
දීපවාලී උත්සවය ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව ඔක්තෝබර් මාසයේ හෝ නොවැම්බර් මාසයේ මුල භාගයට යෙදෙන බව පෙනේ. හින්දු ආගමික ජනතාව ඈත අතීතයේ සිට භාවිතා කරනු ලැබූයේ චන්ද්‍ර මාස ක්‍රමයයි. ඒ අනුව දීපවාලී උත්සවය වප් මාසයේ දී යෙදෙන අතර නිශ්චිතවම කිවහොත් වප් මාසයේ අව තුදුස්වක තිථිය ලබන දිනයේ එය යෙදී ඇත. දීපවාලි, දීපාවලී, දීවාලි, තීවාලි යන නම්වලින් හැඳින්වෙන දීපවාලී උත්සව දිනයෙන් වසර ආරම්භ වන බව හින්දු සහ ජෛන ආගමික බැතිමතුන්ගේ පිළිගැනීමයි. මෙම දීපවාලී දිනය සමරන්නේ අඳුරට එරෙහිව ආලෝකය ජයගත් බව සැමරීමට ය.'දීපවාලී' යන වචනයෙහි අරුත වන්නේ 'පහන් වැල' බව සිතිය හැක. දීපවාලී උලෙලේ ප්‍රධාන අංගය වන්නේ පහන් පූජාවයි. එසේම මෙම දිනයේ දී පව් සෝදා හැරීම කළ හැකි බව හින්දුවරුන්ගේ ඇදහීම විය. තුලාමාද මහත්මියම් නම් ද්‍රවිඩ ගන්ත්‍රයේ සඳහන් වන අන්දමට දීපවාලි දිනයේ දී සිරුර පුරා තෙල් ගල්වා ස්නානය කිරීමෙන් පව් සෝදා හැරිය හැකි වේ. පැරණි හින්දුවරු දීපාවලි දිනයේ දී ගංගා නම් ගඟට පැමිණ පව් සෝදා ගැනීමේ චාරිත්‍රය ඉටු කළ බව ඓතිහාසික සාධකවලින් පැහැදිළි වේ.
දීපාවාලි උත්සවය ඇරඹුණු හැටි
දීපවාලී උත්සවය සම්බන්ධ වන්නේ විෂ්ණු දෙවියන් සමග ය. මෙම උළෙල රමායනයේ විස්තර වන ආකාරයට භාරතයේ අයෝධ්‍ය පුරයෙන් ආරම්භ වූවක් වන අතර එය අප හොඳින් දන්නා රාමා - සීතා වෘතාන්තය සමග සම්බන්ධ වේ. ව්‍යාස මුනිවරයා ලියූ 'මහා භාරතය’ වාල්මිකී පඩිදුන් ලියූ 'රාමායන තුලසිදාස්ගේ 'රාම චරිත විල' වැනි ග්‍රන්ථවල මේ තොරතුරු ඇතුළත් වේ. ගෝග්රා නදිය අසබඩ කෝසල ජනපදයෙහි අයෝධ්‍යා පුරය 'රාම කුමරු උපන් බිම වූ අතර අයෝධ්‍යාවේ රජ කළ දස රථ රජු 'රාම' ගේ පියාණන් විය. රාම කුමරු දස රථ රජුගේ වැඩිමහල් පුතු වූ අතර භරත, ලක්ෂ්මණ සහ ශස්ථෘඝ්න සොහොයුරෝ වූහ. වේදේහ දේශයේ ජනක රජුගේ දියණිය වන සීතා කුමරිය සමග විවාහ වූ රාම කුමරු තමන්ට හිමි රාජ්‍යය සොයුරු භරතට පවරා දණ්ඩක වනයේ අසපුවක විසුයේ තම බිරිඳ සීතා දේවිය සහ සොයුරු ලක්ෂ්ම ණ කුමරු සමගිනි.
මේ යුගයේ ලංකාවේ රජ කලේ රාවණ හෙවත් දසිස් රාවණ නම් අතිශ්‍ය බලසම්පන්න නරපතියෙකි. හිරු පරපුරෙන් පැවතෙන යක්ෂ ග්‍රෝතික රාවණ රජු සිව් හෙළය එක් සේසත් කොට හෙළ බිම යස ඉසුරින් සපිරි දේශයක් බවට පත් කොට සිටියේ ය. යන්ත්‍ර මන්තාදී ගුප්ත විද්‍යාවන්ගෙන් ද, ශිල්ප ශාස්ත්‍ර ඥානයෙන් ද, මායා බලයෙන් ද, යුධ ශිල්පයෙන් ද, කෙළ පැමිණි ඔහු මලයාසියාවේ සිට මැද පෙරදිග දක්වා භූමි ප්‍රදේශ ද අත් පත් කරගෙන පාලනය කළේ ය. රාවණා රජුගේ එකම නැගණිය වන සුර්පනාකා නම් රාක්ෂ ග්‍රෝතික කුමාරිකාව දණ්ඩක වනයේ අසපුවක සිටි රාම කුමරුගේ ප්‍රිය බිරිඳ වන සීතාවගේ යෙහෙළියක විය. සුපර්නානා නිතර තම සොහොයුරු රාවණගේ දස්කම් සීතාව සමග කියුවා ය. සීතා දේවියට රාවණ රජු දැක ගැනීමට දැඩි අභිලාෂයක් ඇති විය. දිනක් රාවණ රජු පිළිබඳව තොරතුරු සුපර්නාකා සීතා දේවියට විස්තර කරද්දී එය රහසින් අසා සිටි රාම කුමරු ඇය සීතා දේවියගේ සිත තමා කෙරෙහි බිඳවන්නේ යැයි වැරදි සැකයක් මතු විය.
කෝපයට පත් රාම, දඬුවමක් ලෙස සුපර්නකා කුමරියගේ නාසය කපා දැමුවේ ය. රාම කළ මේ නොපහන් ක්‍රියාව සුපර්නාකා රාවණ රජුට විස්තර කළේ හඬා වැටෙමිනි. තම නැගණියට කළ නිගරුවට පළි ගනිමියි සිතු රාවණ රජු සිය දඬු මොනර යන්ත්‍රය නම් ආකාශ යානාවට නැගී දණ්ඩක වනයට ගොස් සීතා දේවිය පැහැරන්ගෙන ආයේ රාමට කරන දඬුවමක් ලෙසිනි. රජ බිසවකට සුදුසු පරිදි ආරක්ෂාව සහිතව ද සුව පහසුව සහිතව ද සීතා දේවිය මහඑළියේ සිර ගත කළ රාවණා රජු බලා සිටියේ ඇය බේරා ගැනීමට රාම ලංකා පුරයට පැමිණෙන දිනය උදාවන තුරු ය. "හනුමන් නැමැති වානර ගෝත්‍රික නායකයාගේ ආධාරය ද ලබා ගනිමින් රාම කුමරු සහ ලක්ෂ්මණ කුමරු සීතා දේවීය ගලවා ගැනීමට ලංකාවට පැමිණි අතර රාවණ රජුගේ සොයුරු විභීෂණ සමඟ ද උපක්‍රමශීලි ලෙස මිත්‍රත්වයක් ඇති කර ගත්තේ ය. රාවණ රජුගේ යුධ රහස් සියල්ල විභීෂණගෙන් දැන ගත් රාම, රාවණ රජු පරාජය කරන්නට සමත් විය. අනතුරුව සීතා දේවීය නිදහස් කරගත් රාම, ලක්ෂ්මණ ඇතුළු පිරිස පෙරළා භාරතයට ගියහ.
රාවණ නම් අසම සම නරපතියා ජය ගෙන පෙරළා ආයෝධ්‍යාවට පැමිණෙන සිය පුතුන් මහත් උත්සවාකාරයෙන් පිළිගැනීමට ආයෝධ්‍යාවේ දශ රථ රජු කටයුතු සූදානම් කලේය. ලංකාපුරය ජය ගත් බැවින් අයෝධ්‍යාවේ වැසියනට 'රාම' මහා වීරයකු විය. එනිසාම දශ රථ රජු සිය රජකම ද 'රාම' වෙත පවරන්නට එම දිනය යොදා ගත්තේ ය. රාම කුමරුගේ ජයග්‍රහණයත් සහ පදවි ප්‍රාප්තියත් හේතු කොට ආයෝධ්‍යාවේ නගර වීථි මුළුලේ අතුරු සිදුරු නැතිව පහන් දල්වා ඒකාලෝක කරන්නට එදා පැවැත්වුණු ඒ උත්සවය දීපවාලී උත්සවයේ ආරම්භය ලෙස මහා භාරතය දක්වයි. රාම කුමරු විෂ්ණු දෙවිඳුගේ මූර්තියක් ලෙසත් සීතා දේවිය ශීලම්මේය ගේ මූර්තියක් ලෙසත් හින්දු බැතිමතුන් සලකන බැවින් අයෝධ්‍යාව එදා පහන් ප්‍රදීපයෙන් වූ බැබලීම දිපවාලී’ උත්සවය ලෙස අදත් සමරනු ලබන්නේ 'විෂ්ණු - ලක්ෂ්මි යුවලට කරන උපහාරයක් ලෙසිනි. බොහෝ දෙනෙකු රාමායනය සාහිත්‍ය වීර කාව්‍යක් ලෙස පමණක් සිතති. නමුත් වර්තමානයේ රාවණා රජු පිළිබඳව යම් යම් කරුණු තහවුරු වන ඓතිහාසික සාධක මතු වී ඇති බැවින් රාමායනයේ සඳහන් පුවත සැබෑවක් විය හැකි බවට කරුණු මතු වෙමින් පවතී. දීපවාලී උත්සවය ආරම්භය ක්‍රි. පූ. 7 වන හෝ 8 වන සියවසේ සිදුවන්නට ඇතැයි සැළකිය හැකි ය.
දීපවාලී උත්සවයේ ආරම්භය පිළිබඳව තවත් ප්‍රවාදයක් ද පවතී. ඒ අනුව ශිව දෙවිඳුට පුද පූජා කොට එතුමන් පහදවා ගත් නසුර නම් අසුරයෙක් විය. ශිව දෙවිඳුගෙන් ලැබූ බලය හේතුවෙන් හිස උදුම්මවාගත් මේ අසුරයා, සුරයන් ට කරදර කරන්නට පටන් ගත්තේ ය. එහෙත් නගාසුර පරදවා ලන්නට අවශේෂ දෙවිවරුන්ට නොහැකි වූයේ ඔහු ශිව දෙවිඳුන්ගේ අසීමිත බලයක් ලබා සිටි හෙයිනි. නර්ගසුරගෙන් සිදුවන කරදර ඉවසා ගත නුහුණු දෙවිවරු මේ බව විෂ්ණු දෙවිඳුන්ට සැළ කර සිටියහ. මෙයින් දැඩි කම්පනයට පත් විෂ්ණු දෙවිඳු මෙම රුදුරු අසුරයා පරාජය කිරීමට තීරණය කලේ ය. නර්ගසුරන්ගේ මව භූමි දේවිය විය. ඇය ද ඉතා බලසම්පන්නන දේවතාවියක වූ බැවින් නගාසුර සමග සටන් කොට ඔහු පරාජය කිරීම විෂ්ණු දෙවිඳුට ලෙහෙසි නොවී ය. කෙසේ වුවද විෂ්ණු දෙවිඳු මහත් බිහිසුණු සටන්කොට නර්ගසුර මරා දැම්මේ ය.
අවසාන මොහොත එළැඹි බව දත් නගාසුර විෂ්ණු දෙවිඳුන්ගෙන් කළ ඉල්ලීම වූයේ තමන් මරණයට පත් වූ දිනයේ දී ලොවම ඒකාලෝක වන සේ පහන් දල්වා තමන්ට මෝක්ෂය ලබා දෙන ලෙසයි. මෙම ඉල්ලීම නර්ගසුර විසින් කළ බව ඇතැම් තැනක සඳහන්වන අතර ඇතැම් තැනක සඳහන් වන්නේ නපුරන්ගේ මව වන භූමි දේවිය මෙම ඉල්ලීම විෂ්ණු දෙවිඳුන්ගෙන් කළ බවයි. කෙසේ වුව ද නර්ගසුර පරාජය කර පැමිණෙන විෂ්ණු දෙවිඳු පිළිගැනීමට සැදී පැහැද සිටි දිව්‍ය ස්නාව මග දෙපස අතුරු සිදුරු නැතිව පහන් දල්වා ඒකාලෝක කළ බව කියැවේ. නර්ගාසුර පරාජය කළ එම දිනය සිහිපත් කිරීමට (අඳුර පරදා ආලෝකය ජයග්‍රහණය කළ දිනය සිහිපත් කිරීම) හෝ නර්ගාසුරගේ ඉල්ලීම අනුව හෝ මෙසේ පහන් දැල්වීමේ චාරිත්‍රය ආරම්පහ හින්දු බැතිමතුන් විශ්වාස කරයි. අධර්මය නසා ලොව ධර්මයෙහි පිහිටුවීමේ දිනයක් ලෙසත් මෙතෙක් කළා වූ සියලු පව් සෝදා හැර මෝක්ෂය පැතීමේ දිනයක් ලෙසත් වර්තමාන දීපවාලී උත්සවය පැවැත්වෙන බව ප්‍රකට කරුණකි.
දීපවාලී චාරිත්‍ර වාරිත්‍ර
ලංකාවේ හින්දු බැතිමතුන් විසින් මෙම උත්සවය පවත්වනු ලබන්නේ දකුණු ඉන්දියාවේ මෙන් ම දින දෙකක කාලයකි. උතුරු ඉන්දියවේ දින පහක් පුරා පැවැත්වෙන මෙම උත්සවය දකුණු ඉන්දියාවේ ලංකාවේ මෙන් ම දින දෙකක් පැවැත්වේ. හින්දු ජනතාව නව වසරක ආරම්භය ලෙස දීපවාලී උත්සවය සලකනු ලබයි. එබැවින් තම නිවස අලුතින් පින්තාරු කිරීම සහ පිරිසිදු කිරීම, පැරණි භාණ්ඩ වෙනුවට නව භාණ්ඩ නිවසට ගෙන ඒ ම වැනි කරුණු සිදු කරයි. මෙදින හිස තෙල් ගෑමේ චාරිත්‍රයක් ද ඇතුළත් වෙයි. විෂ්ණු දෙවිඳුන්ට සහ එතුමන්ගේ භාර්යාව වන ශ්‍රී ලස්මි දෙවඟනට පූජෝපහාර පවත්වා නිවසට සාමය, සමගිය, සෞභාග්‍යය ළඟා කර ගැනීම දීපවාලී උත්සවයේ ප්‍රධාන අරමුණ බව පැහැදිළි වෙයි.
විෂ්ණු - ලක්ෂ්ම වෙනුවෙන් දොරක් දොරක් පාසා විථියක වීථියක් පාසා ගිතෙල් සහ පොල් තෙල් පහනින් ආලෝකවත් කොට සෞභාග්‍යය පතන හින්දු බැතිමතුන් තම මුළුතැන්ගෙට ද විශේෂ අවධානයක් යොමු කරති. කෘෂිකර්මය මූලික ජීවනෝපාය කරගත් භාරත දේශයේ හින්දුවරුන්ගේ ඇදහීමක් වන දීපවාලී උත්සවයේ දී මුළුතැන්ගෙට දක්වන විශේෂ අවධානයෙන් පෙනී යන්නෙ මෙය සශ්‍රිකත්වය පතා ඈත අතීතයේ සිට පැවත එන උත්සවයක් බව ය.
ගිතෙල් මුසු පොල් තෙල් පහනින් ආලෝකවත් කොට නැවුම් හට්ටි මුට්ටි ආදිය යොදා ගනිමින් සුවිශේෂ රසකැවිලි පිළියෙළ කිරීම ද මෙම උත්සව කාලයේ දී සෑම බැතිමතකුගේ නිවසකම දක්නට ලැබෙන්නකි. එය සම වන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය නැමති සශ්‍රීකත්වය පතා පැවැත්වෙන උත්සවයේ ස්වභාවයට ම බව පෙනෙන්නට තිබේ. මෙම රස කැවිලි අසල්වාසීන් නෑ හිත මිතුරන් අතර බෙදා හදා ගනිමින් කා බී සමගිය වර්ධනය කර ගැනීමට ද බැතිමත්තු අමතක නොකරති. විෂ්ණු -ලක්ෂ්මි වෙනුවෙන් නිවසේ මෙන්ම කෝවිල්වල ද පූජෝපහාර දක්වති. ගොම සහ මැටි යොදා තනන ලද මිනිස් රූපයක හිස මත ගිතෙල් පහනක් දැල්වීමේ දීපවාලී චාරිත්‍රය ද සශ්‍රිකත්වය පතා ඉටු කරනු ලබන සුවිශේෂ චාරිත්‍රය ද කෘෂිකාර්මික සමාජ ක්‍රමය තුළින් බිහි වූවක් බව පෙනේ. මෙය රජ රට ප්‍රදේශයේ ද පවතින ගිරි දේවිය පිදීමේ චාරිත්‍රයට ඉතාම සමාන පූජාවකි. අතීතයේ දී පැවති හින්දු ආගමික බලපෑම මත ලාංකික ජනතාව අතර ද සශ්‍රීකත්වය පතා මෙම ඇදහීම පැතිරෙනන්ට ඇතැයි සිතිය හැක. දීපවාලී උත්සවය සමග මෙම ගිරි දේවිය පිදීම අතර ලාංකික සමාජය තුළ නම් කිසිදු සබඳතාවයක් දක්නට නොලැබේ. එහෙත් භාරතයේ කෝවාර්ගිරි නමින් හැඳින්වෙන මෙම දේවතාවිය පිදීම දීපවාලී උත්සවයේ ම අංගයකි.
දිපවාලී උත්සවයේ අභිමතාර්ථය
නව වර්ෂයක හෙවත් නව යුගයක ආරම්භය ලෙස ද අඳුරෙන් ආලෝකයට යන කාලයක් ලෙස ද සැලකෙන මෙම උත්සවය ලොව සුරකින වස්ත්‍ර දෙවියන් වෙනුවෙන් ද සෞභාග්‍යයට අධිපති ලක්‍ෂමී දෙවඟන වෙනුවෙන් ද පුද පූජා පවත්වා එතුමන් වෙනුවෙන් දොරින් දොර ඒකාලෝක කොට පහන් පූජාවක් තබා සාමය සමගිය සහ සශ්‍රිකත්වය අපේක්ෂා කිරීම සඳහා කරනු ලබන ආගමික උළෙලක් ලෙස හැඳින්විය හැකි වේ. එමෙන්ම එය කෘෂිකාර්මික ජන සමාජය තුළ පහළ වූ විශේෂ පූජාවක් ලෙස ද පෙන්වා දිය හැකි ය.
Comments
Post a Comment