිලි සමග සීනි ඇතුළු වී හමාරය. එවිට ලැබෙන්නේ වැරැදි වාර්තාවකි. සමහර හෙදියන් අතින් සිදුවන වරදක් නම් රෝගියකුට සේලයින් ලබා දෙන විට සේලයින් දෙන අතේම ශිරාවකින් ලේ ගැනීමය. සේලයින් ලබා දෙන අවස්ථාවේ දී එම අතේ ලේවලට වඩා සේලයින් වැඩිය. එම අතෙන් ලේ ලබා ගෙන පරීක්ෂණවලට යොමු කිරිමේ දී ලැබෙන්නේ වැරැදි දත්ත සහිත වාර්තාවකි. ඒ තත්ත්වය වැළැක්වීමට ලේ දමන කුප්පිවලට රසායන ද්‍රව්‍යයක් එකතු කරනු ඇත. සමහර පරික්ෂණවලට ලේ කැටි ගැසීම අවශ්‍ය වන අතර, එවිට කුප්පියට රසායන ද්‍රව්‍යයක් එකතු කරන්නේ නැත. නමුත්, ඉහත කී ආකාරයට රසායන ද්‍රව්‍ය එකතු කරන විට එහි අඩු වැඩිවීමක් සිදු වුවහොත් ප්‍රතිඵල වැරැදීමට ඉඩකඩක් ඇත. ලේ අපේ ශරීරයෙන් පිටතට ගත් පසුවත් ජීවත් වෙයි. ඒ අනුව පැය 6ක් පමණ ලේ පිටත තිබුණොත් ලේ වල අඩංගු සීනි එහි ඇති සෛල විසින්ම අනුභව කරනු ලබයි. මේ නිසා පැය ගණනක් ගත වන විට ලේ වල සීනි අඩු වෙයි. මේ හේතුව මත ද ලේ විසින් සීනි අනුභව කරනු ලැබීම නතර කිරීම සඳහා කුප්පියට රසායන ද්‍රව්‍යයක් එකතු කෙරේ. මෙය ද නිසි ලෙස සිදු නොවුණහොත් වාර්තාව වැරැදි විය හැකිය. පරික්ෂණ සඳහා ලේ ලබා ගැනීමෙන් පසු ඒවා පරික්ෂාවට ගැනීම පැය ගණනක් හෝ දිනක් හෝ දෙකක් හෝ ගත වන්නේ නම් ඒවා සාමාන්‍යයෙන් ශීතකරණ තුළ තැන්පත් කරයි. යම් හෙයකින් දිනක් පමණ විදුලිය නතර වී තිබීම වැනි හේතු මත ලේවල සෛල පිපිරීමට අවකාශ තිබේ. එවිට සෙල ඇතුළේ තිබෙන දේවල් දියරයට එකතු වීම නිසා පරීක්ෂණ වාරතා වැරැදි විය හැකිය. නමුත්, වෛද්‍ය රසායනාගාර මෙවැනි තත්ත්වයන් ඇති වීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම බොහෝ විටම සිදු වේ. ලේ මුත්‍ර ආදියෙහි විෂබීජ ඇතිදැයි පරීක්ෂා කිරිමේ දී ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් පසු ලේ මුත්‍ර ලබා දුන්නොත් එම ඖෂධ ලේ මුත්‍ර සමග මිශ්‍ර වී පවතින නිසා පරීක්ෂණයෙහි ප්‍රතිඵල වරදිනු ඇත. විෂබීජ මියගොස් ඇතැයි කීව ද සත්‍යය එය නොවේ. වෛද්‍යවරයකු ලේ මුත්‍ර සම්බන්ධ රෝගවලට ප්‍රතිජීවක නියම කර එම ඖෂධ ගැනීමට පෙර ලේ මුත්‍ර පරීක්ෂණ සඳහා භාර දෙන්නැයි නියම කරන්නේ එනිසාය. මේ හැර වෛද්‍යවරුන්ගෙන් රසායනාගාර ශිල්පීන්ගෙන් මෙන්ම රසායනාගාරවල යන්ත්‍රෝපකරණ දෝෂ නිසා ද කලාතුරකින් වාර්තා වැරැදිය හැකි අවස්ථා තිබේ.